I am what I am; I will be what I will be.

Saturday, June 7, 2014

ඥාන විභාගාත්මක ඛණ්ඩනීය මොහොතක් පිළිබඳ ආවර්ජනයක්: සිරි ගුනසිංහගේ නිර්මාණ කාර්යය පිළිබඳ සීමිත පාඨනයක්




සන්දර්භගත කිරීම

සිරි ගුනසිංහගේ නිර්මාණ කාර්යය හරහා එහි අත්‍යන්ත දේශපාලනය පිළිබඳව කෙරෙන මෙම සීමිත ආවර්ජනීය පාඨනය දියත්වන්නේ ගුනසිංහගේ නිර්මාණ කටයුතු ඇරඹී අඩසිය වසක් ගත වූ පසුව ය. තව ද මා සාහිත්‍ය විචාරය හෝ භාෂා අධ්‍යයන පිළිබඳ විධිමත් හා නිල ශාස්ත‍්‍රාලයීය පසුබිමක් නියෝජනය නොකරන නිසා මේ පාඨනයට ඉහත කී අධ්‍යයන ක්ෂේත‍්‍රවල ඍජු බලපෑමක් නොලැබෙනු ඇත. එනම් මෙය සාහිත්‍ය විචාරාත්මක හෝ භාෂා විශ්ලේෂණාත්මක ප‍්‍රවේශයක් තුළින් කෙරෙන පාඨනයක් නො වේ. සමාජවිද්‍යා හා සමාජ-මානවවිද්‍යාව පිළිබඳ විධිමත් පසුබිමක සිට මා විසින් කරන්නට උත්සාහ දරන මේ පාඨනයේ ප‍්‍රධානතම පදනමක් වන්නේ සමාජ-මානවවිද්‍යාව තුළ 1970 දශකයේ සිට දැඩි විචාරයට ලක් වූ රචනාකරණයේ දේශපාලනය හා බලය පිළිබඳ අදහස් ය. මේ අනුව ගුනසිංහගේ ලිපිලේඛන හුදු සාහිත්‍ය විමර්ශනීය හා භාෂා විද්‍යාත්මක ප‍්‍රවේශවලින් ඔබ්බට ගෙන ගොස් ඒවා බිහි වූ සමාජ ආර්ථික හා දේශපාලනික සන්දර්භය තුළ ස්ථානගත කළ යුතු ය යන්න මාගේ විශ්වාසය යි. එනම් ඔහුගේ භූමිකාව තේරුම්ගත හැක්කේත්, එයට අර්ථ සැපයෙන්නේත්, ඒ පිළිබඳ විවේචන මතුවන්නේත් හුදෙක් එහි අන්තර්ගතය පදනම් කරගෙන නො ව ඒවා බිහි වූ සමාජ සංස්කෘතික මොහොතේ අනේක විධ බලපෑම කරණ කොට ගෙන ය.

මානවවංශ ලේඛනකරණය පිළිබඳ අදහස් දක්වමින් Writing Culture: Poetics and Politics of Ethnography  යන නිබන්ධ එකතුවේ හැඳින්වීම හරහා ජේම්ස් ක්ලිෆර්ඞ් හා ජෝජ් මාර්කස් දක්වන අදහසක් නම් මානවවංශ ලේඛනකරණය (ethnography) පදනම් නැතිනම් කරුණු හයක් මත බලපෑමට ලක්ව ඇති බව ය. එනම්, ඒ ලේඛනවල අනන්‍යතාව ඒවාට ලැබෙනුයේ මේ කරුණු හයේ ක‍්‍රියාකාරීත්වය මත ය. ඒවා කෙටියෙන් හෝ මෙහි දී ඉදිරිපත් කළ යුතු යැයි මා සිතන්නේ මේ අදහස් නිර්මාණ සාහිත්‍යය වෙත මෙන් ම විශේෂයෙන් ම සිරි ගුනසිංහගේ නිර්මාණනීය කාර්යභාරය වෙත ද ව්‍යාප්ත කළ හැකි බව මා විශ්වාස කරන නිසා ය. මින් පළමුවන කරුණ නම් සන්දර්භය එනම් (context) යන්නය (ක්ලිෆර්ඞ් සහ මාර්ක්ස් 1986: 06). එනම්, මානවවංශ ලේඛන ඒවා ලියැවෙන සමාජ වටපිිටාවෙන් අර්ථ උකහා ගන්නා බව සහ අර්ථ නිර්මාණය කරන බවත් ය. මෙලෙස ම ගුනසිංහගේ කාව්‍ය රචනා, නවකතා මෙන් ම ඔහුගේ චිත‍්‍රපටය වන සත් සමුදුර ද උද්දීපනය කෙළේ තත්කාලීන සිතැගි මෙන් ම සමාජ තත්ත්වයන් ය. එහි දී ලිංගිකත්වය හා බැදුණු වාද විෂය සහ අර්ථ එවක පැවැති සාම්ප‍්‍රදායික ඇගයීම් පද්ධති මධ්‍යයේ විවෘතව කතා නොකිරීම මෙන් ම එසේ කිරීමට වෙර දැරීමේ දී ගුනසිංහ වැන්නවුන් වෙත දරුණු විවේචන මතුවීම ද ඒ සන්දර්භය සමග ම බැදී පවතී.

දෙවන කරුණ නම් වාගලංකාරය (rhetoric) යන්නය (ක්ලිෆර්ඞ් සහ මාර්ක්ස් 1986: 06). එනම්, මෙකී රචනා සමාජයේ පවතින භාෂා විකාශන සම්ප‍්‍රදායන්ගේ ආලෝකය ලබා ගන්නා අතර කාලයාගේ ඇවෑමෙන් එකී සම්ප‍්‍රදායන් මේ රචනාවල බලපෑම්වලට ද ලක්වන බවයි. මේ අනුව ගුනසිංහගේ කවි මෙන් ම නවකතා මගින් හා විචාර ලිපි ලේඛන ද මේ තත්ත්ව පෙන්නුම් කරන බව දැක ගත හැකි ය. මූලික වශයෙන් ඔහු තම අදහස් ව්‍යාප්ත කිරීමට යොදා ගත්තේ එවකට බෙහෙවින් ජනප‍්‍රියව පැවැති කාව්‍ය මාධ්‍යය යි. එනමුත් එසේ කිරීමේ දී ඔහු එකී කාව්‍ය ආකෘතියේ ස්වභාවය මෙන්ම ආමන්ත‍්‍රණය කළ යම් කරුණු ද පටිසෝතගාමී ලෙස වෙනසකට භාජනය කෙළේ ය. ඔහු ශාස්ත‍්‍රීය සිංහලයක් වෙනුවට බොහෝ දුරට සරල සිංහලයක් යොදා ගත්තේ එහි ඇති ඇතැම් සංකීර්ණතා නැතිනම් ව්‍යාකරණ නීති (උදා: න, ණ, ල, ළ භේදය) සවිඥානික ව උල්ලංඝනය  කරමිනි. අප අද දන්නා පරිදි ගුනසිංහගේ නව්‍යකරණයන් සිංහල සාහිත්‍ය අවකාශයට බෙහෙවින් බලපෑම් කර ඇති බවත් පැහැදිලි විය යුතුය.

තෙවන කරුණ වන්නේ ආයතනික බලපෑම (institutional) යන්නයි (ක්ලිෆර්ඞ් සහ මාර්ක්ස් 1986: 06). එනම්, යමෙකු රචනාවක් සම්පාදනය කරනු ලබන්නේ යම් සුවිශේෂී සම්ප‍්‍රදායන්ට, විෂය ක්ෂේත‍්‍රයන්ට හා පාඨක ප‍්‍රජාවන්ට විරුද්ධ ව හෝ ඒවා තුළින් බව යි. මෙලෙස බලන කළ ගුනසිංහ රචනා කෙළේ (විශේෂයෙන් ම ඔහුගේ නිසදැස් කවි) පේරාදෙණිය ගුරුකුලය ගුරු කරගත් හා ඔවුන්ගේ නව්‍යකරණයන්ට කැමැත්ත දැක්වූ තරුණ කණ්ඩායමකට වූ අතර එවකට සමාජයේ බලය පතුරවා ගෙන සිටි සාහිත්‍යධරයන් බොහොමයකගේ අදහස් හා ප‍්‍රවේශවලට ප‍්‍රතිවිරුද්ධවය.

සිව්වන කරුණ රචනයේ ප‍්‍රවර්ගය (genre) පිළිබඳ අනන්‍යතාව යි (ක්ලිෆර්ඞ් සහ මාර්ක්ස් 1986: 06) එනම් සාමාන්‍යයෙන් මානවවංශ ලේඛනයක් නවකතාවකින් හෝ චාරිකා වෘත්තාන්තයකින් හෝ වෙන් කර ගැනීමට ඇති හැකියාව යි. ඒ අනුව ගුනසිංහගේ නිසදැස් ඒවා ප‍්‍රථමයෙන් මතු වූ යුගයේ කාව්‍ය නොවේ යැයි දැඩි විවේචන ඉදිරිපත් වුවද ඔහු ඒවා ඉදිරිපත් කෙළේත්, ඒවා අගය කළවුන් ඒවා රස වින්දේත් කාව්‍ය වශයෙන් මිස ගද්‍ය හෝ වෙනත් සාහිත්‍යයික ප‍්‍රවර්ගයක් වශයෙන් නො වේ.

පස්වන කරුණ වන්නේ දේශපාලනය (politics)  යන්නයි (ක්ලිෆර්ඞ් සහ මාර්ක්ස් 1986: 06). එනම්, සංස්කෘතික හෝ සමාජ යථාර්ථ නිරූපණය කිරීමට එක් එක් පුද්ගලයන්ට ඇති බලය කිසිදු විටෙක සමාන නොවන අතර ඇතැම් විට ඒවා බරපතල ලෙස ප‍්‍රශ්න කිරීමට ලක්වේ. ගුනසිංහගේ නවකතා කෙසේ වෙතත් ඔහුගේ පද්‍ය සම්බන්ධයෙන් මතු වූ බොහෝ විවේචන මතු වූයේ මේ සන්දර්භය තුළ යි. එනම් සිංහල සංස්කෘතියෙන් හා එහි කාව්‍ය සම්ප‍්‍රදායෙන් දුරස් වූවකු ලෙස බොහෝ දෙනා ඔහු සැලකූ අතර එයින් මතුවූයේ සමාජ යථාර්ථ හෝ සිතැගි නිර්මාණනීය ලෙස ඉදිරිපත් කිරීමට ඇති දේශපාලන බලය පිළිබඳ දැඩි හා බොහෝදුරට කඨෝර තරගයකි.

හයවන කරුණ නම් ඉතිහාසය (history) (ක්ලිෆර්ඞ් සහ මාර්ක්ස් 1986: 06). එනම්, ඉහත සඳහන් සියලූ තත්ත්ව හෝ සීමා වෙනස්වන ඓතිහාසික සන්දර්භ තුළ වෙනසකට භාජනය වන බව යි (ක්ලිෆර්ඞ් සහ මාර්ක්ස් 1986: 06). ගුනසිංහගේ නිර්මාණ කාර්යය ආරම්භ වූ අවධියේ පැවති ඓතිහාසික තත්ත්වවලට ඔහුව ආන්තීකරණයට ලක්කිරීමට බොහෝ බලවේග ක‍්‍රියාත්මක වුව ද ඓතිහාසිකව බලන විට අපට පෙනී යන්නේ අද වන විට ඔහුගේ ව්‍යායාමය, විශේෂයෙන් ම ඔහුගේ කාව්‍යමය නව්‍යකරණය සිංහල සංස්කෘතික අවකාශය තුළ මුල් බැසගෙන තිබෙන බව යි. ක්ලිෆර්ඞ් සහ මාර්ක්ස්ගේ යෝජනාව වූයේ මේ පදනම් නැතිනම් කරුණු හය මානවවංශ ලේඛන සම්පාදනය කිරීමේදී එකී ලේඛන මත ඒවායේ දිශානති සහ අනන්‍යතාව සලකුණු කරන ආකාරයේ බලපෑම් සිදුකරන බව යි (ක්ලිෆර්ඞ් සහ මාර්ක්ස් 1986: 06). මාගේ යෝජනාව වන්නේ මේ ආකාරයෙන් ම මේ කරුණු හය ගුනසිංහගේ ව්‍යායාමයට ද බලපෑම් ඇති කළ බව යි. ඒ බලපෑමේ ස්වභාවය මේ පාඨනය තුළදී පෙනී යනු ඇති බව මාගේ විශ්වාසය යි.

1970 දශකයේ සිට මතුව ආ අර්ථවිවරණීය මානව විද්‍යාවේ මේ මූලික ප‍්‍රවේශ සාමාන්‍යයෙන් නිර්මාණ සාහිත්‍යයික පඨිත තේරුම් ගැනීමේදීත් විශේෂයෙන් සිරි ගුනසිංහගේ ලේඛන සන්දර්භගත කිරීමේදීත් මා කලින් සඳහන් කළ ආකාරයට ප‍්‍රයෝජනවත් වන බව මගේ විශ්වාසය යි. මේ අනුව ඔහුගේ නවකතා, කවි, විචාර කෘති හා චිත‍්‍රපට හුදු අනෛතිහාසික කෘති ලෙස සලකනවාට වඩා අර්ථවත් වන්නේ ඒවා ඉහත සඳහන් කළ කරුණු හය මගින් සලකුණු කරන සීමා ඔස්සේ තේරුම් ගත හැක්කේ කෙසේ දැ යි සොයා බැලීම ය. මෙ නිසා මාගේ පාඨනය වඩා ක්ෂුද්‍ර මට්ටමින් ව්‍යුහගත කළහොත්, ගුනසිංහගේ සමස්ත නිර්මාණාත්මක භූමිකාව පහත තේමා ඔස්සේ ගවේෂණය කළ හැකිය යන්න මාගේ අදහසයි: සංස්කෘතියේ දේශපාලනය තුළ සදාචාරය පිළිබඳ වාද විෂයේ ක‍්‍රියාකාරීත්වය, ඔහුගේ බුද්ධිමය මැදිහත්වීම පිළිබඳ මතුව ආ විවේචනයේ ස්වභාවය හා පදනම, ඒ පිළිබඳව ඔහු හා ඔහුගේ අනුගාමිකයින් දැරූ ස්ථාවරවල ස්වභාවය හා ඔහු දියත් කිරීමට යත්න දැරූ ඥානවිභාගාත්මක ඛන්ඩනයේ පදනම යන තේමා ය. මේ තේමා ගවේෂණය කිරීමේ දී මාගේ වැඩි අවධානය ගුනසිංහගේ ප‍්‍රධානතම නිර්මාණනීය මැදිහත්වීම වන නිසදැස් වෙත යොමු කිරීමට ද මම බලාපොරොත්තු වෙමි.

