I am what I am; I will be what I will be.

Sunday, June 16, 2013

නිමේශයක මතකය: ඔහේ ලියූ කවි

පෙරවදන

සසංක කවි පොතක් කරන්න යන බව ඇසූවිට මට පුදුම සිතුනි. ‘‘ඇයි කවි ලියුවේ?’’ මම ඇසූවෙමි.  ‘‘ඔහේ ලියුවා, අපි හැමෝම කවි ලියනවනේ’’ ඔහුගේ පිළිතුර විය. අපි කවුරුත් කවි ලියන්නෙමු ද? සමහරවිට......

එහෙත්, අත් පිටපත් ලැබූ පසුත් ගෙදර පැමින එ්වා කිහිප වරක් නැවත කියවූ පසුත් මට දැනුනේ මේවානම් ‘ඔහේ ලියූ කවි’ නොවන බවයි. බලාගෙන ගියාම අමුතු දේකුත් නැත, එහෙත් හිතන්න, කතා කරන්න, තේරුම් ගන්න බොහෝ දේවල් එ් තුළ වේ. මෙතෙක් කල් සසංකව අප කියවා ඇත්තේ ගැටළු ලිහන්නෙක්, විශ්ලේෂණය කරන්නෙක් හා විස්තර කරන්නෙක් ලෙසටය. එහෙත් කවියෙක් වූ සසංකට ඇත්තේ ප‍්‍රශ්ණ තොගයකි. ජීවිතය, ආදරය, ආගම, භාෂාව, ඉතිහාසය, අනාගතය, සංවර්ධනය, තාක්‍ෂණය, දෙවියන්, ජාතිකත්වය, දේශ සීමා, මිනිස් සීමා...... මේ සියල්ල ඔහු ප‍්‍රශ්ණ කරයි. මුලින් මට සිතුනේ ඔහු අපව ප‍්‍රශ්ණ කරන බවයි.  එහෙත් මෙතෙක් කල් මේ ශිෂ්ටත්වයේ, මේ සදාචාර ලෝකයේ, මේ සිවිල් සමාජයේ, මේ බුද්ධිමතුන්ගේ ලෝකයේ ජීවත් වූ තමාගෙන්ම ඔහු ප‍්‍රශ්ණ කරන්නේයැයි එ් කවි නැවත නැවත කියවීමේදී මට දැනුනි.

පළමු ඉදුනු කෙස් ගස දකින විට ජීවිතයේ අර්ථය සෙවීම පටන් ගත යුතු බව සඳහන්වන වේද කියමන මට සිහිවිනි. සසංක වියපත් වන්නට පටන් ගෙන ඇත. හුදෙකලාව, අතෘප්තිය, සාංකාව කවියෙකු ලෙසින් ජීවිතය දෙස නැවත හැරී බැලීමට ඔහුව පෙළඹුවාවත් ද?

‘‘......ගස දකින්න ඇති......
......ගසට ඇහෙන්නැති......
තනිව ශිඛර මත
අ`දුරු ගගන සෙවනේ
අහස් ඉම වෙත බැලූම් හෙලා
පත් වියැකී
ගස වියපත් වන විට
කාට පෙනේවිද
කාට ඇසේවිද
කාට දැනේවිද......’’

සමස්ථයක් වශයෙන්, සසංකගේ  ‘කොළඹ කවි’ සහ ඒ යටතේ ඉදිරිපත් කර ඇති ‘මෙත් බුදුන්ගේ සපැමිණීම,’ ‘සරසවිය,’ ‘ආයුබෝවන්, වනක්කම්, ගුඞ් මෝර්නින්ග්,’ ‘රහතුන් සෙවීම,’ ‘සුබ නව වසරක් වේවා’ වැනි කවි අපට පෙන්වන්නේ සසංකගේ කොළඹ (ලංකාවේ* ජීවිතයේ කළකිරීමේ හරස් කඩකි.  ඉඳින්, සසංක නම් වූ කවියා ජීවිතය ද ජීවිතයේ අර්ථය ද මෙතෙක් සොයා ගත නොහැකි වූ දෙවියන් ද සොයා කොළඹින් මිදී තෝක්යෝවේි, බියාසියේ, දිල්ලියේ කරක් ගසයි.  එහිදී ඔහු දකින්නේ නැවතත් සුපුරුදු දසුන්මය. 

