I am what I am; I will be what I will be.

Saturday, May 31, 2014

ඥාන ගවේශනය, ඥාන විභාගාත්මක ඛණ්ඩනය සහ ශාස්ත‍්‍රාලයීය නිදහස


සසංක පෙරේරා
(සිරි ගුනසිංහ උපහාර ලිපි කෘතිය එලිදැක්වූ අවස්ථාවේ කළ දේශනය, 01 අපේ‍්‍රල් 2010, ශ‍්‍රවණාගාරය, ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩලය, අංක 14, නිදහස් මාවත, කොළඔ 7)

සිරි ගුනසිංහ මට පෞද්ගලිකව හඳුුන්වා දිය හැක්කේ මා හොදින් දන්නා එමෙන්ම එතරම් නොදන්නා පුද්ගලයෙකු ලෙසටය. මා ප‍්‍රථමයෙන්ම ඔහු පිළිබඳ අසා දැන ගත්තේ සත්සමුදුර චිත‍්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වශයෙන් මිස කවියෙකු වශයෙන් හෝ විශ්විවිද්‍යාල ආචාර්යවරයෙකු වශයෙන් හෝ නොවේ. එයට හේතුව එම චිත‍්‍රපටය හා සමීපව සම්බන්ධ මාගේ ඥාතියෙකුගේ ඇසුර කුඩා කල මට ලැබුණු නිසාය. ඔහු සවස් කාලයේ  නිවසට පැමිණියේ චිත‍්‍රපටයේ ප‍්‍රධාන තේමා ගීතය වූ  මහගම සේකරගේ වදන් වැලක් ඇසුරින් අමරදේවගේ සුගායනීය හඬින් ගැයුණු  සිනිදු සුදු මුදු තලාවේ  යන ගීතයේි’ගැඹුරු සත් සමුදුර පතුල බිඳ ඇඹරි ඇඹරී වියරු ජල රළ තිඹිර මහ මෙර දෙදරවයි - බුර බුරා එන කුරිරු ජල කද දෙරණ සම්පත ගිල ගනී’’ යන වචන මහ හඬින් ගයමින් ඊට ජවය සැපයීමට අවශ්‍ය මධු විතින් ද සප්පායම් වීමෙන් පසුවයි. ගුනසිංහ ලියා ඇති බොහෝ කවි පොත් මෙන්ම ඇතැම් රචනා ද මා කියවා ඇතත් ඔහුව මට පුද්ගලිකව මුණ ගැසුනේ මීට මාසයකට පමණ පෙර මා හමුවීමට අපගේ අධ්‍යයනාංශයට පැමිණි අවස්ථාවේදීය. ඔහු මා දන්නා එසේම නොදන්නා පුද්ගලයෙකු ලෙසට ඉහතින් හැඳින්වූයේ ඒ නිසාය. 