සංස්කෘතියේ දේශපාලනය තුළ ‘සදාචාරය’ යන වාද විෂයේ ක‍්‍රියාකාරීත්වය

1950 හා 1960 දශකවල විශේෂයෙන් ම ගුනසිංහගේ නිසදැස් කවි සන්දර්භය තුළ ඊට එරෙහි ව මතු වූ විවේචන මගින් ප‍්‍රධාන වශයෙන් ඉදිරිපත් වූයේ සදාචාරය පිළිබඳ වාග් සංග‍්‍රාමයකි. මෙහි දී සදාචාරය යන වාද විෂය අර්ථ දෙකක් ඔස්සේ ඉදිරිපත් වූ බව පෙනුණි. වඩාත් දරුණු ලෙස ඉස්මතු වූයේ ගුනසිංහගේ කෘති ලිංගික අර්ථයෙන් බෙහෙවින් ‘පහත්’ අනුභූති පිළිබඳ කතා කළ ඒවා නිසා ඒවා සදාචාර විරෝධී සහ අවර ගනයේ කෘති බව ය. ඒ අදහස ඔහුගේ කවිවලින් ඔබ්බට ගොස් ඔහුගේ පුද්ගලික ජීවිතයට හා ඔහු නියෝජනය කළ සරසවිය වෙතට ද එල්ල කරන්නට ද යෙදුණි (උදා: ඔහුගේ සිසුන් හා සෙසු සහෘදයන්) මෙවන් අදහස් බෙහෙවින් පරුෂ ලෙස ඉදිරිපත් කළ අය අතර චන්ද්‍රරත්න මානවසිංහ විශේෂයෙන් සඳහන් කළ හැකි ය. මේ සම්බන්ධයෙන් පහත සඳහන් ඔහුගේ ‘විචාරයේ’ අඩංගු අදහස් සලකා බැලිය හැකිය:
ලෝකයේ අනෙකුදු විශ්වවිද්‍යාලයනට වඩා වෙනස් අන්දමට ලංකා විශ්වවිද්‍යාලයේ ලිංගික නොහොබිනාකම් මුල් බැස ගැනීමට හේතුව කුමක්දැයි සලකන විට පුදුම වීමට කරුණක් නැත්තේ ය. ලංකා විශ්වවිද්‍යාලයේ ආචාර්ය කෙනෙකුගෙන් හා ඔවුන්ගේ ඇසුර ලැබ අධ්‍යාපනය ලද ඇතමෙකුගෙන් ලියැවුණු පොත් කිහිපයක් ප‍්‍රචාරය වී තිබේ. ඒ පොත් කියැවූ  ඕනෑ ම කෙනෙකුට විශ්වවිද්‍යාලය තුළ ඉගෙනුම ලබන්නවුන්ගේ ගති පැවතුම් කෙබඳු විය යුතු ද යන්න ලෙහෙසියෙන් ම වටහා ගත හැකි ය. ආගම, ධර්මය පසෙක තිබියේවා. සමාජය පිළිගත් සදාචාර ධර්මයන් පිළිබඳ බලු මයිලක තරම්වත් තැකීමක් අර ගුරු කුලයේ පොතපත කියවන්නවුන් තුළ ඇති විය නොහැකි ය. ඔවුන්ගේ ගෙදර දොරේ සැලකිය යුත්තන් පවා බේරී සිටිතියි සිතීම දුෂ්කර ය (මානවසිංහ, උපුටා ගත්තේ රණසිංහගෙනි 2009: 27-28).
ඍජුව ම සහ නාමිකව ගුනසිංහගේ කෘති ඉලක්ක කර නොගත්ත ද මේ විවේචනය පැහැදිලිව ම ඔහු ප‍්‍රමුඛ පේරාදෙණිය ගුරු කුලය ලෙස පසුව හඳුන්වන්නට යෙදුණු සමස්ත බුද්ධිමතුන්ගේ  කණ්ඩායම වෙතට එල්ල වී තිබුණි. මැනැවින් පෙනෙන කරුණක් නම් පුද්ගලයන් වශයෙන් මෙන් ම ඔවුන්ගේ කෘති ද ඒවා සේවනය කරන සමස්ත පාඨක ප‍්‍රජාව ද සදාචාර විරෝධී සහ විකෘති ලිංගික ආශාවන් ප‍්‍රබෝධමත් කරන අවර ගනයේ ලේඛන සහ පහත් ගණයේ පුද්ගලයින් ලෙස විවේචකයින් සැලකූ බවයි. ඇල්. ඇම්. ඒ. සිල්වා සිය විචාර විවරණය කෘතියෙන් ද මෙවැනිම විවේචනයක් ඉදිරිපත් කෙළේ ඍජුව ම ගුනසිංහ වෙත ය. ‘ඊයේ සොඳුර’ (මස් ලේ නැති ඇට කාව්‍ය සංග‍්‍රහයෙන්) කවි පංතියට විශේෂ අවධානය සහිතව ඔහු ප‍්‍රකාශ කෙළේ මෙවන් කවි ලියන්නෙකුට ‘ලැජ්ජාවක් නැතිකමක් ද’ තිබිය යුතු බව යි (සිල්වා 1959: 136). සිල්වා මේ විවේචනය ඉදිරිපත් කරන්නේ 'ඊයේ සොඳුර' කවිය පුරා විහිද ඇති පහත සඳහන් ආකාරයේ පද නිසා බව අප පසක් කරගත යුතුය:

‘‘.... ඇය සාරිය විනිවිද
පෙනෙන රස මසෙහි ගමන
හිරු එළියෙන් විවර ඇය වටොර,
යටසින් බලා,
නොබලා මෙන් පතයි
ඇය සිසිල් සෙලූව
සෙමින් ඒ ආලය යැයි....’’
(ගුනසිංහ 1961: 50-53).

මේ විවේචනය පදනම්ව ඇත්තේ කවියේ සරල මතුපිට කියවීමක් මත පමණි. මෙනිසා සිල්වා මෙන්ම ඔහු අනුදක්නා අන් අයද හුදෙක් ග‍්‍රහණය කර ගන්නේ කවේ මූලික හා මතුපිට අරුත පමණක් වන අතර එනිසාම එහි ද්විතීයික හා ආභ්‍යන්තරික අර්ථය මගහැරේ. මතුපිට හා මූලික අර්ථය ඇසුරින් සලකා බැලූවද සිල්වා පවසනාකාරයේ ‘ලැජ්ජාවක් නැතිකමක්’ කෙසේ වෙතත් මට පෙනෙන ආකාරයට මෙවැනි පද හරහා ජනිත වනුයේ පුද්ගලයෙකු තුළ සිරවී ඇති ස්වභාවික රාගික අදහස් කාව්‍යමය ආකාරයකින් මුක්ත කිරීමක් පමණි. එය සරල මනෝ විද්‍යාත්මක අර්ථයකින් භාව ශුද්ධිය (catharsis) නතිනම් සිත තුළ ගොනු වූ අදහස් මුදා හැරීමක් වේ. එය ලැජ්ජා සහගත කරුණක් බවට පත්වන්නේ සිල්වා මෙන්ම එවකට සිටි සෙසු බොහෝ විවේචකයින් ද මෙහෙය වූ අතිශය සීමාකාරී වික්ටෝරියානු සුචරිතවාදී මතවාදයේ යදංගු තුළ සිරවී සිට බැලූවහොත් පමණි. ඇතැම් විවේචකයන් නිසදැස් කවි හැඳින්වීමට ‘පැලලි’ හා විශේෂයෙන් ම ‘උපදංශ’ (syphilis) යන ලිංගිකව ප‍්‍රචලිතවන සමාජ රෝගයක නම යෙදීමෙන් ද මේ සදාචාරය පිළිබඳ ගැටලූව මතු කරලයි. එනම්, විශේෂයෙන් ගුනසිංහගේ නිසදැස් බොහෝ විවේචකයින් දුටුවේ සමාජය පුරා පැතිර යන සමාජ රෝගයක් වශයෙන් සහ එහි ලිංගික තේමා පිළිබඳ දැඩි පිළිකුලකින් ද යුතුව ය. කෙසේ වෙතත් මේ සීමිත දෘශ්ඨිය නිසාම 'ඊයේ සොඳුර' මෙන්ම ගුනසිංහගේ අන් බොහෝ කවි තුළ ද ඇතුලත් වන ද්විතීයික, ආභ්‍යන්තරික හා සංකේතාත්මක අර්ථ ජනනයේ ගතිකත්ව හා එහි දේශපාලනය මෙවන් විවේචකයන්ගේ බුද්ධිමය ග‍්‍රහණයට හසු නොවී වියැකී යයි. ඒ අනුව ඉහත උපුටා දැක්වූ ගුනසිංහගේ පදවලින් ජනිත වූ දෙවන අර්ථය මූලික අර්ථයෙන් බෙහෙවින් වෙනස් වූ එකාතකින් එකී මූලික අරුත යම් ලෙසකින් නිශෙධනය කරන්නා වූද අරුතකි. එනම් ලිංගික ප‍්‍රතිරූප එසේ සුපැහැදිලිව හුවා දැක්වීමෙන් ඔහු උත්සාහ ගත්තේ සිරුරේ අස්ථාවරත්වය පෙන්වා දෙමින් එය ක්ලේශයේ හා මෝහයේ අවකාශයක් මෙන්ම අවසන දී මානව ජීවිතය සසර සමග දුක හරහා බැද තබන මැඩලිය යුතු හා ජය ගත යුතු බාධකයක්ය යන බෙෘද්ධ යතාර්ථය මතුකරලීමටය. මා කලින් ප‍්‍රකාශ කළ ලෙසට ද එකාතකින් මෙය සිංහල සංස්කෘතිය දැඩිව වෙලාගත් වික්ටෝරියානු පාරිශුද්ධවාදයේ ඍජු ප‍්‍රකාශනයකි. අනෙතකින් මෙය නිසදැස් මගින් අදහස් ප‍්‍රකාශය සඳහා විවර කළ අවකාශය තාරුණ්‍යය විසින් ග‍්‍රහණය කරගත් ආකාරය වටහා නොගැනීමේ ආදීනවයක් ලෙස ද දැකිය හැකි ය. එමෙන් ම, නිසදැස් මතු වුණු මුල් යුගයේ (එනම් මස් ලේ නැති ඇට කෘතිය ප‍්‍රකාශයට පත්වීමත් සමඟ) එවක බලය පතුරවා ගෙන සිටි කොළඹ කවීන් හා අන් කණ්ඩායම් සියුම් හා සංවේදී ලෙස ආමන්ත‍්‍රණය නො කළ තාරුණ්‍ය හා සම්බන්ධ අන්තර් සම්බන්ධිත වාදවිෂය ගණනාවක් ගුනසිංහ මෙන් ම ඔහු අනුගමනය කළ හෝ ඔහුගේ සමකාලීන නිසදැස් කවීන් ආමන්ත‍්‍රණය කරන්නට යෙදුණි. එනම්, ආදරය, ආශාව, රාගය, රතිය, කාමය නැමැති අදහස් ය. ආදරය වැනි තේමා කොළඹ යුගයේ කවියෝ තේමා කර ගත්තේ නැතැ යි යන්න මින් හැඟවෙන්නේ නැත. එනමුත් එවකට ව්‍යාප්ත වී තිබූ ස්වභාවධර්මය වැනීම හා අලංකාරෝක්ති වැනි කාව්‍ය ප‍්‍රවේශ නැතිනම් ප‍්‍රයෝග තුළ එකී අදහස් විකසිත වීම මිලින විය. වඩාත් නිවැරදිව පවසන්නේ නම් පේ‍්‍රමය, ආශාව වැනි ‘ස්වභාවික අදහස්’ විවෘතව හා ගැඹුරින් ගවේෂණය කිරීමට ඔවුන් මැලිවූවා පමණක් නොව ඊට අවැසි සමාජ සංස්කෘතික වාතාවරණය ඒ වන විට තිබූ බවක් ඔවුන් පිළිගත් බවක් ද නොපෙනේ. මෙවන් වාතාවරණයක් තුළ ලිංගික සදාචාරය පිළිබඳ දැඩි හා බෙහෙවින් සීමිත අදහස් මුල් බැසගෙන තිබුණා මෙන් ම, එම අදහස් අතික‍්‍රමණය කරමින් එකී වාද විෂය නිර්මාණනීය හා විචාර පූර්වක ලෙස ආමන්ත‍්‍රණය කිරීම පැහැදිලිව ම බෙහෙවින් අපහසු කාර්යයක් විය. ‘ඊයේ සොඳුර’ හා එකී ප‍්‍රවර්ගයට අයත් අන් කවි දැඩි ලෙස විවේචනයට පත් වූයේ තාරුණ්‍යය හා ඊට බෙහෙවින් සම්බන්ධ ඉහත සඳහන් කළ ආකාරයේ හැඟීම් මතවාදී ලෙස දැඩි ලෙස අඩස්සිගත කර තිබූ තත්ත්වයක් තුළය.

ගුනසිංහගේ කාව්‍ය නිර්මාණ පේ‍්‍රමය, ආශාව ආදිය පමණක් ආමන්ත‍්‍රණය නොකළ ද බෙහෙවින් විවේචනයට ලක් වූයේ මෙකී තේමා ගොනු කරගත් කාව්‍ය නිර්මාණ බව පැහැදිලිය. ආනන්ද කුලසූරිය විශේෂයෙන්ම ගුණදාස අමරසේකරගේ භාවගීත (1955) හා ගුනසිංහගේ මස් ලේ නැති ඇට (1956) යන කාව්‍ය සංග‍්‍රහ අවධාරණය කරමින් ‘නූතන’ පබඳකරුවන් සේ හඳුන්වන නිසදැස්කරුවන්ගේ විෂය ක්ෂේත‍්‍රය විස්තර කරනුයේ පහත ආකාරයෙනි:
සමාජ සත්තාවන් නැතහොත් පෙම්වතෙකු, පෙම්වතියක වැනි පුද්ගලයෙක් කවි චින්තාවට බොහෝ විට විෂය වෙයි. ප‍්‍රස්තුත මාතෘකාව හා ගැටෙන කවි නිතර ම පෞද්ගලික දෘෂ්ටියක් පළ කරන්නට තැත් කරයි (කුලසූරිය 1980: 7).
ගුනසිංහගේ ‘ආපසුව’ හා ‘ඊයේ සොඳුර’ යන කවි ද කුලසූරිය ගෙනහැර දක්වන්නේ ඉහත විස්තර කළ ප‍්‍රවර්ග නියෝජනය කරන කවි ලෙසය (කුලසූරිය 1980: 07). මෙහිදී අපට පැහැදිලි වන්නේ ගුනසිංහට මෙන් ම ඉහත සඳහන් ආකාරයේ විෂය පදනම් කරගත් කාව්‍යකරුවන්ට සදාචාර විරෝධී විවේචනය එල්ල වූයේ අති පෞද්ගලික අවකාශයක සිරකර තැබිය යුතු සිතැඟි නිර්භයව සැමට දැකගත හැකි, කියැවිය හැකි ප‍්‍රසිද්ධ අවකාශයට මුදා හළ බැවිනි. නිසදැස් පිළිබඳ ව සාමාන්‍ය වශයෙන් ද ගුනසිංහගේ කාව්‍ය නිර්මාණ පිළිබඳව වඩා පැහැදිලිව ද මෙකී සදාචාර විරෝදීත්වය පිළිබඳ කුලසූරිය තම විවේචනය එල්ල කරනුයේ පහත සඳහන් අයුරිනි: ‘‘ශෘංගාරය, කාව්‍ය නිර්මාණය වවා ගැනීමට නිසි තෝතැන්නක් විය හැකි නමුත්, මේ පබඳ කළවුන්ගේ සිත්වලින් ගලා එන ලඝු කාමුක සිතුවිලි, නිස්සාර උක්ති බවට පත්ව ඇත. බුද්ධියට කැරුණු අභියෝගයක් ලෙස සැලකිය හැකි ‘මස් ලේ නැති ඇට’ යන්නෙහි සෑහෙන කොටසක් ඒ ලාමක චින්තනයට නිදසුන් වේ. අඳුර, ජීවිතය, ආශාව, බලාපොරොත්තුව, ජීවය, පේ‍්‍රමය, ආදරය යන මේ කවරක් වස්තු බීජ කොටගත්ත ද, සොඳුරියක්, ගැහැනියක්, පිටුපසින් හොල්මන් කරයි’’ (කුලසූරිය 1980: 7). කුලසූරිය, ගුනසිංහ ඇතුළු නිසදැස් කවීන්ගේ භූමිකාව පිළිබඳව තවදුරටත් මෙසේ ද පවසයි: ‘‘මෙහි දරුණු විපාකය වන්නේ අසභ්‍ය හෙවත් අශ්ලීල පද්‍ය සිංහල කාව්‍යයට පිවිස ගැන්ම ම නො වේ. ඒ චෝදනාව එල්ල වී ඇතත් එය ම ප‍්‍රමාණවත් නො වේ. එය හෙලා දැකිය යුතු වන්නේ අප ජාතික ආගමික දායාදයේ අසම්භින්න අංග වන උත්කෘෂ්ට චින්තන මාර්ගය හා චර්යා ධර්ම එයින් පිළිකෙව් කෙරෙන බැවිනි. නැතිනම් නොතකා හැරෙන බැවිනි’’ (කුලසූරිය 1980: 7). 

කුලසූරියගේ ඉහත අදහස් මෙන් ම ඒ ප‍්‍රවර්ගයට ම අයත් අන් විවේචන (මානවසිංහ වැන්නවුන්ගේ වඩාත් අශාස්ත‍්‍රීය විචාර ද ඇතුළු ව) පැහැදිලිව ම පේ‍්‍රමය, ආශාව, ලිංගිකත්වය වැනි දේ දුටුවේ කාව්‍යකරණයට හෝ ප‍්‍රසිද්ධ අවකාශය තුළ නිදහසේ මුදා හැරීමට නුසුදුසු අනුභූති ලෙසිනි. ඒවා පිළිබඳව කතා කිරීම ම ජාතික හා ආගමික අගය පද්ධතිවලට ගැරහීමක් වීය. ගුනසිංහගේ කාව්‍ය නිර්මාණවල හා සාමාන්‍යයෙන් නිසදැස් කවිවල මුඛ්‍ය තේමාව මෙකී අදහස් නොවුණ ද මෙලෙසින් ‘ලඝු කාමුක’ සේ ආන්තීකරණයට ලක් වූ අදහස් තාරුණ්‍යය හා බෙහෙවින් සමීපව බැඳී තිබුණා පමණක් නොව එකී අදහස් ගවේෂණයට හෝ මුදා හැරීමට සංස්කෘතික හෝ සමාජීය අවකාශ ඒ වන විට විවරව නොතිබූ බව ද පැහැදිලි ය. කුලසූරිය, සිල්වා, මානවසිංහ වැන්නවුන්ගේ මෙකී විවේචන සැබැවින් ම මේ පුද්ගලික අනුභූති ගුරු කරගත් කාව්‍ය නිර්මාණ හා සමාජගත කිරීමේ දේශපාලනයට එල්ල වූ දැවැන්ත ප‍්‍රහාරයක් ලෙස තේරුම් ගත යුතු ය. එය සාම්ප‍්‍රදායික සමාජය හා වික්ටෝරියානු සදාචාරය විසින් අහුරා දමා තිබූ චින්තනයෙන් බලාපොරොත්තු විය යුතු ප‍්‍රතිචාරයක් ද වීය.