එහෙත් කවි සිතකට නිශ්චල විය නොහැකිසේය.  වැස්සට තෙමෙමින්, අව්වට වේලෙමින්, ශීතලට හසුවෙමින්, දුඟද උසුලමින්, එපමණකින් පමණක් නොනැවතී මමත්වයෙන් හා කුහකත්වයෙන් පිරී ගිය පරිභෝජනවාදී  බැතිමතුන්ගේ විකාර ඉවසමින් අවුරුදු දස දහස් ගණනක් පුරා නිහඬව, නිසොල්මන්ව බලා හිඳිනා දෙවිවරුන්ගෙන් සසංක ප‍්‍රශ්ණ කරයි.

පරිගණක ගතකරන ලද සිනා, වදන් සෙනෙහස දරා ඇවිදින, විවාහ දිවියට පිවිසෙන තරුණ තරුණියන් දැක සසංක කලකිරෙයි. අහම්බයකින් මුණගැහෙන ලතෙත් බවක් සබැඳියාවක් වචනයට නගන්නට, දොඩන්නට, අසන්නට, තේරුම් ගන්නට නොහැකි බව හැඟීමෙන් සසංක දුක්වෙයි.....

සසංක සැබෑ කවියෙක් වී ඇති හැඩකි......වචනයෙන්, තර්කයන්ගෙන්, න්‍යායෙන්, වාද විවාදයෙන්, වෙහෙසව......

‘‘සිහිනයක් අතරතුර ලබා පියවි සිහි
ඇද වැටුනෙමි මා මගේම දෝතට
....මෙතෙක් කල් කොහිද ඔබ සිටියේ?’’......


(Essential Zen)

කුමාරි කුමාරමගේ
කොළඹ
ජූනි 2013



හැඳින්වීම

වඩාත් දිගු කාලයක් මුළුල්ලේ නොවුවද යම් කාලයක් තුළ ලියූ  කවි එකතුවක් පොතක් වශයෙන් පළ කරන්නට යන විට  ඒ සඳහා විධිමත් හැඳින්වීමක් ලිවීම අවශ්‍යයැයි මා නොසිතුවෙමි. ඊට හේතුව වූයේ යම් රචනයක් ප‍්‍රසිද්ධ අවකාශයට පැමිණි පසු, එය කුමක් පදනම් කරගෙන කුමන හේතුවක් නිසා ලියුවද ඒ පිළිබඳ අදහස් පාඨකයන් විසින් තම තමන්ගේ පර්යාවලෝක හරහා ගොඩනගා ගන්නා බැව් මා මැනැවින් දැන සිටි නිසාය. කවි හා නිර්මාණ සාහිත්‍යය සම්බන්ධයෙන් මේ තත්ත්වය වඩාත් තීරණාත්මකව බලපාන බැව් පැහැදිලිය. අනෙක් අතට, මේ කෘතියේ අඩංගු බොහෝ කවි හා ගී පද මේ වනවිටත් යම් පූර්විකාවක් ද සමග මාගේ වෙබ් අඩවිය හරහා සමාජගතවී ඇති සන්දර්භයක් තුළ තවත් හැඳින්වීම් කුමටදැයි මට සිතුනි. කවි යනු ජීවත්වීම සඳහා හෝ සමාජීය මැදිහත්වීමක් සඳහා හෝ මා ලියූ දේ නොවේ. අනේක පෞද්ගලික නිමේශ තුළ ලියූ ඒවා, ප‍්‍රසිද්ධ අවකාශයට පැමිණෙන විට කව්රුන් කෙසේ අර්ථකථනය කළත්, අගය කළත්, වින කළත් එය මාගේ මූලික ව්‍යායාමයට පරිභාහිර වූ පාඨක අයිතිය යන කථිකාව තුළ පොපියන යථාවක් බවට පත්වේ. ඒ ඇසිල්ලෙන්ම රචකයා හෝ කවියා අතුරුදහන් වී පාඨකයා කිරුලූ පළඳිනු ඇත. පශ්චාත් නූතන අර්ථයෙන් කතුවරයාගේ අභාවය සිදුවන්නේ එසේය. එනමුත් පාඨකයන් කුමන අර්ථකථන ගොඩනගාගත්තද හැඳින්වීමක් යම් ආකාරයක අත්වැලක් ලෙස ප‍්‍රයෝජනවත් වනු ඇතැයි මා හා පැවසුවේ කුමාරි කුමාරගමගේ නව දිල්ලියේදී මුණගැසුනු කෙටි මොහොතකදීය. මේ සරල හැඳින්වීම ඒ කෙටි වචන හුවමාරුවේ ප‍්‍රතිඵලයකි.

මා කවියෙක් නොවේ. මා හුදෙක් කාලවේලා ලැබෙන විට සාමාන්‍යයෙන් දිවිගෙවීම සඳහා හරඹකරන ගද්‍යයෙන් පද්‍ය අවකාශට කඩා වැදී නැවත පලායන සංචාරකයෙකි; රස්තියාදුකාරයෙක;ි නැතිනම් වචන ගොන්නක් කරපින්නාගත් අහිකුණ්ඨිකයෙකි. මා මුලින්ම කවි සමග ගනුදෙනුවක් ආරම්භ කළේ පාසල් යන වයසේදී වුවද ඒ යුගයේ ලියූ කිසිවක් අදදින ඉතිරි වී නොමැත. ඉන් බොහෝ කළකට පසු, 1989 හා 1990 අතර කාලයේ අමෙරිකාවේ ප‍්‍රින්ස්ටන් සරසවියේ පශ්චාත් උපාධි පර්යේෂණ කටයුතුවල නිරත වී සිටි අවධියේ කවි එකතුවක් සම්පාදනයකළ අතර, ඒ සියල්ල ඉංගී‍්‍රසි පසින් ලියූ ඒවා විය.  1980 අග භාගයේදී ලංකාවේ දක්‍ෂිණ ප‍්‍රදේශවල ව්‍යාප්ත වෙමින් පැවති දේශපාලන ප‍්‍රචණ්ඩත්වය හා උතුරු-නැගෙනහිර පළාත්වල ඒ වනවිටත් මුල්බැසගෙන තිබූ ආභ්‍යන්තරික යුද තත්ත්වය මේ කවි බොහෝමයකට පදනම සපයන ලදී.  මේ ඇතැම් කවි වරින් වර පලවුවද දීර්ඝකාලීන ව්‍යාපෘතියක් වශෙයන් පද්‍ය රචනයට අවශ්‍ය කාලය හෝ මානසිකත්වය සකසා ගන්නට මා සමත්වූයේ නැත. එනමුත් එදා සිට අද දක්වා නොයෙකුත් කවීන්ගේ කෘති පරිශීලනය කිරීමට මා හැකි සැම විටකදීම උත්සුක වූයෙමි. මෙසේ කියවූ කවීන් අතරට ගුණදාස අමරසේකර, බුද්ධදාස ගලප්පත්ති, කුමාරි කුමාරගමගේ, විවිමරී වැන්ඩර්පූටන්, ෆයිස් අහමඞ් ෆයිස්, පැබ්ලෝ නෙරූදා, ගුල්සාර්, අගා ශහීඞ් අලී යනාදීන් ඇතුලත්වේ. පි‍්‍රන්ස්ටන් කවි ඉංගී‍්‍රසියෙන් රචනා කිරරීමට හේතුව නම් ඊට වසර හතරකට පමණ පෙරාතුව සිට කැලිෆෝනියා සරසවිය් උසස් අධ්‍යාපන කටයුතු ඇරඹීම හා විදේශගතවීම යන කරුණු නිසා මා අවට ඇසෙන හා භාවිතවන ප‍්‍රධාන බස ඉංගී‍්‍රසි වීමය. මා මෙය තේරුම් ගත්තේ බෙහෙවින් ස්වභාවික තත්ත්යක් ලෙසටය.