කෙසේ වෙතත් ගුනසිංහ පිළිබඳ ආවර්ජනයක යෙදෙන්නට අද මාගේ අදහසක් නැත. සිංහල සංස්කෘතික ක්‍ෂේත‍්‍රයේ ඔහු පිළිබඳ නොදන්නා කෙනෙකු සිටී නම් ඔහු හෝ ඇය මේ අවස්ථාවේ මෙහි සිටිය යුතු නැත. එමෙන්ම ඔහු පිළිබඳ -- විශේෂයෙන්ම නිසදැස් හා ඔහු අතර ඇති අත්‍යන්ත සබඳතාව පිළිබඳ ලිපියක් අද දින එළි දැක්වෙන කෘතිය සඳහා මා සම්පාදනය කර තිබීම ද එවන් ආවර්ජනයක නොයෙදීමට තවත් හේතුවක් ලෙස මා දකිමි. මෙවන් සරල ආවර්ජනාත්මක යාතුකර්මවල නියැලීමට අවශ්‍ය ඔහු පිලිබඳ පුද්ගලික දැනීමද මා සතුව නොමැත. ඒ  වෙනුවට මාගේ අදහස මේ අවස්ථාව නිමිත්තක් වශයෙන් ගෙන ඥාන ගවේශනය, ඥාන විභාගාත්මක ඛණ්ඩනය සහ ශාස්ත‍්‍රාලයීය නිදහස පිළිබඳ යම් කෙටි අදහස් සමුදායක් ඔබ වෙත ඉදිරිපත් කිරීමටයි. මන්ද යත්, මේ කරුණු තුන ගුනසිංහගේ සමස්ථ භූමිකාව තේරුම් ගැනීමේදීත් අපගේ සාමුහික බුද්ධිමය අනාගතය හා සභ්‍යත්වමය දිශානති පිළිබඳ සිතීමේදීත් කේන්්ද්‍රීයව වැදගත් වන නිසාය. ඥාන ගවේෂණය, ඥාන විභාගාත්මක ඛණ්ඩනය සහ ශෘස්ත‍්‍රාලයීය නිදහස අත්‍යන්තයෙන් එකට බැදී ඇති බව මගේ විශ්වාසයයි. සැබැවින්ම සිරි ගුනසිංහගේ කේන්ද්‍රීය කාව්‍ය නිර්මාණ, ඔහුගේ හා පේ්රාදෙණි ගුරුකුලයේ අන් පුද්ගලයන්ගේ සමාජ-සංස්කෘතික මැදිහත් වීම් හා එකී ගුරුකුලයේ බිහිවීම ද  ඕපපාතික ව සිදු නොවූ අතර එයට පදනම වූයේ 1950 සහ 1960 දශකය අතර කාලයේ දී ඉහත සඳහන් කළ කරුණු තුන (එනම් ඥාන ගවේෂණය, ඥාන විභාගාත්මක ඛණ්ඩනය සහ ශාස්ත‍්‍රාලයීය නිදහස) නිතැතින්ම කි‍්‍රයාත්මක වූ නිසාත් පේරාදෙණිය විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් එය පැහැදිලිවම විද්‍යමාන වූ නිසාත්ය. මෙහිදී ඥාන විභාගාත්මක ඛණ්ඩනය වශයෙන් මා අදහස් කරනුයේ කුමක් ද යන්න කෙටියෙන් හෝ ඉදිරිපත් කිරීම ප‍්‍රයෝජනවත් බව මට සිිතේ. 

 ඕනෑම ක්ෂේත‍්‍රයක පවතින ඥාන ගවේෂණ කි‍්‍රයාවලි ඛණ්ඩනය කරමින් නව ඥාන විභාගත්මක ප‍්‍රවේශ බිහිවීමට නම් නිර්ණායක ගණනාවක් සැපිරිය යුතුය. ඉන් එකක් නම් අදාල ඛණ්ඩනයට දිශානති සැපයිය හැකි පැහිදිලි මතවාදීමය වෙනසක් ස්ථාපනය කිරීමේ අවශ්‍යයතාවයි. එය මූලික වශයෙන් බුද්ධිමය කර්තව්‍යයක් වන අතර ඒ සඳහා තත්කාලීනව අදාල ක්‍ෂේත‍්‍රය හා සම්බන්ධ පරිස්ථානීය, කලාපීය හා ගෝලීය දැනුම් නිශ්පාදන අඩවි සමග එකී මතවාද සම්පාදනය කරන්නට උත්සාහ දරන්නවුන් සම්බන්ධ වී සිටිය යුතුය. තවද එවැනි ඛන්ඩනයක අවශ්‍යතාව යම් මට්ටමකින් හෝ සමාජයේ මතුවී තිබිය යුතුය. සිංහල කවිය සම්බන්ධයෙන් නම් නිසදැස් හඳුන්වා දෙන්නට උත්සාහ දැරූ අවදියේ එවන් අවශ්‍යතාවක් තිබූ බව අද අප බොහෝ දෙනා පිළිගනු ඇතිය යන්න මගේ විශ්වාසයයි. දෙවැන්න නම් අදාල ඥාන විභාගාත්මක කටයුතුවල අන්තර්ගතයේ සහ ආකෘතියේ සුපැහැදිලි වෙනසක් එකී මතවාදය හරහා ඇති කිරීමයි. ඛන්ඩනයක් වචනයේ පරිසමාත්ත අර්ථයෙන් සිදු වන්නේ එවිටය. සිංහල කවිය සම්බන්ධයෙන් ගුනසිංහ හා ඔහුගේ සමකාලීන අනුගාමිකයන් ඇති කෙළේ එවන් ආකෘතික හා අන්තර්ගතික වෙනසකි. තෙවැන්න වනුයේ එවැනි ඥාන විභාගාත්මක ඛණ්ඩනයකට නායකත්වය සැපයිය හැකි බුද්ධීජීවී ප‍්‍රජාවක්, ගුරු කුලයක් හෝ බහුශැත පුද්ගලයන් සිටීමේ අවශ්‍යතාවයි. අප රට වැනි දේශීය භාෂාවන්ගෙන් තීව‍්‍ර දැනුම් නිෂ්පාදනයක් නොවන සන්දර්භයක් තූළ ඔවුන් හුදු ඒක භාශික පිරිසක් විය නොහැකියි. ලොව නන් ප‍්‍රදේශවල ජනනය වන තම ක්‍ෂේත‍්‍රවලට අදාල දැනුම සොයා යෑමේත් ග‍්‍රහණය කර ගැනීමේත් එය අදාල අවස්ථාවට හා සන්ධර්භයට අනුව ප‍්‍රති-සකසා ගැනීමේ හැකියාවත් ඔවුන්ට තිබිය යුතුය. ගුනසිංහ ඇතුළු පිරිස සිංහල සංස්කෘතිය හා භාෂාව සමග තිබූ බැදීමත් එකල ලබා ගත හැකිව තිබූ පුළුල්ම අධ්‍යාපනයේ ආලෝකයත්  මේ විභවයන් ඔවුන්ට සලසා දී තිබුනි. සිව්වැන්න නම් ඇති කරනු ලබන ඛණ්ඩනය පිළිගෙගෙන එය ස්ථාපනය කිරීමේ කාර්යයට උර දිය හැකි බුද්ධිමත් අනුගාමික පිරිසකගේ පැවැත්මයි. සමස්ථයක් ලෙස නිසදැස් කවිය හා ගුනසිංහ පිළිබඳ කතා කිරීමේදී ෙමි සියලූ නිර්ණායක මනා ලෙස සැපිරුණු බව නොකිවමනාය. 

එනමුත් වඩා වැදගත් වනුයේත් අදවන විට අප බොහෝ දුරට අමකත කර තිබෙනුයේත් මේ සියල්ලට පදනම සැපයුවේ එකල වූ ශාස්තී‍්‍රය පද්ධතියේ අනිවාර්ය අගයක් වූ ශාස්ත‍්‍රාලයීය නිදහස යන කාරණය බවයි. වෙනත් වචන වලින් පවසනවා නම්, මේ ශාස්ත‍්‍රාලයීය නිදහස නොතිබුණි නම් අද අපගේ බුහුමන් ලබන සිරි ගුනසිංහවත් නිසදැසවත් පේරාදෙණිය ගුරු කුලයවත් අද අප දන්නා අකාරයෙන් බිහි නොවන්ට බොහෝ දුරට ඉඩ තිබුණු බව මගේ විශ්වාසයයි.