කාව්‍යය, අන්තර්ගතය හා ආකෘතිය: ගුනසිංහගේ හා නිසදැස් ව්‍යාපාරයේ දේශපාලනය

ගුනසිංහ ප‍්‍රමුඛ නිසදැස් කවීන් අතරින් පේ‍්‍රමය, ආශාව ආදී තේමා ආමන්ත‍්‍රණය කළ කවීන් මෙවන් වස්තු විෂය හා ගනුදෙනු කෙළේ අහඹු ලෙස නොවන අතර ම ඔවුන්ගේ ව්‍යාපාරය පැහැදිලි අදහස් ගණනාවක් ම නියෝජනය කරයි. ගුනසිංහගේ භූමිකාව තේරුම් ගැනීමේ දී මේ ව්‍යාපාරයේ ස්වභාවය ඔහුගේ හා ඔහුගේ අනුගාමිකයන්ගේ දෘෂ්ටියෙන් ද සොයා බැලීම සමස්ත සන්දර්භය දෙස වඩා පරිපූර්ණව බැලීමට අපට අවකාශ විවර කරයි. මේ අදහස්වලින් වඩාත් පැහැදිලි වන කරුණ නම් කවිය සම්බන්ධයෙන් ඉහත දැක්වූ තේමා මෙන් ම අනේකවිධ තත්කාලීන අන් අදහස් ද ප‍්‍රකාශ කිරීමට එතෙක් අණසක පතුරවා ගෙන සිටි කාව්‍ය ආකෘතියට හැකියාව නොතිබූ බවට ඔවුන් තුළ තිබූ දැඩි විශ්වාසයයි. විශේෂයෙන් ගුනසිංහ සිංහල කවියේ ආකෘතික විපරිවර්තනයට උර දුන් ප‍්‍රධානතම හේතුවක් වූයේ මෙය යි. බාලසූරිය මේ තත්ත්වය විස්තර කරනුයේ මෙසේ ය:

සිරි ගුනසිංහගේ කවිවලින් පෙනී යන මූලික ලක්‍ෂණයක් නම් නව චින්තන ප‍්‍රවාහයක් සන්නිවේදනය කිරීමට දැරූ උත්සාහයයි. කාලීන විඥානය ප‍්‍රකාශ කිරීමට සාම්ප‍්‍රදායික කාව්‍ය රීතියේ සම්පත් සීමිතව තිබීම ඔහු ඉදිරියේ වූ අභියෝගයයි. සීමිත කව් බස සහ එළිසමය ප‍්‍රතික්ෂේප විය. හැඟීම් ප‍්‍රබල ලෙසත් සියුම් ලෙසත් සන්නිවේදනය කළ හකි නව සංකල්ප රූප ඔහු විසින් නිර්මාණය කරන ලදී (බාලසූරිය 1998: ix).
අනෙක් අතට, තත්කාලීන ගෝලීය කතිකා මගින් උකහාගත් දැනුම හා ඒවායේ දේශපාලනය  මෙරට තත්ත්වයනට ගලපා ගැනීමට දැරූ උත්සාහයක් ද තත්කාලීන අනුභූති සන්නිවේදනය උදෙසා කාව්‍යාකෘති විපරිවර්තනයට ලක් කිරීමේ උනන්දුව තුළ රැුඳී තිබුණි. සැබැවින් ම ලොව ඇතැම් ප‍්‍රදේශවල (බටහිර යුරෝපය සහ උතුරු ඇමෙරිකාව) 1950 දශකයේ අගභාගය පමණ වන විට පිබිදෙමින් තිබූ ලිංගිකත්වයේ දේශපාලනය මෙන් ම ඒ වන විට ද ස්ථාපනය වී තිබූ නිදහස් කාව්‍ය ව්‍යාපාරයේ අදහස් ද (free verse) ගුනසිංහගේ සංස්කෘතික දේශපාලනයට ජවය සැපයූ බව පැහැදිලි ය.

මෙහි දී කාව්‍යමය ආකෘතික විපරිවර්තනය නැතිනම් නිසදැස් ව්‍යාප්තිය යන කරුණ දෙස මඳක් විස්තරාත්මක ව බැලිය යුත්තේ එය ද එක් අතකින් පුළුල් වශයෙන් සදාචාරය/පාරිශුද්ධත්වයේ කොටසක් ලෙස තේරුම් ගත හැකි නිසාත් අනෙක් අතට,  ඒ දෙස විචාර පූර්වකව බලන්නේ නම් එය පැහැදිලි පදනම් හා මතවාදීමය ආකෘති මත පිහිටා දියත් කළ ව්‍යාපාරයක් ලෙස පෙනී යන නිසාත් ය. ගුනසිංහගේ විවේචකයන් ඔහුගේ නව්‍යකරණ ක‍්‍රියාවලිය දුටුවේ පාරිශුද්ධ භාෂා අඩවියක් හරහා හමා යන චණ්්ඩ මාරුතයක් ලෙසිනි.  එනම් මූලික වශයෙන් එළිසමය රකිමින් සිව්පදය හරහා සරල සුගම බසින් අනේක වර්ණනා ඉදිරිපත් කළ කවීන් හා ඔවුන්ගේ පාඨකයන් නිසදැස් ආකෘතිය මෙන් ම ඒවායේ අන්තර්ගතය දුටුවේ තමන් මහත් පරිශ‍්‍රමයකින් තනා ගත් එමෙන් ම ආරක්ෂා කරගත් පාරිශුද්ධ අඩවිය තුළ දිග හැරෙන අවර ගණයේ කාව්‍ය නිර්මාණ නැතිනම් කවියේ පාරිශුද්ධත්වයට වින කරන සදාචාර විරෝධී ආකෘතික ප‍්‍රවණතාවක් ලෙසට ය. මේ ප‍්‍රවණතාව කුලසූරිය විස්තර කෙළේ පහත සඳහන් ලෙසිනි:
නිසදැස්කරුවෝ සාම්ප‍්‍රදායික රටාව බිඳළුෑහ... සිංහල පද්‍යයේ පාරම්පරිකව පැවති, ගැයීමට තුඩු දුන් ගුණය නෙරපා (නිකම්) කියැවීමට නැඹුරු රචනා විශේෂයක් ඇති කළහ. මේ එක ද අංගයක් සිංහල පද්‍ය විෂයෙහි ස්වාභාවික ලෙස සිදුවූවක් නොවේ. එහෙයින් ඒ වෙනස්කම් අපරදිග පද්‍ය කාව්‍යය සේවනයෙන් තනා ගන්නා ලද යි ඇඳින්වීම යුක්ති යුක්ත වෙයි. තවද අකුරු යෙදුම ද කෙළෙසුණේය. වාග් රීති ඉක්මවා ගොස් වාක්‍ය වින්‍යාසය ද වැනසී ගිය තැන් සුලභ වේ (කුලසූරිය 1980: 5).
කුලසූරිය තවදුරටත් පවසන අදහසක් නම් ‘‘නිසදැස්කරුවෝ සාම්ප‍්‍රදායික සිංහල පද්‍යයේ ශික්‍ෂණය ලැබ ඒ අනුව පද්‍ය බැන්දා හු නොවෙති, එහි ආභාසය ලද්දාහු හෝ නොවෙත්’’ යනුවෙනි (කුලසූරිය 1980: 6). නිසදැස් පිළිබඳව මතු වූ මෙවැනි විවේචන මගින් එළිදරව් කරන කරුණු කිහිපයකි. මේවා ඍජුවම ගුනසිංහගේ කාව්‍යමය භූමිකාව පිළිබඳ මතුවන අදහස් වන බැවින් ඒ පිළිබඳව මඳක් විමසා බැලීම වටී. පළමුවැන්න නම් නිසදැස්වල මතුවීම සිංහල පද්‍ය සංවර්ධනය මත අස්වාභාවිකව නැතිනම් කෘත‍්‍රීමව බටහිරින් ආනයනය කරමින් ආරෝපණය කළ ආකෘතියක් යන අදහස වේ. ගුනසිංහගේ මෙන්ම පේරාදෙණිය ගුරුකුලයේ අන් කවීන් අතරට ගැනෙන විමල් දිසානායක වැන්නවුන්ගේ අධ්‍යාපන වටපිටාව දෙස බලන විට බටහිර යුරෝපීය හා උතුරු අමෙරිකානු බුද්ධිමය පර්ශදවලින් මතු වූ අදහස් හා ආකෘති සිංහල නිර්මාණකරණය වෙත සාමාන්‍ය වශයෙන් ද, කාව්‍යකරණය වෙත සුවිශේෂී වශයෙන් ද ආලෝකය සැපයූ බව පැහැදිලිය. සැබැවින්ම පාඨාන්තරීය පාඨනය මෙන්ම අනේක කතිකාවනට විවර වී ඒවායේ අදහස් නිර්මාණනීය ලෙස උකහා ගැනීම හා නව්‍යකරණයට ලක් කිරීම සමාජ හා සංස්කෘතික ප‍්‍රවර්ධනය හා විපරිවර්තනයේ සාමාන්‍ය හා ප‍්‍රයෝජනවත් ගතිකත්‍වයකි. පැබ්ලෝ පිකාසෝගේ චිත‍්‍ර කලාවට අප‍්‍රිකානු මහාද්වීපයේ නොයෙකුත් ජනකලා ආභාස ලැබූ බව අද දින පිළිගැනෙන කරුණකි. ඔහුගේ කලා භූමිකාවේ අද්විතීයත්වය රඳා පවතින එක් පදනමක් වනුයේ ද එයයි. ලෝක සංස්කෘතික කතිකා තුළින් මෙවැනි උදාහරණ බහුල ලෙස සපයා ගත හැකි අතර මෙහිදී මට අවධාරණය කිරීමට අවශ්‍ය වන්නේ සංස්කෘතිකාංග හෝ ආකෘති එක් සංස්කෘතියකින් තවත් සංස්කෘතියකට නිර්මාණනීය ලෙස ආදේශ කර ගැනීම නැතිනම් ගලපා ගැනීම එසේ ණයට ලබාගත් සංස්කෘතියේ අනන්‍යතාව විනාශ කිරීමට තුඩු දෙන්නේ යැයි සැලකීම අර්ථ විරහිත බවයි. එනමුත් මෙවැනි සංස්කෘතික උකහා ගැනීම් හරහා සංස්කෘතික අනන්‍යතාව හා ඒවායේ දිශානති අපට අවශ්‍ය පරිදි හැඩගස්වා ගැනීමට සංස්කෘති තුළ ඉතාමත් නම්‍ය ලෙස අවකාශ සැකසී ඇත. ඒවාට සීමා පැමිණෙන්නේ යථාර්ථය මත පදනම්ව නොව දේශපාලන ප‍්‍රවේශ මත පිහිටාය. මේ අනුව නිසදැස් අස්වාභාවික වීමත් ඉන්දීය සංස්කෘතික විශ්වයෙන් ණයට ගත් සමුද්‍රඝෝෂ විරිත ගුරු කරගත් කොළඹ යුගයේ කවීන්ගේ පබැඳුම් ස්වභාවික වීමත් බෙහෙවින් ගැටලූකාරීය. මෙහිදී මතු වන ගැටලූව නම් අතිපාරිශුද්ධ වශයෙන් පිළිගැණුනු සිංහල පද්‍ය අවකාශයට භාරතීය නොවන අවකාශ හෝ ආකෘතිවලින් ආභාස ගෙන ඒම සාම්ප‍්‍රදායික විරෝධී ලෙස සරලව හා සාවද්‍ය ලෙස සැලකීමයි.

තව ද සිරි ගුනසිංහ මෙන් ම විමල් දිසානායක වැනි කවීන් නිසදැස ආකෘතියක් ලෙස යොදා ගත්තේ කුලසූරිය පවසන ආකාරයට සාම්ප‍්‍රදායික සිංහල පද්‍යයෙහි ශික්ෂණය හෝ ආභාසය නො ලැබූ නිසා නො ව එහි සීමා අතික‍්‍රමණය කිරීමට මතවාදීමය වශයෙන් පෙළඹීම නිසා ය. ගුනසිංහගේ භාෂා දැනුම හා විචාර ලිපි ලේඛන ආදිය ආශ‍්‍රය කිරීමේ දී මේ තත්ත්වය මනා ලෙස පසක් වේ. 1959 දී ඇල්. ඇම්. ඒ. සිල්වා ඉදිරිපත් කෙළේ ද කුලසූරියගේ විවේචනයට බෙහෙවින් සමාන විවේචනයක් වුව ද එය වඩාත් කඨෝර හා අශාස්ත‍්‍රීය ලෙස මුදාහැර තිබුණි:
විවිධ ශාස්ත‍්‍ර ශාස්ත‍්‍රාන්තරයන් විෂයෙහි ලබනා ලද බුද්ධි බලයකුත්, එහෙයින් ම අත්පත් කරගන්නා ලද උසස් උපාධිත් ඇති ලංකා විශ්වවිද්‍යාලයේ ඇදුරුවරයෙකු වන සිරි ගුනසිංහ මහතා විසින් කාව්‍ය ලක්ෂණයන්ගෙන් පරිබාහිර වූ පිදුරු පරඬැල් හා සමාන කළ හැකි නිසරු පදවැල් සමූහයක් (නිසදැස්) නමින් හඳුන්වමින් ප‍්‍රචාරයට පත්කොට සාහිත්‍ය ලෝකයෙහි මහදාලෝලනයක් ඇති කළ බැව් බොහෝ පාඨකයන්ට මතක තිබිය යුතුය (සිල්වා 1959: 133-134).
මෙවැනි ප‍්‍රකාශ වෙතින් මතුව එන ප‍්‍රධානත ම අදහසක් නම් නිසදැස් බටහිරින් ආනයනය කළ ආකෘතියක් මත පදනම් ව ඇති නිසා සිංහල සංස්කෘතියට ආගන්තුක බවත් ඒවා සාරවත් නොමැති බව හා ඒවා කාව්‍ය නො වන බවත් ය. මේ අදහසට හේතු වී ඇත්තේ කාව්‍ය යම් සුපැහැදිලි එක් මාදිලියකට නැතිනම් ආකෘතියකට අයත් විය යුතු යැයි මේ බොහෝ විවේචකයින් අන්ධ භක්තියෙන් ඇදහීම නිසා ය. පටිසෝතගාමී ආකෘති හෝ ප‍්‍රවේශ මේ සාම්ප‍්‍රදායික දැක්ම තුළ පැහැදිලිව ම පිළිකෙව් කෙරිණ. කුලසූරියගේ අදහස්වලට බොහෝ සමානව යමින් සිල්වා ගුනසිංහ වැන්නවුන් නිසදැසට නැඹුරු වීම විස්තර කරන එක් පදනමක් වන්නේ එම කවීන්ට ‘‘වෘත්ත, ඡුන්දස් හා එළිසමය සහිත සිංහල කවි සමයට කවර අන්දමේ පද්‍යයක් හෝ ගලපා ගැනීමට’’ ශක්තියක් නොමැති වීම යන්න යි (සිල්වා 1959: 135). එනම් සංකීර්ණ කාව්‍යකරණයේ නිරත වීමේ නොහැකියාව නිසා නැතිනම් සමුද්‍රඝෝෂ විරිතෙහි පදනම් තුළ සිට කවි ලිවීමට නොහැකි වූ නිසා සරල ආකෘතියක පිහිට පැතුවේය යන්න යි. නිසදැස් ආකෘතිය පිළිබඳ මේ විවේචන සියල්ලට ම මූලික පදනම මා මුලින් ම පැවසූ ආකාරයට සාම්ප‍්‍රදායිකව චිරාත් කාලයක් මුළුල්ලේ පැවත ආවේ යැයි විශ්වාස කරන පාරිශුද්ධ කාව්‍ය අවකාශයට මේ කණ්ඩායම අස්වාභාවික ලෙස හා සදාචාර සම්පන්න නොවන ලෙස කඩා වැදුනේ ය යන විශ්වාසය යි. ඊට සිංහල සංස්කෘතියට හානියක් වේය යන සාමාන්‍ය විශ්වාසය ද කවිය සංකර වේය යන විශේෂ සංකාව නැතිනම් භින්නෝන්මාදය ද ඇතුළත් වීය.