වර්තමානය වන විට නැවතවරක් දීර්ඝකාලීනව විදේශගතවී සිටිය ද වෘත්තීය වශයෙන් මා අවට භාවිතවන එකම භාෂාව ඉංගී‍්‍රසි වුවද මෑතකදී මා ලියූ බොහෝ කවි ලියැවී ඇත්තේ සිංහලෙනි. ඒද ස්වභාවික කි‍්‍රයාවලියක ප‍්‍රතිඵලයක් වශයෙනි. එනම්, වසර විස්සක පමණ කාළයක් මුළුල්ලේ සවන් වැටුනේත් පෞද්ගලික ගණුදෙනු හා ඉගැන්වීම් කටයුතු සඳහා මූලිකවම භාවිතා කළේත්, ඒ නිසාම චිත්තවේගීය වශයෙන් වඩාත් සමීප වූයේත් සිංහලයට නිසාය. එනමුත් ඇතැම් අදසස් ගලා එන්නේ ඉංගී‍්‍රසියෙන් නම්, එවන් අවස්ථාවල කෘතී‍්‍රම ලෙස එවදන් සිංහලයට හැරවීමට මා උත්සාහ ගෙන නැත. මේ අනුව, 2011 දී තෝක්යෝවේදී ලියූ ‘ඉතා කෙටි කවි’ හා ජෑස් සංගීත තනු සිහි තබාගෙන ලියූ ගී වැල් ද ලියැවී ඇත්තේ ඉංගී‍්‍රසියෙනි. ‘ඉතා කෙටි කවි’ ආකෘතික වශයෙන් ජපන් හයිකු සම්ප‍්‍රදායේ ඇතැම් අංග උකහා ගත් අතර, ඒවායේ කෙටි ස්වභාවය සිංහලයට වඩා මා යොමු කළේ ඉංගිරිසිය වෙතය. මෙලසම, ජෑස් සංගීතය උදෙසාම ලියූ ගීපද සිංහලයෙන් පරිකල්පනය කිරීමට මා අපොහොසත් වූයෙමි. මෙය පෞද්ගලික චිත්තවේගී තත්ත්වයක් මිස සාමාන්‍යකරණය කළහැකි තාර්කික තත්ත්වයක් නොවේ. මෙනයින් හයිකු සරණ යමින් සිංහලයෙන් කවි රචනා කරන්නන් දැනටමත් එසේ කරගෙන යන අතර, කැමැත්තක් ඇති හුදී ජනයා සිංහලෙන් ජෑස් ගීවැල් යම් දිනක ලියනු ඇතැයි මට සිතේ. මටත් වේලා ඇති ඇසිල්ලක තත්කාලීන පරිභෝජනවාදී නාගරික සමාජයේ හැලහැප්පීම් සංස්කෘත හා පාලි බසින් ලියා ජෑස් සංගීතයෙන් සරසවා එළිදැක්වීමට ලැබේ නම්, එය දීර්ඝකාලීන සිහිනයක් යථාවක් බවට පත්වන මොහොතක් වනු ඇත.