අප දැන් අපගෙන්ම නැගිය යුතු ප‍්‍රශ්නය වනුයේ මේ ආකාරයේ ඥාන ගවේෂණයකට හෝ ඥාන විභාගාත්මක ඛණ්ඩනයන්ට අවකාශ විවර කළ හැකි ශාස්තී‍්‍රය වතාවරණයක් හෝ ශාස්ත‍්‍රාලයීය නිදහසක් ශි‍්‍ර ලාංකේය ශාස්ත‍්‍රාලයීය පද්ධතිය තුළ තව දුරටත් තිබේද යන්නයි. එසේ නොමැතිනම් ඊට හේතු මෙනෙහි කිරීම ද ප‍්‍රයෝජනවත් බව මගේ හැගීමයි. මන්ද යත්, මාගේ විශ්වාසය අනුව මෙවන් තත්ත්ව මිලින වී පවතින ස්ථානවල හා අවස්ථාවල එකී ස්ථානයට හා අවදියට අදාළ සභ්‍යත්වයේ මිලිනවීම ද බෙහෙවින් සමීප බැවිනි. ලූවිස් මෙනන්ඞ් 1998 දී ලියූ The Limits of Academic Freedom  (ශාස්ත‍්‍රාලයීය නිදහසේ සීමා) යන කෘතියෙන් පෙන්වා දෙනුයේ ශාස්ත‍්‍රාලයීය නිදහස මගින් ශාස්ත‍්‍රීය කටයුතු බාධා රහිතව සිදු කර ගෙන යාමට අවශ්‍ය ආරක්ෂක අවකාශය හා ස්වයං පාලන අවකාශයක් එවන් අදහස් අගය කරන සමාජවල විශ්වවිද්‍යාල වැනි ආයතන හරහා ගොඩ නගන බවයි. ශාස්තී‍්‍රය කටයුතු ලෙස ඔහු මෙහිදී මූලික වශයෙන් අර්ථ දක්වනුයේ ඉගැන්වීම හා ඥාන ගවේෂණය යන කරුණූ දෙක වේ.  මේ කරුණූ ද්විත්වය තුළට රචනය, ප‍්‍රකාශනය, චින්තනය, විවාදය, සම්මුතිය, විසම්මුතිය හා අදහස් බහුත්වයක් ජනිත වීමට අවකාශ සැපයීම හා ඒවා ඉවසීම යන කරුණු ද ඇතුලත් වේ. සැබැවින්ම අදහස් ජීවය ලබන්නට නම් එකිනෙක හා බැදුණු මෙවැනි අගය පද්ධතියක පැවැත්ම හා එහි ආරක්ෂාව සෑම සමාජයකම සංස්කෘතික-දේශපාලනික අගය පද්ධති හා බැදී පැවතීම අනිවාර්ය වේ. මා එය සලකනුයේ සභ්‍යත්වයේ මූල බීජය සහ අරටුව ද වශයෙනි. 1967 වසරේදී අමෙරිකානු සමාජයේ ශාස්ත‍්‍රාලයීය නිදහස පිළිබඳව සිදු වූ ප‍්‍රසිද්ධ නඩු විභාගයක දී අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ බහුතර අදහස නියෝජනය කරමින් විනිසුරු විලියම් ජෝසෆ් බ්‍රෙනන් අමෙරිකානු සම්ප‍්‍රදාය තුළ ශාස්ත‍්‍රාලයීය නිදහස පිළිබඳව පහත සඳහන් අදහස් ඉදිරිපත් කළා:
ශාස්තාලයීය නිදහස යන්න හුදෙක් විශ්වවිද්‍යාල ගුරුවරුන්ට පමණක් නොව අප සියලූ දෙනාටම අතිශයින් වැදගත් අගයක්ය. එනිසා එකී නිදහස අප ව්‍යවස්ථාවේ පළමු සංශෝධනය හා බැදී පවතියි. එබැවින් එකී සංශෝධනය පන්ති කාමරය මත සම්ප‍්‍රදායිකත්වයේ අන්ධකාරය පැතිර යනු දක්නිනට ඉඩ නොහරිනු ඇත. 