මේ සමස්ත භූමිකාව තුළ නිසදැස්කරුවන් හා ඔවුන්ගේ අනුගාමිකයින් තම භූමිකාව විස්තර කළ අයුරු ද සොයා බැලීම වටී. මීට හේතුව නම් මේ බොහෝ විවේචන නිසදැස්කරුවන්ගේ අදහස් තුළ ගැටලූ විශ්වයක් බවට පත්වන නිසා ය. නිසදැස් කාව්‍ය සම්ප‍්‍රදාය හා සිරි ගුනසිංහගේ භූමිකාවට පිළිබඳව අදහස් දක්වන බාලසූරිය පෙන්වා දෙන්නේ මේ ව්‍යාපෘතිය වෙත යොමුවූවන් ‘‘සිංහල සමාජයේ හා සංස්කෘතියේ මුල් සිඳ නොගත්තා වූ ද සිංහල සංස්කෘතිය පිළිබඳ මනා ඇල්මක් ඇත්තා වූද තරුණ බුද්ධිමත් පිරිසක් වශයෙනි’’ (බාලසූරිය 1998: vii). ඔහු තවදුරටත් පෙන්වා දෙන පරිදි ඔවුන් සිංහල සංස්කෘතිය පිළිබඳව ලැබූ ‘‘මනා පරිචයෙන් ද අපරදිග භාෂා, සාහිත්‍ය හැදෑරීමෙන් හා ඇතැම් විට අන්‍ය සංස්කෘති හා ගැටීමෙන් ලබන කම්පනයෙන් ද පුබුදුවන ලද මනසකින් යුත්’’ පිරිසක් වූ අතර ම ඔවුන් දේශීය වාතාවරණය පිළිබඳ නොසතුටට පත් පිරිසක් ද වූහ (බාලසූරිය 1998: vii). ඉහත සඳහන් කළ විවේචකයන් දැක්වූ කේන්ද්‍රීය අදහසක් වූයේ නිසදැස වෙත යොමුවූවන් සිංහල සංස්කෘතිය පිළිබඳව මෙන් ම එහි පද්‍ය සාහිත්‍ය පිළිබඳව සප‍්‍රාමාණික දැනුමක් නොමැත්තන් වශයෙනි. එනමුත් බාලසූරියගේ අදහස් යථාර්ථය වෙත අපව වඩාත් සුපරික්ෂාකාරීව ගෙන යයි. එනම්, අදාළ කර්තව්‍යයට අවශ්‍ය ශාස්ත‍්‍රීය දැනුමට හා සිංහල සංස්කෘතිය පිළිබඳ ප‍්‍රායෝගික දැනුමට අමතරව තත්කාලීන විදේශ අධ්‍යාපනයකින් ලැබූ සසන්දනාත්මක  ශාස්තී‍්‍රය දැනුමේ ආලෝකය ද ඔවුන් සතු වූ බව යි. විදෙස් අධ්‍යාපනයක් යන්න නිතැතින්ම බුද්ධි කලම්බනයක් ය යන්න මින් අදහස් නො වේ. එනමුත් ගුනසිංහ වැන්නවුන් 1950 ගණන්වල දී අපරදිග ශාස්ත‍්‍රාලයන්ගෙන් ලැබූ අධ්‍යාපනයෙන් එවැනි කර්තව්‍යයකට ජවය සැපයූ බව පැහැදිලි ව පෙනේ. ඊට හේතුව එවන් අධ්‍යාපනයක ආලෝකය තත්කාලීන පරිස්ථානීය සංස්කෘතික අඩවි තුළ හසුරුවා ගැනීමට අවශ්‍ය දේශීය භාෂා හා සංස්කෘතික දැනුම ඔවුන් සතුව තිබූ නිසා ය. පෙරදිග හා අපරදිග භාෂා හා කාව්‍ය ශාස්ත‍්‍ර මෙන් ම ලලිත කලා පිළිබඳව ලැබූ යුරෝපීය අධ්‍යාපනය ද ප‍්‍රංශ සාහිත්‍යය සමීපව ඇසුරු කිරීමෙන් ලද පරිචය ද ගුනසිංහගේ සිංහල භාෂා නිර්මාණකරණයට ජවය සැපයූ බව බාලසූරියගේ අදහසයි (බාලසූරිය 1998: vii). එමෙන් ම, විශේෂයෙන් ම නිසදැස් කවි පරපුරට විසඳා ගැනීමට අවැසි වැදගත් තාක්ෂණික ප‍්‍රශ්න ගණනාවක් ද විය. ඒවා මූලික වශයෙන් කවියේ ආකෘතිය හා එහි ප‍්‍රකාශන හැකියාව සමග බැදී තිබුණි. තත්කාලීන යථාර්ථ, අනුභූති හා සිතුවිලි කවි මගින් ඉදිරිපත් කිරීමට උත්සාහ දැරූ පසුව නිසදැස් කවීන් ලෙස හැඳින්වූ ද්විභාෂික කණ්ඩායමට එතෙක් අණසක පැතිරවූ එළිසමය රැුකි සිව්පද ආකෘතිය බෙහෙවින් සීමාකාරී විය. තම චින්තනය ප‍්‍රකාශ කිරීමේදී ඊට අවැසි ‘‘නිදහස් ආකෘතියක් හා වඩාත් ප‍්‍රබල භාෂා මාධ්‍යයක්’’ නිර්මාණය කර ගැනීමේ අභියෝගයට ඔවුන් මුහුණ දුන් අතර එහි ඵලය නිසදැස් කාව්‍ය නමැති නව කාව්‍ය සම්ප‍්‍රදායේ බිහි වීම යි (බාලසූරිය 1998: viii). මේ අනුව නිසදැස එවකට පැවති ආකෘතිකමය සීමා සවිඥානික ව අතික‍්‍රමණය කිරීමේ ප‍්‍රතිඵලය යි. ගුනසිංහ මේ පිළිබඳව පහත අදහස් ඉදිරිපත් කළේ මේ විවාදයේ මුල් යුගයේ දී ය. එකී අදහස් මූලික වශයෙන් කොළඹ යුගයේ කාව්‍ය ආකෘතියේ සීමා දැක්වීමක් වෙයි:
එසේ වුව ද, නූතන කවියාට සම්පූර්ණයෙන් ම සම්භාව්‍ය සම්ප‍්‍රදායෙන් මිදීමට නොහැකි වූයේ පාඨකයා තම නිර්මාණ කාව්‍ය ලෙස නොපිළිගනීය යන බිය නිසා ය. කාව්‍ය පිළිබඳ සිංහල සංකල්පය තුළ අනම්‍ය වෘත්තයක් අනුව සැදුම් ලත් සිව්පද නිර්මාණය පිළිබඳ අදහස මුල් බැස ගෙන ඇත. මෙය පාඨකයාට සරල දෙයක් වුවද එමගින් කවියාට නොයෙකුත් අසීරුතා මතුකරලයි. ඔහුගේ වාග් ලීලාව, වචන කෝෂය හා අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස මත මෙමගින් අනේක සීමා ආරෝපණය කරයි. ඔහු පේළි හතර පුරාවටම ඉදිරිපත් කළ යුත්තේ හුදෙක් එකම එක අදහසක් පමණි. මෙය ඇතැම්විට විකාර විස්තරවලට මගපාදන අතර එය මහා වචන විනාශයක් ද වන්නේය. සිව්පද හා එමගින් මතුකරනු ලැබූ ගැටලූ කාව්‍ය සම්ප‍්‍රදාය පහසුවෙන්ම අවසංවර්ධනයට ලක් කෙරුණි (ගුනසිංහ 1950: 70).
මේ අනුව පෙනී යන්නේ ගුනසිංහ ප‍්‍රමුඛ නිසදැස්කරුවන් සිංහල සංස්කෘතියෙන් හා එහි සාහිත්‍ය මූලයන්ගෙන් විනිර්මුක්තව හෝ ආන්තිකව, ඒ පිළිබඳව නොදැන තම භූමිකාව දියත් කළා යන්න නො ව, එකී අඩවිවල තිබූ සීමා (මතවාදීමය හා ආකෘතිකමය) අතික‍්‍රමණය කරන්නට දැරූ සවිඥානික උත්සාහයක් බවයි.

මේ පාරිශුද්ධවාදී/සදාචාරවාදී කතිකාව තුළ මතු වී එන අප හඳුනාගත යුතු තවත් වැදගත් කරුණක් පැහැදිලි ව විද්‍යමාන වේ. ගුනසිංහගේ කවි අනුභූතික වශයෙන් සිංහල සංස්කෘතියට හා ශ‍්‍රී ලාංකේය සමාජයට ආගන්තුක වූත්, ඉන් දුරස් වූත් ලෙස විවේචනය කරන හා ආකෘතික වශයෙන් නිස්සාර හා විදේශීය ලෙස දකින විචාරකයන් ම එම ආකෘතිය ම බොහෝවිට අනුගමනය කළ අන් කවීන් වෙත ඒ විවේචන ඉදිරිපත් කිරීමට මැලි වූහ. මෙය මහගම සේකරගේ කාව්‍යමය භූමිකාව පිළිබඳව අදහස් දක්වන කුලසූරියගේ වචන හරහා මැනවින් ප‍්‍රතිමූර්තිමත් වෙයි. සේකරගේ ව්‍යංගා කාව්‍ය සංග‍්‍රහයට විශේෂ අවධානය සහිතව කුලසූරිය මෙසේ පවසයි:
ගැදි කවි ලෙසින් ඉදිරිපත් කෙරුණු පබඳ ද ‘නිදහස්’ පැදි’ කවි ලෙසින් ගත හැකි පබඳ ද විය. වසර කිහිපයකට පෙර නිකුත් වූ මස් ලේ නැති ඇට (1956) යන්නෙහි පැනෙන හුදු නිසදැස් රටාවට වඩා කියවන විට කනට දැනෙන ක‍්‍රමවත් සදැස් රටාවකට අනුව බැඳි පබඳ මෙහි වැඩියෙන් දක්නට ඇත’’ (කුලසූරිය 1980: 08).
මේ සරල ප‍්‍රකාශයෙන් කුලසූරිය සේකරව ගුනසිංහගේ නිසදැස් ආකෘතිය ‘එතරම්’ සරණ නොයන්නෙකු සේ ගෙන නිදහස් කරගන්නට උත්සාහ දැරූව ද ආකෘතිකමය වශයෙන් ගුනසිංහගේ නිසදැස හා සේකරගේ නිසදැස් කවි අතර ඇති වෙනස විශ්ලේෂණීය වශයෙන් කොතෙක් දුරට වැදගත් වන්නේ ද යන ගැටලූව මතු වේ. ඉහත විශ්ලේෂණයට අනුව නම් සේකර ගුනසිංහගෙන් වෙනස් වන්නේ ඔහුගේ පද වඩාත් හොඳින් ‘කනට දැනෙන’ නිසා පමණි. එමෙන් ම කුලසූරිය සේකරව හඳුන්වන්නේ ‘‘තමාගේ ජන සමාජයේ වෙසෙන්නන්ගේ සිතුම්/පැතුම්,  ගති/පැවතුම් විමසීමේ මං’’ සෙවූ ‘‘සමාජ යථාර්ථය ගැන තැකීමකින් යුතුව කවි ලියූවකු’’ (1980: 08) ලෙසිනි. තවද යූ.පී. මැද්දෙගම උපුටා දක්වමින් කුලසූරිය තවදුරටත් පවසන්නේ, සේකරගේ කවිවල ‘‘සිංහලකම’’ මැනවින් රැුඳී ඇති බවත් ‘‘කවර දෙයක් ගැන කවර රීතියකින් ලියන මුත් ඔහුගේ කවි අප ජීවිතයටත්, සංස්කෘතියටත් ළං ව බැඳී පවතින’’ බවත් ය (කුලසූරිය 1980: 10). සේකරගේ විදේශීය ආභාසය පිළිබඳව කුලසූරිය දක්වන්නේ මෙවැනි අදහසක්ය: ‘‘එලියට, යේට්ස් වැනි ඉංගිරිසි කවීන්ගේ ‘නිදහස්’ පද්‍යයෙන් හෝ ජපන් හයිකු කවියෙන් හෝ තමා පෝෂණය ලැබුව ද ඔහුගේ කවි දේශීය හා ජාතික ලක්ෂණ රැුකෙන සේ සකස් වී ඇත’’ (කුලසූරිය 1980: 10).

ගුනසිංහගේ හා සේකරගේ කාව්‍යමය භූමිකා පිළිබඳව කෙරී ඇති මේ සංසන්දනාත්මක විවරණය බෙහෙවින් පරස්පර විරෝධී වන අතර, එය මූලිකව ම දිග හැරෙනුයේ පාරිශුද්ධත්වය, සදාචාරය හා නිර්මලත්වය පිළිබඳ චිත්තවේගීය හා අශාස්ත‍්‍රීය අගය කිරීමක් තුළ ය. සේකරගේ මෙන් ම ගුනසිංහගේ කවි ද සමාජ යථාර්ථ නොයෙකුත් මට්ටම්වල දී ද ආමන්ත‍්‍රණය කරයි. ඒ සංස්කෘතිය හා සමාජ යථාර්ථ මෙන් ම පෞද්ගලික අනුභූති පිළිබඳ විචාර පූර්වක අඩවියක් තුළ ය. සේකර මෙනයින් සමාජ යථාර්ථය ඇසුරු කරන්නේ නම් ගුනසිංහ ද සැබැවින් එසේ විය යුතු ය. සේකර සිංහලකම (එය කෙලෙස නිර්වචනය කළ ද) ආරක්ෂා කරගන්නේ නම් ගුනසිංහ එසේ නොකරන්නේ කෙසේ දැ යි දැනට පළව ඇති එකදු විවේචනයක හෝ ශාස්ත‍්‍රීයව විමර්ශනය වී ඇති බවක් නොපෙනේ. සේකරගේ විදේශාභාසය නිශේධනීය නොවන ලෙස දේශීය හා ජාතික ලක්ෂණ ආරක්ෂා කරන්නේ නම් ගුනසිංහ එම ආකෘතිය ම තුළ එලෙස ම ලැබූ ආභාසය මගින් පරිස්ථානීය ලක්ෂණ ආරක්ෂා නොකරන්නේ යැයි ප‍්‍රකාශ කිරීම අර්ථ ශුන්‍ය වන්නේය. තව ද මෙකී සමස්ත කතිකාව තුළ ම දේශීය හා ජාතික යන ප‍්‍රවර්ග ගැටලූවකින් හා පරස්පර විරෝධතාවලින් තොරව සංස්කෘතික විපරිවර්තනය නිරතුරුව ම සිදුවන යථාර්ථයක් තුළ හඳුනා ගත හැක්කේ කෙසේ ද යන්න විසඳා ගෙන නොමැති ඥානවිභාගාත්මක ගැටලූවකි. මෙහි දී පෙනී යන්නේ විවේචනයේ පදනම නිර්මාණ කෘතිවල ආකෘතිය, ආභාස හෝ අනුභූතිය යන කරුණු මත පමණක් පිහිටා සිදු නොවුනා පමණක් නොව, එය පුද්ගලික අනන්‍යතාව, මතවාදය හා දැනුමේ සීමා යන කරුණු මගින් ද බෙහෙවින් සීමා වී තිබුනු බවයි.

පැවති ඓතිහාසික සහ සමාජ දේශපාලන මොහොතේ බලපෑම හා ඥානවිභාගාත්මක ඛණ්ඩනයකට තිබූ අවකාශයේ ස්වභාවය

මෙතෙක් සාකච්ඡුා කරන ලද කරුණු ද සමගින් මා දැන් උත්සාහ කරනුයේ ගුනසිංහ නායකත්වය දුන් සාහිත්‍ය නිර්මාණීය විපර්යාසය ඥාන විභාගාත්මක ඛණ්ඩනයක් සේ දැකීමට ඇති අවකාශය ගවේෂණය කිරීමට යි. සාහිත්‍යය විධික‍්‍රමික ව හෝ වෙනත්  ඕනෑම දැනුම් පර්ෂදයකට අදාල උත්පාදනයක්, නව්‍යකරණයක් හෝ උකහා ගැනීමක් කිසිදු විටෙක  ඕපපාතික ව තත්කාලීන ව බල පවත්වන තත්ත්වයන්ගෙන් විනිර්මුක්ත ව සිදුවිය නොහැකි ය. මේ අනුව මා දැනටමත් පෙන්වා දී ඇති ආකාරයට ගුනසිංහගේ නිර්මාණීය භූමිකාව පැහැදිලිව ම එය මතු වූ සමාජ, දේශපාලන මොහොත හා ඊට අනුබද්ධිත තත්ත්ව හා එක් එක් මට්ටම්වලින් බැඳී තිබෙන බව අප තේරුම් ගත යුතු ය. එමෙන් ම එම මොහොතට සාපේක්ෂව යම් ඥාන විභාගාත්මක ඛණ්ඩනයක් සඳහා වෙර දරන පිරිසට ඊට අවශ්‍ය පසුබිමක් තිබිය යුතුය.