කෙසේ වෙතත් පි‍්‍රන්ස්ටන් යුගයෙන් පසු නැවත වරක් සාපේක්‍ෂ වශයෙන් දීර්ඝකාලීනව කාව්‍යකරණයට අවතීර්ණවීමට හැකි වූයේ 2000 දශකය මැද භාගයේදීය. ‘කොළඹ කවි’, ‘තෝක්යෝ කවි’ හා ‘නව දිල්ලි කවි’ ලෙස මේ කෘතියේ අඩංගු වී ඇත්තේ මේ කාලය තුළ ලියූ කවි එකතුවක්ය. මේ අනුව බැලූ බැල්මට පෙනී යනු ඇත්තේ මේ කෘතියට ඇතුළත් කවි බොහෝමයක් එක්රැුස් කරඇත්තේ ඒවා ලියූ ස්ථානය අනුව බවය. එනමුත් නව දිල්ලි කවි හා තෝක්යෝ කවි එකතුවලට ඉංදියාවේ හා ජපානයේ අන් ස්ථානවලදී ලියූ කවි ද ඇතුලත් වේ. තවද කවියක් ලියූ ස්ථානය බොහෝ විට ඒ කවියට වස්තු විෂය සපයන ප‍්‍රධාන සාධකය වුවද එය නිරතුරුවම එසේ වී නැත. උතුරු ඉංදියාවේ බියාසියේදී ගංගා නදිය ගලා බැස යනු දුටුවිට කවි කිහිපයක් ලියුවා සේම ශී‍්‍ර ලංකාවේ පශ්චාත් යුද තත්ත්වය පිළිබඳ ඇතැම් අදහස් කැටිකර ගත් කවි ද ඒ ස්ථානයේදීම ලියුවේ ඒ අදහස් මා සිතට ඒ මොහොතේදී ගලා ආ නිසාය. මෙනයින් බලනකළ මා ලියා ඇති කවි මා දටු දේ මෙන්ම මා නොදුටු එනමුත් පරිකල්පනය කළ දේ ද මා අත්දුටු මෙන්ම මට හැඟුනු දේත් එක්කරගත් කතිකාවක් යැයි පැවසීම නිවරැුදිය.

මේ කවි අතර මූලික වශයෙන් 2010 හා 2013 අතර කාලය තුළ මාගේ කැමරාවේ කාචයට නතු වූ ඡුායාරූප ගණනාවක් ද එක්කර ඇත. කවිවලට අමතරව හැකි බොහෝ අවස්ථාවල මා සිත යොමුකරන ප‍්‍රධාන කටයුත්තක් වන්නේ ඡුායාරූපකරණයයි. එමෙන්ම මේ කවිවලට පාදක වූ ඇතැම් දසුන් මේ ඡුායාරූප තුළ අඩංගු වී ඇත. මේ කථිකා ද්විත්වය යම් දුරකට හෝ එක්තැන් කිරීමෙන් මාගේ ව්‍යාපෘතිය සාපේක්ෂ වශයෙන් වඩාත් පරිපූර්ණවනු ඇතැයි මට සිතුනි.

අවසන් වශයෙන් මේ ව්‍යපෘතිය සාර්ථක කරගැනීමට නන් අයුරින් වෙහෙස වූ කිහිපදෙනෙකුට තුති පුද කිරීම යුතුකමක් සේ මා සළකමි. කුමන අඩුපාඩුකම් තිබුන ද මා ලියූ සැම කවියක්ම අගය කළේත් ඒවායේ යම් ගැටළු පෙන්වා දී ඒවා නිරාකරණයට අදහස් සැපයුවේත් අවසනදී කෘතියට සරිලන ඡුායාරූප තෝරා දී කෘතිය සැලසුම් කළේත් අනෝලිය. ඇයට ස්තූති කිරීමට අවශ්‍ය වචන කවි ලිව්වත් පොත් ලිව්වත් මා සතුව නොමැත. කවිවල අක්‍ෂරවින්‍යාස ගැටළු පෙන්වා දී නිරාකරණය කරදුන් දකුණු ආසියානු සරසවියේ ප‍්‍රීතිකා ඩැනියෙල්ස්ට හා සිරස මාධ්‍ය ආයතනයේ චන්ද්‍ර ලේකම්ආරච්චිට මාගේ ස්තුතිය හිමිවිය යුතුය. එමෙන්ම තෝරාගත් කවි කිහිපයක් මැනැවින් ඉංගී‍්‍රසියට පරිවර්තනයකරදී ඇතැම් කවිවල අඩුපාඩු පෙන්වා දුන් කොළඹ සරසවියේ සමුද්‍රිකා සිල්වාට  මාගේ කෘතඥතාව හිමි වේ. අවසන් වශයෙන්, පෙරවදන ලියූ කුමාරි කුමාරගමගේට සහ මුද්‍රණ කටයුතු සම්බන්ධීකරණයකළ දකුණු ආසියානු සරසවියේ සමාජීය විද්‍යා පීඨයේ සැම්සන් ජෝර්ජ්ටද මාගේ ප‍්‍රණාමය හිමි වේ.