මෙහිදී අප මතක තබා ගත යුත්තේ අමෙරිකානු ව්‍යවස්ථාවේ පළමු සංශෝධනය අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය සම්බන්ධයෙන් පැනවූවක් බවයි. මෙකී නඩු තීන්දුවේ මුඛ්‍ය අදහස වූයේ තීව‍්‍ර හා පෙරටුගාමී දැනුම් නිෂ්පාදනයක් විශ්වවිද්‍යාල හරහා ගොඩනැගිය යුතු බවත් ඊට අවකාශ සැපයීම රාජ්‍යයේ යුතුකමක් බවත්ය. අද වන විට විශේසයෙන් ජෝර්ජ් බුශ් පාලන සමයේ සිට ඇමරිකානු ශාස්ත‍්‍රාලයීය නිදහස කප්පාදු කිරීමට බොහෝ උත්සාහ ගන්නා ලදී. එනමුත් ඉහත නඩු තීන්දුවේ යාවත්කාලීන බලය හා ශාස්ත‍්‍රාලයීය නිදහස එම සමාජයේ කේන්ද්‍රීය අගයක් බවට පත් වී ඇති බැවින් එකී උත්සාහහයනට එරෙහිව නිරතුරු උද්ඝෝශන ඇති වීය.  1980 ගණන්වල සුපසිද්ධ ඉන්දීය ඉතිහාසඥයන් වූ බීපන් චන්ද්‍රා, රොමිලා තාපර්, හර්බින්ස් මුඛියා යන අය හින්දු ජාතිකවාදී ඉන්දීය ඉතිහාසකරණයේ ඇති බරපතල ගැටලූ පෙන්වා දීමට ගත් උත්සාහයට එරෙහිව මතු වූ ප‍්‍රචණ්ඩ ජාතිකවාදී ඝෝෂාව මධ්‍යයේ ඉන්දීය බුද්ධිමතුන් ඔවුන් වෙනුවෙන් පෙනීී සිටියේ ද එරට ශාස්ත‍්‍රාලයීය නිදහස ආරක්ෂා කර ගැනීමේ මූඛ්‍ය පරමාර්ථයෙනි. මේ සැම උදාහරණයකින්ම පෙනී යන්නේ ස්වාධීන හා නිර්මාණනීය චින්තනයක, අධ්‍යාපනයක හා ඥාන ගවේශන සම්ප‍්‍රදායක පැවැත්මට නම් ශ‍්‍රාස්ත‍්‍රාලයීය නිදහස අනිවාර්යයෙන් පැවතිය යුතු බවයි. 

එනමුත් මෙහිදී මතු වන ප‍්‍රශ්නය නම් ඉහත සඳහන් කරන ආකාරයේ ශාස්ත‍්‍රාලයීය නිදහසක් හෝ අවම වශයෙන් ජවසම්පන්න ශාස්ත‍්‍රාලයීය පද්ධතියක් හෝ ඥාන ගවේශණ සම්ප‍්‍රදායක් හෝ තවදුරටත් අප රටේ තිබේද යන්නයි. අද වන විට අප බොහෝ දෙනා ශාස්ත‍්‍රාලයීය පද්ධතිය දෙස බලනුයේත් එය සැබැවින්ම කි‍්‍රයාත්මක වනුයේත් ඥාන සම්පාදන  අඩවියක් වශයෙන් නොව අනේක විධ පටු දේශපාලන කි‍්‍රයාවලීන්ට හා ස්ථාවරයන්ට සේවා සපයන්නවුන්ගෙන් හා සරල පොත් පත් ඔහේ  අච්චුගසන්නන්ගෙන් සමන්විත අවකාශයක් ලෙසටය. 1980 දශකයේ පමණ සිට උපකුලපතිවරු පත් කරනුයේ රටේ බලසම්පන්නම දේශපාලනඥයා නම් සරසවි ආචාර්යවරයෙකුට සම්මන්ත‍්‍රණ වැනි අණිවාර්ය ශාස්තී‍්‍රය කටයුතු සදහා විදේශ ගතවීමට දේශපාලන බලධාරීන්ගේ අනුමැතිය අවශ්‍ය නම් ශාස්ත‍්‍රඥයන් බොහෝ විට මානබලන්නේ හුදෙක් අති සරල ප‍්‍රකාශන ගනනාවකින් තම උසස්වීම්වලට ලකුණු ලබාගෙන නව පන්නයේ මාක්ස්වාදීන් නැතිනම් ලතුණු එකතුකරන්නන් වීමට නම් එවන් යතාර්ථයක් තුළ ශාස්ත‍්‍රාලයීය නිදහසක් තිබිය හැකි ද? එවැනි තැනක් ඥාන ගවේශණයට තෝතැන්නක් විය හැකිද? එවැනි තැනක ඥාන විභාත්මක ඛණ්ඩනයකට අවකාශ විවර විය හැකිද? කෙසේ බැලූවද කොහේ බැලූවද පෙනෙන දේ නම් ශූභදායක නැත.  