මෙතෙක් ඉදිරිපත් කළ සාකච්ඡුාව හරහා අපට පැහැදිලි ව එළඹිය හැකි නිගමනය නම් ගුනසිංහ හා ඔහු සමඟ නිර්මාණකරණ කාර්යයේ නිරත වූ සෙස්සන් සවිඥානිකව ඥාන විභාගාත්මක ඛණ්ඩනයක් හඳුන්වා දීමට උත්සාහ දැරූ බවත් එය සාර්ථක කර ගැනීමට අවශ්‍ය ශාස්ත‍්‍රීය හා සංස්කෘතික බලය ඔවුනට තිබූ බවත් ය. මේ කටයුත්තට ඉතාමත් වැදගත් තෝතැන්නක් ලෙස කටයුතු කෙළේ පේරාදෙණිය ගුරුකුලය වශයෙන් දැනට හඳුන්වනු ලබන බුද්ධිමතුන්ගේ එකතුවයි. ගුරුකුලයක් නැතිනම් කණ්ඩායමක් වශයෙන් ක‍්‍රියාත්මක වීම ම ඥාන විභාගාත්මක ඛණ්ඩනයකට වඩාත් ඉඩප‍්‍රස්තා විවර කර දෙයි. නැතිනම් ගුරුකුලයක පැවැත්ම ඥාන විභාගාත්මක ඛණ්ඩනයක සාර්ථකත්වයට වඩාත් පැහැදිලි ව මඟ පාදයි. මන්ද යත් පුද්ගල ක‍්‍රියාකාරීත්වයට වඩා කණ්ඩායම් ක‍්‍රියාකාරීත්වය මගින් එතුළ ඒකරාශීව සිටිනවුන්ට අවශ්‍ය අන්‍යෝන්‍ය සහයෝගය, ජවය හා ආරක්ෂාව ඉන් සැපයෙන නිසා ය. ගුනසිංහ ඇතුළු කණ්ඩායම වඩාත් ජවසම්පන්නව ක‍්‍රියාත්මක වූ 1950-60 දශකය බාලසූරිය හඳුන්වනුයේ ද්විභාෂික උගතුන්ගේ විශාල පිබිදීමක් පෙන්නුම් කළ යුගයක් ලෙසයි (බාලසූරිය 1998: vii). සැබැවින් ම පේරාදෙණිය ගුරුකුලය මේ උගතුන්ගේ ඇතැමුන් නියෝජනය කළ අතර මේ පිබිදීමට සැලකිය යුතු මට්ටමේ ජවයක් සැපයුව බව සැලකිය යුතු ය. බාලසූරිය දක්වන පරිදි මේ පුළුල් කණ්ඩාම ‘‘නාමික වශයෙන් ලද නිදහස ජාතික උරුමයන් බවට පත් නොවීම නිසා නොසතුටට පත්’’ වූ අතර ඔවුහු ‘‘පුරාවිද්‍යාව, ඉතිහාසය, කලාශිල්ප, නාට්‍ය, කාව්‍ය, චිත‍්‍රපට ආදී විෂයයන් හෝ මාධ්‍යයන් මගින් ජාතික අනන්‍යතාව පිළිබඳ සලකුණු සෙවීමට උත්සාහ දැරූහ (බාලසුරිය 1998: vii). පේරදෙණිය ගුරුකුලය යනු මේ කණ්ඩායමේ එක් සුපැහැදිලි විස්තීරණයකි. එහි ප‍්‍රධාන චරිත වූයේ එදිරිවීර සරච්චන්ද්‍ර, සිරි ගුනසිංහ, ගුණදාස අමරසේකර හා ඔවුන් අනුගමනය කළ පේරාදෙණිය සරසවිය බිහිකළ ශිෂ්‍ය ප‍්‍රජාවත් ය. පසුව මේ කණ්ඩායමේ බලය පේරාදෙණිය සරසවි සීමාවෙන් ඔබ්බට ද විහිදුනි. 'පිං ඇති සරසවි වරමක් දෙන්නේ' 1985) යන පඨිතය මගින් පේරාදෙණිය ගුරුකුලය යන අදහස මෙන් ම එමගින් ධ්වනිත කරන යථාර්ථය සරච්චන්ද්‍ර බැහැර කෙළේ පහත සඳහන් පරිදි ය:
පේරාදෙණිය ගුරුකුලයක් ගැන සමහරු කතා කළහ. එහෙත් එබන්දක් නොතිබිණි. මා ගුරුවරයෙකු වීමත් මගේ ශිෂ්‍යයන් මා අනුගමනය කිරීමත් වෙනම දෙයකි. එය මට වැළැක්විය නොහැක්කකි. එහෙත් මා සිතා මතා ගුරුකුලයක් පිහිටුවේයයි සිතීම මිථ්‍යාවකි. මගේ ශිෂ්‍යයන්ට මම සාහිත්‍ය විචාරය ඉගැන්වූවෙමි. සැම දෙයක් ගැන ම තර්කානුකූලව සිතීමට පුරුදු කළෙමි...
පේරාදෙණිය සාහිත්‍ය යැයි කිසිවක් තිබී නම් එහි නිර්මාතෘවරු කවරහුද? නිර්මාණාත්මක කර්තෘවරුන් අතර, පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා සම්බන්ධ වී හුන් තිදෙනා නම් සිරි ගුනසිංහත්, ගුණදාස අමරසේකරත්, මමත් ය. එහෙත් අපි තිදෙනා අත්තුක්කන්සන පරවම්භන කාර්යයෙහි යෙදී සිටින්නවුන් ලෙස හැඳින්විය හැකි ද? (සරච්චන්ද්‍ර 1985:214-216).
පේරාදෙණිය ගුරු කුලයේ යථාර්ථය බැහැර කිරීමට එහි නිර්මාතෘවරයෙකු ම දරන ලද මේ උත්සාහයට ඓතිහාසික ව සහ සන්දර්භයානුකූල ව කිසිදු පිටුවහලක් නොලැබේ. ගුරු කුලයක් යනු හුදු නිලවරණයක් මගින් ගොඩනගාගත් විධිමත් හෝ නිල කණ්ඩායමක් වීම අවශ්‍ය නො වේ. අනෙක් අතට නිර්මාණ සාහිත්‍ය පිළිබඳ ගුරුකුලයක පැවැත්මට හුදු ප‍්‍රධාන චරිත ගණනාවක් යම් ආයතනයක් (උදාහරණමක් ලෙස පේරාදෙණිය සරසවිය) ආශ‍්‍රිතව කටයුතු කිරීම ද ප‍්‍රමාණවත් නො වේ. සරච්චන්ද්‍රගේ මේ නිර්වචනයේ ඇති සීමා අතික‍්‍රමණය කළ විට පේරාදෙණිය ගුරුකුලයේ යථාර්ථය මැනවින් විද්‍යමාන වේ. එය හුදු පුද්ගලයන් කිහිප දෙනෙකුගේ එකතුවක් නො වී ය. සරච්චන්ද්‍ර, අමරසේකර, ගුනසිංහ හා පසුව විමල් දිසානායක වැනි අය වඩා කැපී පෙනෙන චරිත හා ගාමක බලවේග බවට පත්විය. එනමුත් ඔවුන් අනුගමනය කළ බොහෝ දෙනා පේරාදෙණිය සරසවිය තුළත් ඉන් පරිබාහිරවත් කාලීනව ව්‍යාප්ත විය. මේ කණ්ඩායමේ මූලික මතවාදී හරය වූයේ එවකට පැවැති සාහිත්‍යමය ආකෘති ඔවුනට ආමන්ත‍්‍රණය කිරීමට අවශ්‍ය වාදවිෂය සමඟ ගනුදෙනු කිරීමට ප‍්‍රමාණවත් නොවීම නිසා නව ආකෘති හා එළඹුම් සොයාගත යුතු බවයි. මේ ගුරුකුලය තුළ කුමන මතවාදී වෙනස්කම් තිබුණ ද පසු ව මතු වුන ද (විශේෂයෙන් ගුණදාස අමරසේකර සමඟ)මේ මූලික හරය පේරාදෙණිය ගුරුකුලයේ පදනම විය. කෙටියෙන් හෝ මෙකී ගුරුකුලය පිළිබඳ මා මෙපමණ කතා කෙළේ ගුනසිංහ හා ඔහුගේ අනුගාමිකයන් දියත් කරන ලද ඥානවිභාගාත්මක ඛණ්ඩනයේ සාර්ථකත්වයට ගුරුකුලයේ ආලෝකය මහත් ජවයක් සැපයූ නිසා ය. කණ්ඩායමේ ප‍්‍රධානීන් තුළ තිබූ ඇතැම් ආකල්පමය හා මතවාදී වෙනස්කම් ද එකී වර්ධනයට රුකුල් දුන්නේ ය. ගුරුකුලයක් ලෙස නොපැවතුණේ නම් ගුනසිංහ, අමරසේකර, සරච්චන්ද්‍ර යන්නවුන්ගේ ඒක පුද්ගල නව්‍යකරණයන් සමාජය වෙත බලපෑම් කරන්නට වඩාත් වැඩි කාලයක් ගතවන්නට ඉඩ තිබුණි.

නිගමන සටහන්
දැන් මාගේ අදහස මේ සාකච්ඡුාව යම් සමාප්තියකට රැුගෙන යාම යි. සිරි ගුනසිංහගේ නිර්මාණකරණය පිළිබඳ දේශපාලනය අප වටහා ගත යුත්තේත්,  විශ්ලේෂණය කිරීම සහ විචාදයට නතු කළ යුත්තේත්් එම නිර්මාණ බිහිවූ සංස්කෘතික මොහොත තේරුම් ගැනීමෙන් ය යන කාරණය මෙතෙක් කරන ලද පාඨනයෙන් මතුවූයේ ය යන්න මගේ විශ්වාසය යි. එසේ ම ගුනසිංහ සිය නිර්මාණ ඉදිරිපත් කෙළේ සාම්ප‍්‍රදායික සමාජයේ ඇතැමුන් වෙලී හුන් වික්ටෝරියානු සදාචාරාත්මක මතවාදයට එරෙහි ව්‍යාපාරයක් ලෙසින් ය යන සත්‍යයත් අප සිහියේ තබා ගත යුතු ය. ඔහු සිය අදහස් පටිසෝතගාමී ස්වරූපයකින් ඉදිරිපත් කිරීම සහ නව ආකෘතියක් හඳුන්වා දෙමින් කාව්‍ය භාෂාවේ හා ආකෘතික රටාවේ එතෙක් පැවැති ඒකාධිකාරිය බිඳහෙළීම, පැවැති කතිකාවනට විරුද්ධ කි‍්‍රයාකාරකමක් ලෙස භාෂා පාරිශුද්ධවාදීන්ගේ හා කාව්‍ය පිවිතුරුවාදීන්ගේ නිර්දය විවේචනයට නතු වූ බව ද අප දන්නා කරුණකි. එසේ වුව ද එම විවේචන අභිමුව ගුනසිංහ සිය නිර්මාණ ව්‍යාපාරය දියත් කෙළේ හා පවත්වාගෙන ගියේ ඔහු උකහා ගත් විදෙස් දැනුම මතවාදීමය වශයෙන් දේශීයකරණයට ලක් කිරීමේ අදහසින් මෙන් ම තමන් සතු වූ ගැඹුරු පරිස්ථානීය සංස්කෘතික දැනුම නව අර්ථවිවරණයකට භාජනය කරමින් බව පැහැදිලි ය. ගුනසිංහගේ නිර්මාණකරණ කි‍්‍රයාවලිය පිළිබඳ මෙතෙක් කෙරී ඇති විවේචන තුළින් මෙරට සාහිත්‍ය විචාරය පිළිබඳ යම් අදහසක් ද මෙහි දී ලඝු කොට දැක්විය හැකි ය. එනම් මෙම විචාර සියල්ලක් ම පාහේ පෞද්ගලික විරෝධතා මුල් කරගනිමින් මතු වූ පටු විවේචන වන බවකි. මෙම විවේචන වුව ද ඉදිරිපත් කර ඇත්තේ ඒකාංශික යොමුවකින් සහ වික්ටෝරියානු සුචරිතවාදී කක්ෂයක ස්ථානගත කර ගත් පාරිශුද්ධවාදී සදාචාරයක් පිළිබඳ ව්‍යාකූල අදහස් ගොන්නක් මත පදනම් වෙමිනි. එසේ ම මෙරට විචාර සහ විවේචන එල්ල වනුයේ සීමාකාරී ප‍්‍රවේශයක මත පිහිටන පෞද්ගලික කෝන්තර පිරිමසා ගැනීමේ අරමුණක් ඇතිව බව ගුනසිංහ වෙත එල්ල වූ ඉහත සාරාංශ ගත කර ඇති බොහෝ විවේචනවලින් පැහැදිලි වේ. අවාසනාවකට මෙන් මේ තත්ත්වය යම් සීමා තුළ අදටත් වලංගු ය. මෙහි දී පෙනෙනුයේ විචාරකරණයේ නිරතවන්නන් බොහෝ දෙනා එදා සිට අද දක්වා  අන්තර් විෂයික ඥාන ගවේෂණාත්මක දුර්වලතා මෙන් ම ඒවා අදාළ විෂයික සන්දර්භයට මනා ලෙස ගලපා ගැනීමේ දුර්වලතා ද පසක් කරන බව යි. ගුනසිංහගේ මතවාදී අදහස් විවේචනයට නතු කළ බොහෝ පිරිසට අවබෝධ කර ගත නොහැකි වූයේත් එම මතවාද සීමාකාරී ප‍්‍රවේශයකට ලඝු වූයේත් මෙම අන්තර් විෂයික ඥාන ගවේෂණයේ පැවැති දුර්වලතා හේතුවෙනි.

කෙසේ වුව ද, ගුනසිංහගේ පෞද්ගලික ශාස්තී‍්‍රය භූමිකාව මෙන්ම පේරාදෙණිය ගුරුකුලය සමස්තයක් ලෙස නියෝජනය කළ වඩාත් පුළුල් භූමිකාව ද ඒවාට අදාළ ව මෙතෙක් සාකච්ඡුා කර ඇති ධනාත්මක මැදිහත්වීම සම්බන්ධයෙන් අගය කිරීම ගැටළුවක් නොවූව ද ගුනසිංහගේ භූමිකාව සහ පේරාදෙණියේ වඩාත් පුළුල් භූමිකාව එවක පැවැති බුද්ධි කලම්බන අවකාශයේ යම් නිශේධනීය ලක්ෂණ සලකුණු කරන බව ද අප අමතක නොකළ යුතු ය. එනම් ගුනසිංහට මෙන් ම පේරාදෙණිය ගුරුකුලයට අයත් වූ සෙස්සන්ට තම කර්තව්‍යය සනිටුහන් කළ ඥාන විභාගාත්මක ඛණ්ඩනය සාර්ථකව කර ගෙන යාමට අපමණ අවකාශ හා ජවය තිබුණ ද ඔවුන් හා සබැදුනු යම් ආකාරයේ බුද්ධිමය උද්දච්චකමක් කරණ කොට ගෙන කතිකාමය අඩවියක් තුළ අනිවාර්යයෙන් සාක්ශ්‍යාත් කර ගත යුතු ව තිබූ බහුස්වනීය තත්ත්වය ඔවුන් අන් අය වෙත එල්ල කළ නිර්දය විවේචන මගින් සහමුලින් ම පාහේ අසුරා දමා තිබුණි. මේ තත්ත්වය විස්තර කරන එක් අවස්ථාවක් මාර්ටින් වික‍්‍රමසිංහ පේරාදෙණි ගුරුකුලය ශී‍්‍ර  ලංකාවේ නව කතාවේ විපරිවර්තනය  පිළිබඳව දැක් වූ අදහස් විවේචනය කරමින් ලියූ රචනයකින් මැනැවින් විද්‍යමාන වේ:

සයිමන් ද සිල්වා, පියදාස සිරිසේන, ඩබ්.ඒ. ද සිල්වා ආදීන්ගේ නවකතා නියම නවකතා නොවෙතියි පේරාදෙණිය ගුරුකුල ඇදුරන් විසින් බැහැර කරන ලද්දේ
විවේචකයන් නොව ප‍්‍රචාරකයන් ලෙසිනි. මොවුනගේ ප‍්‍රචාරයෙහි ප‍්‍රතිඵල ඉහළ ම තැන  තෙක් නැංගේ 1964 කෑගල්ලේ පවත්වන ලද සිංහල සාහිත්‍ය සම්මේලනයේදී විමල් දිසානයකත් සිරි ගුණසිංහත් පැවැත්වූ කථා දෙකකිනි. ඒ කථා දෙකම පේරාදෙණියේ ගුරුකුලයේ අත්තුක්කංසනයත් පරගැති කමත් ප‍්‍රකට කරයි.
‘නව කතාව ජීවිත විවරණයකි’ යන මැයෙන් කථාව පටන් ගත් සිරි ගුනසිංහ නියම නව කථාව අගය කරන මඟ සොයා ගත්තේ පේරාදෙණිය ගුරු කුලයේ ඇත්තන් යැයි ඇගවීමට වෑයම් කළේ ය. ඒ සයිමන් ද සිල්වාගේ මීනා, අපේ ආගම වැනි නව කතා නොවේ. සීතා, මිරිඟුව නවකතා නොවේ. ඒ කථාවලින් රස විඳින්නෝ නව කතා නොහඳුනති...
මහා සභාවක දී මෙවැනි මත පළ කිරීමට තරම් හෙළි වෙන්නේ පේරාදෙණිය ගුරුකුල ශා‍්‍රවකයන්ගේ අගතිගාමී හා අල්ප දැනුමයි (වික‍්‍රමසිංහ 2006: 138).
වික‍්‍රමසිංහගේ නිගමනය කෙසේ වෙතත් ඔහුගේ විස්තරයෙන් පේරාදෙණිය ගුරුකුලය මෙන් ම ගුනසිංහ ද තම අදහස් පිළිබඳව නිරතුරුව ම පාහේ ඉදිරිපත් කළ ස්ථාවරය මැනවින් පැහැදිලි වේ. මෙය ඔවුන්ගේ අල්ප දැනුම පිිළිබඳ ප‍්‍රශ්නයක් නො වේ. සැබැවින් ම එය ඔවුන්ගේ ඉතාම පුළුල් වූ ශෘස්තී‍්‍රය හා සංස්කෘතික දැනුමට ඔවුන් ගනුදෙනු කළ බුද්ධිමය අඩවියේ අනේකවිධ පසුබිම් ග‍්‍රහණය කර ගැනීමට නොහැකි වීමත් බහුවිධ අදහස්වල පැවැත්ම අගය කිරීමට නොහැකි වීමත් යන කාරණාවල අවසනාවන්ත ප‍්‍රතිඵලයකි. මේ දැඩි ඌනතාව ගුනසිංහගේ සහ පේරාදෙණිය ගුරුකුලයේ සමස්ත භූමිකාවේ සාධනීයත්වයත් සමගම සිදු වූ දෙයකි. ගුනසිංහ ඇතුළු පේරාදෙණිය ගුරුකුලයේ නිසදැස්කරුවන් කොළඹ යුගයේ කාව්‍ය ආකෘතියේ සීමා මැනවින් හඳුනා ගෙන එහි සීමා අතික‍්‍රමණය කිරීමට සුදුසු ආකෘතියක් සොයා ගත්ත ද එකී කවිය ‘සමුද්‍රඝෝෂ පල්වල’ ලෙස බැහැර කිරීමෙන් දැක්වෙන්නේ ද නව නකාව සම්බන්ධයෙන් මෙන් ම කවිය පිළිබඳව දැක්වූ බහිෂ්කරණීය ආකල්පය යි. මෙහි දී ගැටළුව වන්නේ තම දැනුමේ හා පුහුණුවේ ආලෝකය මධ්‍යයේ නව දැනුමක් එක්රැුස් කිරීම හා එය පවතින දැනුමට වඩා බෙහෙවින් ඉදරිගාමීය යන කරුණ පසක් කර ගැනීම නො වේ. ගැටළුව නම් එකී ඥාන විශ්වයට පරිභාහිර සියළු දැනුම් ඒවායේ ප‍්‍රභවය පිළිබඳ බහුවිධ ඉතිහාස ද නොසලකා හරිමින් බැහැර කිරීම ය. 1976 වසරේ දී පළ වූ (අගෝස්තු -සැප්තැම්බර්) මාවත සඟරාවේ සංස්කාරකවරුන් විසින් පේරාදෙණිය ගුරුකුලයේ කේන්ද්‍රීය වැදගත්කම පිළිගනිමින් ම ඉහත සඳහන් සීමාව ද මැනවින් විස්තර කර තිබුණි. ඔවුන් පෝරාදෙණිය ගුරුකුලය හඳුනා ගත්තේ 1956 සිට 1970 දක්වා සංස්කෘතික ක්ෂේත‍්‍රයේ වැඩි බලයක් හිමිකර ගත් සුළුතර හා විදග්ධ කණ්ඩායමක් ලෙසිනි (මාවත සංස්කාරකවරු 1976: 5). පේරාදෙණිය ගුරුකුලය පිළිබඳ ඔවුන්ගේ විවේචනය සිද්ධ වූයේ පහත සඳහන් ලෙසිනි:

.....ඒත් සුළුතරය අතෙහි තිබුණු විචාර සංස්ථා තුළින්, බහුතරයේ ලේඛකයන්ට නිසි ගෞරවය ලැබුණේ නැත. විදග්ධ විචාරයෙන් විමලරත්න කුමාරගම ප‍්‍රමුඛව, කේයස්, මහින්ද හිමි, අල්විස් පෙරේරා, පියදාස සිරිසේන, මායා රංජන් වැනි ලේඛකයන්ට කර ඇති අසධාරණය බරපතලය. බහුතර කණ්ඩායමේ ද බලගතු අඩුපාඩු තිබුණේය. ඉන් ප‍්‍රධාන වන්නේ ඔවුන්ගේ දෘෂ්ටිමය දුප්පත්කමයි. මේ හේතුවෙන් සුළුතර ගුරුකුලයට එරෙහිව සංවිධානාත්මක හා හරවත් විචාර විවාදයක් පවත්වා ගැනීමට ඔවුන් අපොහොසත් වූණා. දෙගොල්ල අතර විවාදය හරවත්ව නොකෙරුණු නිසාම ප‍්‍රතිවිරෝධතාවයට අවශ්‍යව තිබුණු පිපිරීම ඇති වුණේ සංස්කෘතික ඉම තුළ නොව, ඊට පිටතින් වූ දේශපාලන බිමෙහිය (මාවත සංස්කාරකවරු  1976: 5).
මට පෙනෙන ආකාරයට ගුනසිංහ ඇතුළු පේරාදෙණිය ගුරුකුලයේ භූමිකාව හා ඔවුන්ට විරුද්ධව සිටි කණ්ඩායම්වල භූමිකාවත් ඒවායේ සාධනීය හා නිශේධනීය තත්ත්වයනුත් ඉතාමත් සූක්ෂමව තේරුම් ගත් අවස්ථාවක් ලෙස මාවත සඟරාවේ ඉහත විස්තරය හඳුනා ගත හැකිය. එමඟින් මතු කරන ප‍්‍රධානම අදහසක් නම් මේ කණ්ඩායම් අතර ශාස්තී‍්‍රය මට්ටමේ විචාරයකට අවකාශ විවර නොවීමේ ගැටලූවයි. අවාසනාවන්ත කාරණය නම් පේරාදෙණිය ගුරුකුලයට මෙන්ම විශේෂයෙන් ගුනසිංහට තම භූමිකාව සාර්ථක කර ගැනීමට අවශ්‍ය බුද්ධිමය පසුබිම මැනවින්  තිබුණ ද තම විවේචකයන්ට මෙන්ම ඔවුන්ට ද එය බහුස්වනීය අඩවියක් තුළ වඩා ප‍්‍රජාතන්තී‍්‍රය හා ශිෂ්ටවත් ලෙස කර ගෙන යාමේ හැකියාව හැඩ ගසා නොගැනීමයි.  


මා මෙතෙක් ඉදිරිපත් කළ සමස්ත කරුණු සාරාංශ ගතකිරීම යම් දුරකට අපහසු වුවද සිරි ගුනසිංහගේ නිර්මාණකරණ ව්‍යාපාරය අප අවසාන විග‍්‍රහයේදී වටහා ගත යුත්තේ ඉහත දැක්වූ අවාසනාවන්ත සීමා මධ්‍යයේ වුව ද මෑත කාලීනව දිගහැරුණු වඩාත් සුපැහැදිලි හා දීර්ග කාලීන බලපෑම් සහිත ඥානවිභාගාත්මක ඛන්ඩනය මෙන්ම මෙරට සාහිත්‍යයට පමණක් නොව සෙසු අන්තර් විෂයික අඩවි ගවේෂණය කිරීමට හා පාඨනය කිරීමට ද  අනේකවිධ ඉඩප‍්‍රස්ථා හිමි කර දුන් ඥාන ගවේෂණාත්මක කි‍්‍රයාවලියක් ලෙසිනි.

ආශ්‍රේය පඨිත

සරච්චන්ද්‍ර, එදිරිවීර.
1985. පිං ඇති සරසවි වරමක් දෙන්නේ. කොළඹ: දයාවංශ ජයකොඩි සහ සමගම.


සංස්කාරකවරු

1976. මාවත අංක 1, සංස්. එස්. විජේසූරිය සහ අන් අය. කොළඹ: මාවත ප‍්‍රකාශකයෝ.


සිල්වා, ඇල්. ඇම්. ඒ.

1959. විචාර විවරණය. කොළඹ: සීමාසහිත ෆ‍්‍රී ෆ්‍රෙස් සමාගම.


කුලසූරිය, ආනන්ද.

1980 (මැයි 10) සිංහල පද්‍යයේ ප‍්‍රවණතා - ඊයේ    කවිය අද ප‍්‍රතිචාරය. 1980 මැයි 10 වැනි දා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැවති දේශනයේ පිටපත.


ගුනසිංහ, සිරි.

1961. මස් ලේ නැති ඇට. මහරගම: සමන් මුද්‍රණාලය.


බාලසූරිය, සෝමරත්න.

1998. ‘නිසදැස් කාව්‍ය සම්ප‍්‍රදාය හා සිරි ගුණසිංහ’. අබිනික්මන. කොළඹ: එස්. ගොඩගේ සහ සහෝදරයෝ.


වික‍්‍රමසිංහ, මාර්ටින්.

2006. සිංහල නවකථාව හා ජපන් කාමකථා හෙවණැල්ල. රාජගිරිය: සරස (පෞද්ගලික) සමාගම.

Clifford, James and George E. Marcus
1986. Writing Culture: The Poetics and Politics of Ethnography. Berkeley: University of California Press.

Gunasinghe, B.A.S.

1950. 'The New Note in Contemporary Sinhalese Poetry'. In, Observer Annual. Colombo: Lakehouse.


Saturday, May 31, 2014

ඥාන ගවේශනය, ඥාන විභාගාත්මක ඛණ්ඩනය සහ ශාස්ත‍්‍රාලයීය නිදහස


සසංක පෙරේරා
(සිරි ගුනසිංහ උපහාර ලිපි කෘතිය එලිදැක්වූ අවස්ථාවේ කළ දේශනය, 01 අපේ‍්‍රල් 2010, ශ‍්‍රවණාගාරය, ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩලය, අංක 14, නිදහස් මාවත, කොළඔ 7)

සිරි ගුනසිංහ මට පෞද්ගලිකව හඳුුන්වා දිය හැක්කේ මා හොදින් දන්නා එමෙන්ම එතරම් නොදන්නා පුද්ගලයෙකු ලෙසටය. මා ප‍්‍රථමයෙන්ම ඔහු පිළිබඳ අසා දැන ගත්තේ සත්සමුදුර චිත‍්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වශයෙන් මිස කවියෙකු වශයෙන් හෝ විශ්විවිද්‍යාල ආචාර්යවරයෙකු වශයෙන් හෝ නොවේ. එයට හේතුව එම චිත‍්‍රපටය හා සමීපව සම්බන්ධ මාගේ ඥාතියෙකුගේ ඇසුර කුඩා කල මට ලැබුණු නිසාය. ඔහු සවස් කාලයේ  නිවසට පැමිණියේ චිත‍්‍රපටයේ ප‍්‍රධාන තේමා ගීතය වූ  මහගම සේකරගේ වදන් වැලක් ඇසුරින් අමරදේවගේ සුගායනීය හඬින් ගැයුණු  සිනිදු සුදු මුදු තලාවේ  යන ගීතයේි’ගැඹුරු සත් සමුදුර පතුල බිඳ ඇඹරි ඇඹරී වියරු ජල රළ තිඹිර මහ මෙර දෙදරවයි - බුර බුරා එන කුරිරු ජල කද දෙරණ සම්පත ගිල ගනී’’ යන වචන මහ හඬින් ගයමින් ඊට ජවය සැපයීමට අවශ්‍ය මධු විතින් ද සප්පායම් වීමෙන් පසුවයි. ගුනසිංහ ලියා ඇති බොහෝ කවි පොත් මෙන්ම ඇතැම් රචනා ද මා කියවා ඇතත් ඔහුව මට පුද්ගලිකව මුණ ගැසුනේ මීට මාසයකට පමණ පෙර මා හමුවීමට අපගේ අධ්‍යයනාංශයට පැමිණි අවස්ථාවේදීය. ඔහු මා දන්නා එසේම නොදන්නා පුද්ගලයෙකු ලෙසට ඉහතින් හැඳින්වූයේ ඒ නිසාය. 

කෙසේ වෙතත් ගුනසිංහ පිළිබඳ ආවර්ජනයක යෙදෙන්නට අද මාගේ අදහසක් නැත. සිංහල සංස්කෘතික ක්‍ෂේත‍්‍රයේ ඔහු පිළිබඳ නොදන්නා කෙනෙකු සිටී නම් ඔහු හෝ ඇය මේ අවස්ථාවේ මෙහි සිටිය යුතු නැත. එමෙන්ම ඔහු පිළිබඳ -- විශේෂයෙන්ම නිසදැස් හා ඔහු අතර ඇති අත්‍යන්ත සබඳතාව පිළිබඳ ලිපියක් අද දින එළි දැක්වෙන කෘතිය සඳහා මා සම්පාදනය කර තිබීම ද එවන් ආවර්ජනයක නොයෙදීමට තවත් හේතුවක් ලෙස මා දකිමි. මෙවන් සරල ආවර්ජනාත්මක යාතුකර්මවල නියැලීමට අවශ්‍ය ඔහු පිලිබඳ පුද්ගලික දැනීමද මා සතුව නොමැත. ඒ  වෙනුවට මාගේ අදහස මේ අවස්ථාව නිමිත්තක් වශයෙන් ගෙන ඥාන ගවේශනය, ඥාන විභාගාත්මක ඛණ්ඩනය සහ ශාස්ත‍්‍රාලයීය නිදහස පිළිබඳ යම් කෙටි අදහස් සමුදායක් ඔබ වෙත ඉදිරිපත් කිරීමටයි. මන්ද යත්, මේ කරුණු තුන ගුනසිංහගේ සමස්ථ භූමිකාව තේරුම් ගැනීමේදීත් අපගේ සාමුහික බුද්ධිමය අනාගතය හා සභ්‍යත්වමය දිශානති පිළිබඳ සිතීමේදීත් කේන්්ද්‍රීයව වැදගත් වන නිසාය. ඥාන ගවේෂණය, ඥාන විභාගාත්මක ඛණ්ඩනය සහ ශෘස්ත‍්‍රාලයීය නිදහස අත්‍යන්තයෙන් එකට බැදී ඇති බව මගේ විශ්වාසයයි. සැබැවින්ම සිරි ගුනසිංහගේ කේන්ද්‍රීය කාව්‍ය නිර්මාණ, ඔහුගේ හා පේ්රාදෙණි ගුරුකුලයේ අන් පුද්ගලයන්ගේ සමාජ-සංස්කෘතික මැදිහත් වීම් හා එකී ගුරුකුලයේ බිහිවීම ද  ඕපපාතික ව සිදු නොවූ අතර එයට පදනම වූයේ 1950 සහ 1960 දශකය අතර කාලයේ දී ඉහත සඳහන් කළ කරුණු තුන (එනම් ඥාන ගවේෂණය, ඥාන විභාගාත්මක ඛණ්ඩනය සහ ශාස්ත‍්‍රාලයීය නිදහස) නිතැතින්ම කි‍්‍රයාත්මක වූ නිසාත් පේරාදෙණිය විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් එය පැහැදිලිවම විද්‍යමාන වූ නිසාත්ය. මෙහිදී ඥාන විභාගාත්මක ඛණ්ඩනය වශයෙන් මා අදහස් කරනුයේ කුමක් ද යන්න කෙටියෙන් හෝ ඉදිරිපත් කිරීම ප‍්‍රයෝජනවත් බව මට සිිතේ. 