සසංක පෙරේරා
නව දිල්ලිය
ජූනි 2013



පටුන

පෙරවදන
හැඳින්වීම

කොළඹ කවි


මෙත් බුදුන්ගේ සපැමිණීම
පලිඟු ගෝලයේ අනාගතය
හිත

Formless (‘හිත’ කවියේ පරිවර්තනය)
ගස
නිර්නාමික
එකම හඳක්; වෙනස් දසුන්


Silent Moon (‘එකම හඳක්; වෙනස් දසුන්’ කවියේ පරිවර්තනය)
ශුභ නව වසරක් වේවා
රහතුන් සෙවීම
සරසවිය
ඉලාසිටික් ඇඳුම
ආයුබෝවන්; වනක්කම්; ගුඞ් මෝනින්ග්

තෝක්යෝ කවි

සයිබර් අවකාශයේ වදන් විශ්වය



Streets
සිනහව
රුවැත්තිය
උයන
ඇති පොත්, නැති පොත්



To Know You (ඇති පොත්, නැති පොත්’ කවියේ පරිවර්තනය)
දෙවියන් මුනගැසීම

Encounters with a Worldly God (දෙවියන් මුනගැසීම’ කවියේ පරිවර්තනය)
කන්නලව්ව
පුරවරය
දෙනයන
තෑග්ග
කමකුරා බදුුනි
සකුරා මල්
ෆුකුශීමා
අළුත් ඩිස්නිලන්තයක්
මුඛවාඩම්
ධරණි
ඇගේ නිරවුල් වදන් (ATM)
රූපාන්තරණය
සෙවණැල්ල

Teacher’s Lament 

ඉතා කෙටි කවි /Very Short Poems


The Devil Resides in Details
Incense
Music(s)
Hallucination?
Shades
Shadow
Scream –  මුරදීම
Memory/Amnesia
A Death Foretold
Tempest

නව දිල්ලි කවි

වැසුනු දොරටුව

Dust
දුහුවිලි
කුසුම්
මළ බසකින්වත්
දිසි අදිසි දනා
හේමන්තය
වැලපිල්ලේ සිනහව
නිමේශයේ රුව
පිය සටහන්

(Non)Presence  
 හුදෙකලා වූ දෙවිඳුනි
ගංගා
පුණ්‍ය භූමිය
යුධ බිම
සවිඥානයෙන් අවිඥානයට
ගන්ධබ්බ පාලිය
හිමිදිරිය
දේව්දාර් අඩවිය
නිවන
යථාවෙන් දුරස් වූ ලොව

Face in the Mist
ලියතහැකි මට මේ ? යාමේ
වැස්

References

Intrusion
නොපැතූ වැස්ස


Existence; Non-existence
දිගු ගමන
ශූන්‍යයට සමවැදීම
දිවාලි
වැහි
නොපැතූ ඝනඳුර


Conscience? 

 ගී පද

ගිනිගත් වදන් වැල් අතරේ
මා ඉන්න ලොවයි, මගේ ලෝකයයි
වැලි කතරේ මල් පිපිලා
වියපත් වෙමු අපි චාරුවෙන්

Out of the Shadows

Ghost in Cyberspace

Hold my Hand (Song of Sendai)