දෙව් මිනිසුන්,
බවුන් වැඩූ ඍෂිවරුන්
සම්භාෂණයේ
දිගු කතිකාවේ
නිමග්න වූ නිරතුරු
විස්මෘතියේ මිහිදුමින්
බොඳවී ගිය,
මිථ්‍යාමත්ක දුරාතීතයේ
සුපුෂ්පිත නෙලූමක් වන්
විෂ්ණු දෙව් දෙපා යුග්මයෙන්
අවුත් මිහිපිටට,
ශිව දෙව් අසිරියෙන්,
හිමාල දෙව් දුවණිය සේ
හංස රුවින් විරාජමානව
සුගෝෂිතව
මවමින් නෙක් ලතා
සොයමින් අනන්තය
බැස ගිය ගංගා:
තත්කාල දනව්වේ
කැලිකසළ අති-පරිභෝජනයේ
දරාගෙන ඔබ ලැමින්
දේවභූමිය සිසාරා
ගලා බසින විට විඩාවෙන්,
කොඳුරනුයේ ඔය
සුඝෝශාවද සුමිහිරි
එදා ඇසුණු,
නැතිනම්
විරහ ගීතයක්ද
නිරතුරු දෙවිඳුන් නමදින
පින්වත් දණ ගණ
සවන් නොවැටෙනා?
(ගංගාස්තෝත්තර-සත-නාමාවලි යන සංස්කෘත පඨිතයේ ගංගා නදිය හැඳින්වීම සඳහා විස්තරාංග 108ක් සඳහන් වේ. මේ කවියේ සඳහන් විශේෂණ පද ඉන් උපුටාගත් ඒවාය).
බියාසි, උත්තර්කන්ද්, 26 මැයි 2012
No comments:
Post a Comment