 ඕනෑම ක්ෂේත‍්‍රයක පවතින ඥාන ගවේෂණ කි‍්‍රයාවලි ඛණ්ඩනය කරමින් නව ඥාන විභාගත්මක ප‍්‍රවේශ බිහිවීමට නම් නිර්ණායක ගණනාවක් සැපිරිය යුතුය. ඉන් එකක් නම් අදාල ඛණ්ඩනයට දිශානති සැපයිය හැකි පැහිදිලි මතවාදීමය වෙනසක් ස්ථාපනය කිරීමේ අවශ්‍යයතාවයි. එය මූලික වශයෙන් බුද්ධිමය කර්තව්‍යයක් වන අතර ඒ සඳහා තත්කාලීනව අදාල ක්‍ෂේත‍්‍රය හා සම්බන්ධ පරිස්ථානීය, කලාපීය හා ගෝලීය දැනුම් නිශ්පාදන අඩවි සමග එකී මතවාද සම්පාදනය කරන්නට උත්සාහ දරන්නවුන් සම්බන්ධ වී සිටිය යුතුය. තවද එවැනි ඛන්ඩනයක අවශ්‍යතාව යම් මට්ටමකින් හෝ සමාජයේ මතුවී තිබිය යුතුය. සිංහල කවිය සම්බන්ධයෙන් නම් නිසදැස් හඳුන්වා දෙන්නට උත්සාහ දැරූ අවදියේ එවන් අවශ්‍යතාවක් තිබූ බව අද අප බොහෝ දෙනා පිළිගනු ඇතිය යන්න මගේ විශ්වාසයයි. දෙවැන්න නම් අදාල ඥාන විභාගාත්මක කටයුතුවල අන්තර්ගතයේ සහ ආකෘතියේ සුපැහැදිලි වෙනසක් එකී මතවාදය හරහා ඇති කිරීමයි. ඛන්ඩනයක් වචනයේ පරිසමාත්ත අර්ථයෙන් සිදු වන්නේ එවිටය. සිංහල කවිය සම්බන්ධයෙන් ගුනසිංහ හා ඔහුගේ සමකාලීන අනුගාමිකයන් ඇති කෙළේ එවන් ආකෘතික හා අන්තර්ගතික වෙනසකි. තෙවැන්න වනුයේ එවැනි ඥාන විභාගාත්මක ඛණ්ඩනයකට නායකත්වය සැපයිය හැකි බුද්ධීජීවී ප‍්‍රජාවක්, ගුරු කුලයක් හෝ බහුශැත පුද්ගලයන් සිටීමේ අවශ්‍යතාවයි. අප රට වැනි දේශීය භාෂාවන්ගෙන් තීව‍්‍ර දැනුම් නිෂ්පාදනයක් නොවන සන්දර්භයක් තූළ ඔවුන් හුදු ඒක භාශික පිරිසක් විය නොහැකියි. ලොව නන් ප‍්‍රදේශවල ජනනය වන තම ක්‍ෂේත‍්‍රවලට අදාල දැනුම සොයා යෑමේත් ග‍්‍රහණය කර ගැනීමේත් එය අදාල අවස්ථාවට හා සන්ධර්භයට අනුව ප‍්‍රති-සකසා ගැනීමේ හැකියාවත් ඔවුන්ට තිබිය යුතුය. ගුනසිංහ ඇතුළු පිරිස සිංහල සංස්කෘතිය හා භාෂාව සමග තිබූ බැදීමත් එකල ලබා ගත හැකිව තිබූ පුළුල්ම අධ්‍යාපනයේ ආලෝකයත්  මේ විභවයන් ඔවුන්ට සලසා දී තිබුනි. සිව්වැන්න නම් ඇති කරනු ලබන ඛණ්ඩනය පිළිගෙගෙන එය ස්ථාපනය කිරීමේ කාර්යයට උර දිය හැකි බුද්ධිමත් අනුගාමික පිරිසකගේ පැවැත්මයි. සමස්ථයක් ලෙස නිසදැස් කවිය හා ගුනසිංහ පිළිබඳ කතා කිරීමේදී ෙමි සියලූ නිර්ණායක මනා ලෙස සැපිරුණු බව නොකිවමනාය. 

එනමුත් වඩා වැදගත් වනුයේත් අදවන විට අප බොහෝ දුරට අමකත කර තිබෙනුයේත් මේ සියල්ලට පදනම සැපයුවේ එකල වූ ශාස්තී‍්‍රය පද්ධතියේ අනිවාර්ය අගයක් වූ ශාස්ත‍්‍රාලයීය නිදහස යන කාරණය බවයි. වෙනත් වචන වලින් පවසනවා නම්, මේ ශාස්ත‍්‍රාලයීය නිදහස නොතිබුණි නම් අද අපගේ බුහුමන් ලබන සිරි ගුනසිංහවත් නිසදැසවත් පේරාදෙණිය ගුරු කුලයවත් අද අප දන්නා අකාරයෙන් බිහි නොවන්ට බොහෝ දුරට ඉඩ තිබුණු බව මගේ විශ්වාසයයි.

අප දැන් අපගෙන්ම නැගිය යුතු ප‍්‍රශ්නය වනුයේ මේ ආකාරයේ ඥාන ගවේෂණයකට හෝ ඥාන විභාගාත්මක ඛණ්ඩනයන්ට අවකාශ විවර කළ හැකි ශාස්තී‍්‍රය වතාවරණයක් හෝ ශාස්ත‍්‍රාලයීය නිදහසක් ශි‍්‍ර ලාංකේය ශාස්ත‍්‍රාලයීය පද්ධතිය තුළ තව දුරටත් තිබේද යන්නයි. එසේ නොමැතිනම් ඊට හේතු මෙනෙහි කිරීම ද ප‍්‍රයෝජනවත් බව මගේ හැගීමයි. මන්ද යත්, මාගේ විශ්වාසය අනුව මෙවන් තත්ත්ව මිලින වී පවතින ස්ථානවල හා අවස්ථාවල එකී ස්ථානයට හා අවදියට අදාළ සභ්‍යත්වයේ මිලිනවීම ද බෙහෙවින් සමීප බැවිනි. ලූවිස් මෙනන්ඞ් 1998 දී ලියූ The Limits of Academic Freedom  (ශාස්ත‍්‍රාලයීය නිදහසේ සීමා) යන කෘතියෙන් පෙන්වා දෙනුයේ ශාස්ත‍්‍රාලයීය නිදහස මගින් ශාස්ත‍්‍රීය කටයුතු බාධා රහිතව සිදු කර ගෙන යාමට අවශ්‍ය ආරක්ෂක අවකාශය හා ස්වයං පාලන අවකාශයක් එවන් අදහස් අගය කරන සමාජවල විශ්වවිද්‍යාල වැනි ආයතන හරහා ගොඩ නගන බවයි. ශාස්තී‍්‍රය කටයුතු ලෙස ඔහු මෙහිදී මූලික වශයෙන් අර්ථ දක්වනුයේ ඉගැන්වීම හා ඥාන ගවේෂණය යන කරුණූ දෙක වේ.  මේ කරුණූ ද්විත්වය තුළට රචනය, ප‍්‍රකාශනය, චින්තනය, විවාදය, සම්මුතිය, විසම්මුතිය හා අදහස් බහුත්වයක් ජනිත වීමට අවකාශ සැපයීම හා ඒවා ඉවසීම යන කරුණු ද ඇතුලත් වේ. සැබැවින්ම අදහස් ජීවය ලබන්නට නම් එකිනෙක හා බැදුණු මෙවැනි අගය පද්ධතියක පැවැත්ම හා එහි ආරක්ෂාව සෑම සමාජයකම සංස්කෘතික-දේශපාලනික අගය පද්ධති හා බැදී පැවතීම අනිවාර්ය වේ. මා එය සලකනුයේ සභ්‍යත්වයේ මූල බීජය සහ අරටුව ද වශයෙනි. 1967 වසරේදී අමෙරිකානු සමාජයේ ශාස්ත‍්‍රාලයීය නිදහස පිළිබඳව සිදු වූ ප‍්‍රසිද්ධ නඩු විභාගයක දී අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ බහුතර අදහස නියෝජනය කරමින් විනිසුරු විලියම් ජෝසෆ් බ්‍රෙනන් අමෙරිකානු සම්ප‍්‍රදාය තුළ ශාස්ත‍්‍රාලයීය නිදහස පිළිබඳව පහත සඳහන් අදහස් ඉදිරිපත් කළා:
ශාස්තාලයීය නිදහස යන්න හුදෙක් විශ්වවිද්‍යාල ගුරුවරුන්ට පමණක් නොව අප සියලූ දෙනාටම අතිශයින් වැදගත් අගයක්ය. එනිසා එකී නිදහස අප ව්‍යවස්ථාවේ පළමු සංශෝධනය හා බැදී පවතියි. එබැවින් එකී සංශෝධනය පන්ති කාමරය මත සම්ප‍්‍රදායිකත්වයේ අන්ධකාරය පැතිර යනු දක්නිනට ඉඩ නොහරිනු ඇත. 
මෙහිදී අප මතක තබා ගත යුත්තේ අමෙරිකානු ව්‍යවස්ථාවේ පළමු සංශෝධනය අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය සම්බන්ධයෙන් පැනවූවක් බවයි. මෙකී නඩු තීන්දුවේ මුඛ්‍ය අදහස වූයේ තීව‍්‍ර හා පෙරටුගාමී දැනුම් නිෂ්පාදනයක් විශ්වවිද්‍යාල හරහා ගොඩනැගිය යුතු බවත් ඊට අවකාශ සැපයීම රාජ්‍යයේ යුතුකමක් බවත්ය. අද වන විට විශේසයෙන් ජෝර්ජ් බුශ් පාලන සමයේ සිට ඇමරිකානු ශාස්ත‍්‍රාලයීය නිදහස කප්පාදු කිරීමට බොහෝ උත්සාහ ගන්නා ලදී. එනමුත් ඉහත නඩු තීන්දුවේ යාවත්කාලීන බලය හා ශාස්ත‍්‍රාලයීය නිදහස එම සමාජයේ කේන්ද්‍රීය අගයක් බවට පත් වී ඇති බැවින් එකී උත්සාහහයනට එරෙහිව නිරතුරු උද්ඝෝශන ඇති වීය.  1980 ගණන්වල සුපසිද්ධ ඉන්දීය ඉතිහාසඥයන් වූ බීපන් චන්ද්‍රා, රොමිලා තාපර්, හර්බින්ස් මුඛියා යන අය හින්දු ජාතිකවාදී ඉන්දීය ඉතිහාසකරණයේ ඇති බරපතල ගැටලූ පෙන්වා දීමට ගත් උත්සාහයට එරෙහිව මතු වූ ප‍්‍රචණ්ඩ ජාතිකවාදී ඝෝෂාව මධ්‍යයේ ඉන්දීය බුද්ධිමතුන් ඔවුන් වෙනුවෙන් පෙනීී සිටියේ ද එරට ශාස්ත‍්‍රාලයීය නිදහස ආරක්ෂා කර ගැනීමේ මූඛ්‍ය පරමාර්ථයෙනි. මේ සැම උදාහරණයකින්ම පෙනී යන්නේ ස්වාධීන හා නිර්මාණනීය චින්තනයක, අධ්‍යාපනයක හා ඥාන ගවේශන සම්ප‍්‍රදායක පැවැත්මට නම් ශ‍්‍රාස්ත‍්‍රාලයීය නිදහස අනිවාර්යයෙන් පැවතිය යුතු බවයි. 

එනමුත් මෙහිදී මතු වන ප‍්‍රශ්නය නම් ඉහත සඳහන් කරන ආකාරයේ ශාස්ත‍්‍රාලයීය නිදහසක් හෝ අවම වශයෙන් ජවසම්පන්න ශාස්ත‍්‍රාලයීය පද්ධතියක් හෝ ඥාන ගවේශණ සම්ප‍්‍රදායක් හෝ තවදුරටත් අප රටේ තිබේද යන්නයි. අද වන විට අප බොහෝ දෙනා ශාස්ත‍්‍රාලයීය පද්ධතිය දෙස බලනුයේත් එය සැබැවින්ම කි‍්‍රයාත්මක වනුයේත් ඥාන සම්පාදන  අඩවියක් වශයෙන් නොව අනේක විධ පටු දේශපාලන කි‍්‍රයාවලීන්ට හා ස්ථාවරයන්ට සේවා සපයන්නවුන්ගෙන් හා සරල පොත් පත් ඔහේ  අච්චුගසන්නන්ගෙන් සමන්විත අවකාශයක් ලෙසටය. 1980 දශකයේ පමණ සිට උපකුලපතිවරු පත් කරනුයේ රටේ බලසම්පන්නම දේශපාලනඥයා නම් සරසවි ආචාර්යවරයෙකුට සම්මන්ත‍්‍රණ වැනි අණිවාර්ය ශාස්තී‍්‍රය කටයුතු සදහා විදේශ ගතවීමට දේශපාලන බලධාරීන්ගේ අනුමැතිය අවශ්‍ය නම් ශාස්ත‍්‍රඥයන් බොහෝ විට මානබලන්නේ හුදෙක් අති සරල ප‍්‍රකාශන ගනනාවකින් තම උසස්වීම්වලට ලකුණු ලබාගෙන නව පන්නයේ මාක්ස්වාදීන් නැතිනම් ලතුණු එකතුකරන්නන් වීමට නම් එවන් යතාර්ථයක් තුළ ශාස්ත‍්‍රාලයීය නිදහසක් තිබිය හැකි ද? එවැනි තැනක් ඥාන ගවේශණයට තෝතැන්නක් විය හැකිද? එවැනි තැනක ඥාන විභාත්මක ඛණ්ඩනයකට අවකාශ විවර විය හැකිද? කෙසේ බැලූවද කොහේ බැලූවද පෙනෙන දේ නම් ශූභදායක නැත.  

මහාචාර්ය එඞ්වඞ් සයිඞ් 1998 වසරේදී ලියූ Identity, Authority and Freedom  (අනන්‍යතාව, අණසක හා නිදහස) යන ලිපියෙන් සමස්ත අරාබිකරයේ ශාස්ත‍්‍රාලයීය පද්ධතිය පිළිබඳව දැක්වූ අදහස් අපට අදවන විට බෙහෙවින් වලංගුවේ:
අවසානාවකට මෙන් ශාස්ත‍්‍රඥයන් පත් කිරීමේදී හා උසස් වීම් ලබා දීෙමිදී නිර්ණායක ලෙසට සැලකුවේ බුද්ධිමය තීව‍්‍රත්වය නොව දේශපාලන ප‍්‍රවාහයේ ප‍්‍රධාන අදහස් හා ඔවුන් එකඟවන්නේ ද යන කරුණයි. මෙහි සාමාන්‍ය ප‍්‍රතිඵලය වූයේ බියගුළුකම, පරිකල්පනයක් නොමැති වීම හා ප‍්‍රවේසම්කාරී සාම්ප‍්‍රදායකත්වය බුද්ධිමය භාවිත තුළ මුල් බැස ගැනීමයි. 
සයිඞ්ගේ මෙම අදහස් අපගේ තත්කාලීන ශාස්ත‍්‍රලයීය යතාර්ථය පෙනේනුම් කරන බවයි මගේ වැටහීම. ඇබ්ස්ට‍්‍රැක්ට් මහාචාර්යවරු, වොයිස්කට් කථිකාචාර්යවරු, නව විශ්වවිද්‍යාලවල වැජඹෙන සූට් කේස් කථිකාචාර්යවරු යනාදී චරිත පෙන්නුම් කරන්නේ මේ යතාර්ථය නොවේද? වඩාත් පැහැදිලිව පවසනවා නම්, අනේකවිධ දේශපාලනික සේවා සපයන ශෘස්ත‍්‍රඥයන් ලෙස නිල වශයෙන්  සැලකෙන ජනපි‍්‍රය මාධ්‍ය හරහා සම්ප‍්‍රප්ප‍්‍රලාප දොඩවන ඝෝශාකාරීන්ගෙන් සමන්විත අම්බලම් බවට අද දින අප විශ්වවිද්‍යාල පත්ව තිබෙන අයුරින් විද්‍යමාන වන්නේ මේ තත්ත්වය නොවේද ? 

රාජ්‍ය යාන්ත‍්‍රණ ද ඇතුළුව බාහිර දේශපාලන බලවේග ඍජු ලෙස ශී‍්‍ර ලාංකේය ශාස්ත‍්‍රාලයීය අවකාශ ආක‍්‍රමණය කිරීම දේශපාලන න්‍යාය පත‍්‍රයක කොටසක් ලෙෂ ආරම්භ වූයේ 1971 ජනතා විමුක්ති පෙරමුණු කැරැුල්ලෙන් පසුවයි. 1977 වසරේ දී ආරම්භ වූ ජේ.ආර් ජයවර්ධන පාලන සමයේදී මේ නිශේධනීය ප‍්‍රවණතාව වඩා වර්ධිත තත්ත්වයකට පත් වූ අතර අද වන විට විශ්වවිද්‍යාල තීව‍්‍ර දේශපාලනීකරණයට ලක්ව ඇති බව ඉතාමත් පැහැදිලිය. මේ තත්ත්වය යුගයක හා සම්ප‍්‍රදායක පැහැදිලි අවසානය ලෙස අප සිහි තබා ගත යුතුය. වඩාත් ඛේදජනක කාරණය වනුයේ අපගේ ශාස්ත‍්‍රාලයීය අඩවියේ බුද්ධිමය ජවය මිලින වී යෑම ඇරැුඹී දශක තුනකට වැඩි වුවද ශාස්ත‍්‍රාලයීය නිදහසේ කප්පාදුව පිළිබඳව අමෙරිකාවේ, බටහිර යුරෝපයේ හෝ ඉන්දියාවේ ඇති වූ විවාද අදවන තුරුම ශී‍්‍ර ලංකාවේ ජනිත වී නොමැති වීමය. එහි අදහස නම් ශාස්ත‍්‍රාලයීය ශාස්ත‍්‍රඥයන් බොහෝමයකට මේ සීමා කිරීම් ගැටළුවක් නොවන බවකි. මන්දයත් නිර්මාණනීය සාහිත්‍යකරණය හෝ විශේසයෙන්ම සමාජීය විද්‍යා හා මානව ශාස්ත‍්‍ර යන ක්ෂේත‍්‍රවල දැනුම් ගවේෂණයෙන් ඔවුන් ප‍්‍රායෝගික වශයෙන් ඇත්වී සිටීම බව මගේ හැඟීමයි. කර්තෘ ප‍්‍රකාශන, සරල සමාජ විද්‍යා ලිපි, අනේක විධ අනුස්මරණ වෙළුම් යනාදිය හා එක්වර ඊනියා ශාස්තී‍්‍රය කෘති හතරක් පහක් නොයෙකුත් දෝෂ ද සහිතව නිතිපතා පළවන මෙවන් යුගයක ඥාන විභාගාත්මක ඛණ්ඩනයක් කෙසේවෙතත් මුලික මට්ටමේ දැනුම් නිෂ්පාදනයක්වත් සිදුෙවිද යන්න සැක සහිතය. එසේ සිදු වනුයේ නම් ඒ ශාස්ත‍්‍රඥයන් අදෘශ්‍යමානව අප කාටවත් නොකියාම එම කටයුතු සිදු කරනවා විය යුතුය. අද දින සිරි ගුනසිංහගේ භූමිකා අගය කිරීම සඳහා පළවවන කෘතිය ඉහත සඳහන් ආකාරයේ අවර ගණයේ කෘතියක් නොවේ යැයි මාගේ බලාපොරොත්තුවයි. 