මහාචාර්ය එඞ්වඞ් සයිඞ් 1998 වසරේදී ලියූ Identity, Authority and Freedom  (අනන්‍යතාව, අණසක හා නිදහස) යන ලිපියෙන් සමස්ත අරාබිකරයේ ශාස්ත‍්‍රාලයීය පද්ධතිය පිළිබඳව දැක්වූ අදහස් අපට අදවන විට බෙහෙවින් වලංගුවේ:
අවසානාවකට මෙන් ශාස්ත‍්‍රඥයන් පත් කිරීමේදී හා උසස් වීම් ලබා දීෙමිදී නිර්ණායක ලෙසට සැලකුවේ බුද්ධිමය තීව‍්‍රත්වය නොව දේශපාලන ප‍්‍රවාහයේ ප‍්‍රධාන අදහස් හා ඔවුන් එකඟවන්නේ ද යන කරුණයි. මෙහි සාමාන්‍ය ප‍්‍රතිඵලය වූයේ බියගුළුකම, පරිකල්පනයක් නොමැති වීම හා ප‍්‍රවේසම්කාරී සාම්ප‍්‍රදායකත්වය බුද්ධිමය භාවිත තුළ මුල් බැස ගැනීමයි. 
සයිඞ්ගේ මෙම අදහස් අපගේ තත්කාලීන ශාස්ත‍්‍රලයීය යතාර්ථය පෙනේනුම් කරන බවයි මගේ වැටහීම. ඇබ්ස්ට‍්‍රැක්ට් මහාචාර්යවරු, වොයිස්කට් කථිකාචාර්යවරු, නව විශ්වවිද්‍යාලවල වැජඹෙන සූට් කේස් කථිකාචාර්යවරු යනාදී චරිත පෙන්නුම් කරන්නේ මේ යතාර්ථය නොවේද? වඩාත් පැහැදිලිව පවසනවා නම්, අනේකවිධ දේශපාලනික සේවා සපයන ශෘස්ත‍්‍රඥයන් ලෙස නිල වශයෙන්  සැලකෙන ජනපි‍්‍රය මාධ්‍ය හරහා සම්ප‍්‍රප්ප‍්‍රලාප දොඩවන ඝෝශාකාරීන්ගෙන් සමන්විත අම්බලම් බවට අද දින අප විශ්වවිද්‍යාල පත්ව තිබෙන අයුරින් විද්‍යමාන වන්නේ මේ තත්ත්වය නොවේද ? 