මේ තත්ත්වයට හේතු වූ අද අප විවෘතව කථා නොකරණ තවත් කාරණයක් තිබේ. එනම් 1960 ගණන් වල බටහිරට දෙසට සිදුවූ බුද්ධි ගලනයේ ආනිසංසවලින් අප තවමත් මිදී නොසිටීමයි. සිරි ගුනසිංස, ගණනාත් ඔබේසේකර, ස්ටැන්ලි තම්බයියා, විමල් දිසානායක යනාදීන්ගේ විදේශගතවීමෙන් මතු වූ බුද්ධිමය රික්තය අප තවමත් නිසි ලෙස පුරවා නැත. අප ඒ වෙනුවට ඇති පදම් මහාචාර්යවරු හා ජ්‍යෙෂ්ට කථිකාචාර්යවරු විශ්වවිද්‍යාලවලට බඳවා ගෙන ඇත. ප‍්‍රශ්නය වන්නේ අප බුද්ධිමතුන් විශ්වවිද්‍යාල වෙත කැඳවා නොගැනීම හා රඳවා නොගැනීමයි. එනම් බුද්ධි ගවේශනයට අවශ්‍ය තීව‍්‍ර පුහුණුව, විභවය හා කැමැත්ත ඇති පිරිසක් සරසවි පද්ධතිය සතු නොවීමයි. මේ තත්ත්වය වඩාත් බලපා තිබෙනුයේ සමාජීය විද්‍යා හා මානව ශාස්ත‍්‍ර සම්බන්ධයෙන්ය. එමෙන්ම මේ සීමා තුළ ද තම බුද්ධිමය කාර්යභාරය නිසි ලෙස ඉටුකළ උගතුන් අතලොස්සක් හෝ අප අතර පසුගිය කාලය තුල නොසිටියා නොවේ. මෙහිදී මහාචාර්ය ආර්. ඒ. එල්. එච්. ගුණවර්ධන විසින් පැරණි ශී‍්‍ර ලංකාවේ සංඝ සමාජය හා එහි ආර්ථික කි‍්‍රයාකරකම් පිළිබඳ රචිත Robe and the Plough: Monasticism and Economic Interest In Early Mediaeval Sri Lanka (1979) මහාචාර්ය කේ. එන්.  ඕ. ධර්මදාසගේ Language, Religion, and Ethnic Assertiveness: The Growth of Sinhalese Nationalism in Sri Lanka (1993) යන සිංහල ජාතිකවාදය පිළිබඳ රචිත සුප‍්‍රසිද්ධ කෘතිය හා මහාචාර්ය තිස්ස කාරියවසම් ඉතා මෑතදී පළ කළ Religious Activities and the Development of a New Poetical Tradition in Sinhalese 1852-1906 (2009) යන 19 වන සියවසේදී සිංහල බස තුළ මතු වූ කාව්‍යමය සම්ප‍්‍රදාය පිලිබඳ රචිත අගනා විස්තරාත්මක කෘතිය ද මගේ සිතට නැගේ.

තවද අද දින දිගහැරෙන මේ යාතුකර්මයේ බෙහෙවින් අගය කළ යුතු අංගයක් ද පෙනේ. එනම් රාජ්‍ය ආයතනයක් වන රුහුණ විශ්වවිද්‍යාලය හා පෞද්ගලික සමාගමක් වන ගොඩගේ පොත් සමාගම එක්ව මේ බුද්ධිමය කර්තව්‍යයට සම්මාදම් වීමයි. මීට නායකත්වය දුන් එම විශ්විවිද්‍යාලයේ ජයන්ත අමරසිංහ ඇතුළු පිරිසට හා උපකුලපති මහාචාර්ය සුසිරිත් මෙන්ඩිස්ටත් අපගේ ස්තූතිය පිරිණැමිය යුතුය.

දැන් මා මේ සාකච්ඡුාවට ප‍්‍රවේශය සපයා ගත් කරුණු තුන පිළිබඳව නැවත වරක් මදකට සොයා බලන්නට කැමතිය. එනම් ඥාන ගවේශනය, ඥාන විභාගාත්මක ඛණ්ඩනය සහ ශාස්ත‍්‍රාලයීය නිදහස අතර ඇති සබඳතාවයි.  අපගේ ශාස්ත‍්‍රාලයීය අවකාශයේ තත්කාලීන දැනුම් ගවේශන ස්වභාවය හා එහි ආයතනගත නිදහස මා ඉහත සඳහන් කළ ආකාරය ලෙස අප පිළිගනුයේ නම් එවන් අවකාශයක ගැඹුරු ඥාන සම්පාදනයක් හෝ නිර්මාණශීලි ප‍්‍රවේශ භාවිත කිරීම හෝ ඥානවිභාගාත්මක ඛණ්ඩන හෝ ඇති වේ යැයි මට නම් සිතා ගැනීමට පවා අසීරු කරුණකි. ශාස්ත‍්‍රාලයීය සාමාජිකයෙකු සේ බලන කළ එසේ නොපෙනීම ඇතැම් විට මටම ආවේනික මානසික ආබාධයක ප‍්‍රතිපලයක් ද විය හැකිය. මේ තත්ත්ව පිළිබඳව අප පුළුල් වශයෙන් කථා නොකරන්නේත් ඒ පිළිබඳ ස්වයං-ප‍්‍රත්‍යාවලෝකනයක නොයෙදෙන්නේත් ඒවා අප බොහෝ දෙනාට අදාල නොවන නිසා නැතහොත් නොපෙනෙන නිසා විය යුතුය. 

එනමුත් පෞද්ගලිකව නම් මා වඩාත් ඛේදනීය සේ දකිනුයේ සුපැහැදිලි ඥානවිභාත්මක ඛණ්ඩනයකට අවකාශ විවර කළ ශාස්ත‍්‍රඥයෙකුට හා නිර්මාණකරුවෙකුට ගරුබුහුමන් දක්වන මේ අවස්ථාවේදී ඔහුගේ භූමිකාවට ජවය සැපයූ ශාස්තී‍්‍රය අවකාශය අප විසින්ම නිශේධනය කරනු ලැබ තිබීමයි. ඒ පිළිබඳ අප සිතනුයේවත්, විවාදයකට හසු කරගනුයේවත්, සම්භාෂණයකට එළැඹෙනුයේවත් නැති වීම හා ප‍්‍රතිසංස්කරණනයට උත්සාහ නොදැරීමත් මා පුද්ගලිකව දකිනුයේ අප පැහැදිලිවම බුද්ධිමය වශයෙන් අබුද්දස්ස යුගයකට පැමිණ සිටින බව සලකුණු කිරීමක් වශයෙනි. මේ තත්ත්වයට පදනම් වී අති තවත් යතාර්ථයක් වන්නේ බොහෝ තත්කාලීන ශාස්ත‍්‍රඥයන් දැනුම් සම්පාදනය යන්න ඊට ආවේනික ආත්ම තෘප්තියෙන් තොරව හුදු රැුකියාවක් ලෙස පමණක් සැලකීමය. මේ තත්ත්ව යටතේ මාගේ පරම්පරාවද ඇතුළුව ඉදිරි පරම්පරාවල ඊනියා ශාස්ත‍්‍රඥයන් සඳහා අනාගතයේදී ප‍්‍රකාශයට පත්වන ගැටළුකාරී කෘති එළිදක්වන අවස්ථාවල දී අදහස් ප‍්‍රකාශ කිරීමේ අභාග්‍ය මට නොලැබේවායි මා ප‍්‍රාර්ථනා කරමි.

Saturday, May 17, 2014

Invitation to Contribute to Edited Volume

Concept Note for Edited Volume on
'Media and the Politics of Transformative Social Movements'

Edited by Sasanka Perera
South Asian University, New Delhi

Introduction and approach:

The proposed volume, Media and the Politics of Transformative Social Movements is located within the overall scope of Routledge’s (New Delhi) series on Social Movements, and Transformative Dissent. The overall focus of the series is available in ‘Series Concept Note’ attached at the end of this note.
 
It should be axiomatic that the politics of transformative social movements can no longer be explored using the tools of research and interpretation inherited from conventional social sciences. In a sense, even the research objects in this area have to be reconfigured and re-imagined in the context of more recent transformations in both politics and technology. Unfortunately, these fundamental considerations have not been seriously explored in the collective enterprise of South Asian social sciences. The expansion of the political role of conventional mass media into social media was a phenomenon that was very clear from almost the beginning of the Arab Spring. Similarly, the public radio network in Nepal played a crucial role in the country’s anti-monarchy and pro-democracy politics while the Indian government has actively explored possibility of controlling social media post-Arab Spring. Unconfirmed reports claim that the Sri Lankan government has sort Chinese help to monitor and control Face Book while the government of Pakistan banned You Tube in 2012. Active dissent in many countries in the region, which includes India, Nepal, Sri Lanka and the Maldives in particular have entered the internet in a big way as a relatively safe and widely accessible domain of politics. In this context, it is necessary to explore not only the pivotal role media plays in the success or relative failure of transformative social movements but also how it might determine the inner dynamics of media behavior itself.

In the present context, ‘media’ is not only understood in the sense of conventional mass media, but also includes newly emergent and more accessible and cheap technologies such as social media. Media taken in this broader sense frame movements in the public domain and is in turn framed by it. As in the past, today in the process of influencing the shape, structure, and reception of transformative movements, media is undergoing massive structural and systemic changes. For instance, alongside print media one can also see the rise of grassroots media such as Information and Communication Technologies (ICTs), community radio and TV stations, social-media (Twitter, Facebook) and blogging. These have not only created opportunities for mobilization, but have also led to the making of social movements, sometimes almost exclusively in the internet. Rather than social movements defined by ground conditions, these can become literally virtual movements not necessarily defined by concrete situations. Nevertheless, these digital networks often have the advantage of being non-hierarchical, international, decentralized, placeless, and timeless in their organization, knowledge production and reach. These have been able to stay out of the reach of censors and have provided an outlet for voices that are otherwise silenced. On the other hand, the clutter of such voices on the internet gives social movements a wide reach, even though that reach itself might lead to a seeming exaggeration of their influence. Also, in the region, we are yet to pose the question as to what extent the growth of private capital and the resultant expansion of privately owned media has colonized the public sphere and its ability to offer space for transformative politics.

In this overall context, it is important to take stock of the changing relationships between social movements and the multiple manifestations of media within the shrinking public sphere. What exactly do concepts such as ‘alternative’ media mean today, which in fundamental ways questions and contests the once dearly held assumptions and hegemony of media conglomerates and cartels that remain concentrated in the hands of a few? But does this alternativeness’ still remain a viable alternative simply because the control of media in general has moved significantly from the state to the private sector? To what extent has the progressive and leftist movements around the world optimized the use of this bottom-up, digital network and social media interfaces to subvert the hegemonies in favor of democratization? Is this more hype than real when situated in evolving ground conditions?

Possible thematic considerations:

Some basic questions that emerge for discussion can be outlined as follows:

How have social movements made use of print and electronic as well as social media? Has the expansion of mobile phone usage in this context changed the dimensions and dynamics of social movements? How have media reported on social movements and in what way, if at all, has the role of journalists or media personnel changed in this context? Within media, what are the transformations (in markets, practice, values, systems, production, reception and audiences) presently taking place that will influence the way social movements are reported in future? What role has media played in provoking and fueling social movements? In what ways have the public sphere shrunk with the advent of private capital into media business which impacts the public sphere, and what are the resultant impacts of this situation on social movements’ ability to ‘perform’ transformations? How democratic has media become in the course of responding to transformative social movements?   Can the shift from conventional media to social media be described a ‘social movement’ within media? How has digital technology transformed the 'critical' role of the media?  In this context, is it possible that print media is being marginalized with the expansion of electronic and digital media, particularly with reference to vernacular languages, and what are its implications? What is the nature of social stratification within media, and what are the dissenting voices? Is the classification of conventional media and new social media analytically viable?  Since media has become very capital intensive, would this compromise the freedom of the media? Finally, what does the differential capital investment in new technologies in media mean in terms of creating space for alternate possibilities of expression as well as in creating new hierarchies in the media landscape?

Essays that reflect on but are not limited to these issues from across regional, cultural and national contexts, offering a multiplicity of viewpoints, are particularly welcome for this volume. The general focus of the volume would be on South Asia.

Deadlines and submission details: 

Abstracts no longer than 500 words can be submitted in MS Word format as email attachments. Manuscript guidelines will be provided later to the authors of approved abstracts.

The deadline for the receipt of abstracts is 30th June 2014. Authors of selected abstracts will be informed by 15th August 2014.

Details on submission deadlines for essays, stylistic matters and other details will be communicated later to writers whose abstracts have been accepted. Approximately however, writers will get a period of four months to submit the essays from the date of communicating acceptance of abstract.

All queries and submissions should be sent to the following email address: sasankaperera@soc.sau.ac.in


Series Concept Note
Social Movements and Transformative Dissent

Series Editors: Savyasaachi and Ravi Kumar
Publisher: Routledge, New Delhi

This series attempts to create space for reflection on the variety of ways the post 1989 polity and society are being shaped by questioning ‘the modernity’ across all levels of social life ranging from the everyday to the national to the global.

The character of the state has been transforming. It is becoming an instrument that promotes and replicates private capital. It is expanding, opening channels for private capital to take over civil society spaces and handing over the ‘public’ to the ‘private’. Contradictions and unresolved questions have proliferated; injustices have been undermining the material foundations of civility between human being and nature. The sites of contestation are omnipresent and sharpening – in relations between individual as well as in diverse forms of social, economic, political, and cultural relations.

The expansionist tendency of the state has led to the shrinking of spaces for difference and critical thinking. While it is being argued that it has facilitated the growth of the middle class, it has also annihilated plural ways of life and deepened class inequalities. On account of all this stresses of life are being attenuated and the life support systems are becoming vulnerable.

At the same time, the energy and visions generated by mass movements have been gradually percolating to the society and polity outside the consumer world of the middle class. It is relevant to recall here that the nature, form and content of movements that give expression to discontent have also undergone radical change. They have provided multiple spaces for peoples’ suffering to be expressed in the form of vibrant dissent and resistance.  In doing so, they have mobilised sections of the media, civil society network campaigns, legal and judicial activism, civil disobedience, non-party political processes, carnivals, humour, laughter, performance and demonstrations etc to harness the creativity of marginalised people, and have brought them to the ‘front line’.

Modes of questioning, protest and dissent have been changing to open-up places and spaces for debates, discussions and political mobilisations. Most significant is that the intentions of the State and its claim that it is an embodiment of popular aspirations are being questioned.

This series is an attempt to reflect on these transformations. It explores if this is a matter of initiating a paradigm shift in the praxis of our modes of being in the world, and by doing so it will present ongoing debates, life and works of organic thinkers associated with progressive social movements, narratives of dissent, resistance and political mobilisations, significance of new media, and a comparative perspective from the global south.


The first volume in the series edited by Savyasaachi and Ravi Kumar is now available under the title, Social Movements: Transformative Shifts and Turning Points. The details can be accessed via the following link: http://www.tandfindia.com/books/details/9780415717366/

Monday, May 12, 2014

හෙටක් නැති අදක්


පෙනුනි 
රුවක් නැති රුවක්;
ඇසුනි
හඬක් නැති හඬක්;
නැගුනි
අරුත් නැති සිතක්,
තැවෙද්දී හෙටක් නැති අදක
තෙතක් නැති හදක්.

වසන්ත් කුන්ජ්, නව දිල්ලිය, 12 මැයි 2014.

Monday, April 14, 2014

Conscience ????

'Kuveni and Sea Serpents'; Artwork by Anoli Perera
















When commonsense has fled,
wisdom gone into exile,
When memory dies a convenient death
and neighbors seem enemies,
When desolation becomes peace
and compassion bartered for rhetoric –
Conscience becomes a curse,
a burden,
a tear,
a sigh.
I hope
they will crush my memory,
and my conscience
along with it,
So that I too would see
peace in desolation,
compassion in rhetoric,
and the golden hues that
drape the ghosts.


29th March 2013, Vasnt Kunj