රාජ්‍ය යාන්ත‍්‍රණ ද ඇතුළුව බාහිර දේශපාලන බලවේග ඍජු ලෙස ශී‍්‍ර ලාංකේය ශාස්ත‍්‍රාලයීය අවකාශ ආක‍්‍රමණය කිරීම දේශපාලන න්‍යාය පත‍්‍රයක කොටසක් ලෙෂ ආරම්භ වූයේ 1971 ජනතා විමුක්ති පෙරමුණු කැරැුල්ලෙන් පසුවයි. 1977 වසරේ දී ආරම්භ වූ ජේ.ආර් ජයවර්ධන පාලන සමයේදී මේ නිශේධනීය ප‍්‍රවණතාව වඩා වර්ධිත තත්ත්වයකට පත් වූ අතර අද වන විට විශ්වවිද්‍යාල තීව‍්‍ර දේශපාලනීකරණයට ලක්ව ඇති බව ඉතාමත් පැහැදිලිය. මේ තත්ත්වය යුගයක හා සම්ප‍්‍රදායක පැහැදිලි අවසානය ලෙස අප සිහි තබා ගත යුතුය. වඩාත් ඛේදජනක කාරණය වනුයේ අපගේ ශාස්ත‍්‍රාලයීය අඩවියේ බුද්ධිමය ජවය මිලින වී යෑම ඇරැුඹී දශක තුනකට වැඩි වුවද ශාස්ත‍්‍රාලයීය නිදහසේ කප්පාදුව පිළිබඳව අමෙරිකාවේ, බටහිර යුරෝපයේ හෝ ඉන්දියාවේ ඇති වූ විවාද අදවන තුරුම ශී‍්‍ර ලංකාවේ ජනිත වී නොමැති වීමය. එහි අදහස නම් ශාස්ත‍්‍රාලයීය ශාස්ත‍්‍රඥයන් බොහෝමයකට මේ සීමා කිරීම් ගැටළුවක් නොවන බවකි. මන්දයත් නිර්මාණනීය සාහිත්‍යකරණය හෝ විශේසයෙන්ම සමාජීය විද්‍යා හා මානව ශාස්ත‍්‍ර යන ක්ෂේත‍්‍රවල දැනුම් ගවේෂණයෙන් ඔවුන් ප‍්‍රායෝගික වශයෙන් ඇත්වී සිටීම බව මගේ හැඟීමයි. කර්තෘ ප‍්‍රකාශන, සරල සමාජ විද්‍යා ලිපි, අනේක විධ අනුස්මරණ වෙළුම් යනාදිය හා එක්වර ඊනියා ශාස්තී‍්‍රය කෘති හතරක් පහක් නොයෙකුත් දෝෂ ද සහිතව නිතිපතා පළවන මෙවන් යුගයක ඥාන විභාගාත්මක ඛණ්ඩනයක් කෙසේවෙතත් මුලික මට්ටමේ දැනුම් නිෂ්පාදනයක්වත් සිදුෙවිද යන්න සැක සහිතය. එසේ සිදු වනුයේ නම් ඒ ශාස්ත‍්‍රඥයන් අදෘශ්‍යමානව අප කාටවත් නොකියාම එම කටයුතු සිදු කරනවා විය යුතුය. අද දින සිරි ගුනසිංහගේ භූමිකා අගය කිරීම සඳහා පළවවන කෘතිය ඉහත සඳහන් ආකාරයේ අවර ගණයේ කෘතියක් නොවේ යැයි මාගේ බලාපොරොත්තුවයි. 

මේ තත්ත්වයට හේතු වූ අද අප විවෘතව කථා නොකරණ තවත් කාරණයක් තිබේ. එනම් 1960 ගණන් වල බටහිරට දෙසට සිදුවූ බුද්ධි ගලනයේ ආනිසංසවලින් අප තවමත් මිදී නොසිටීමයි. සිරි ගුනසිංස, ගණනාත් ඔබේසේකර, ස්ටැන්ලි තම්බයියා, විමල් දිසානායක යනාදීන්ගේ විදේශගතවීමෙන් මතු වූ බුද්ධිමය රික්තය අප තවමත් නිසි ලෙස පුරවා නැත. අප ඒ වෙනුවට ඇති පදම් මහාචාර්යවරු හා ජ්‍යෙෂ්ට කථිකාචාර්යවරු විශ්වවිද්‍යාලවලට බඳවා ගෙන ඇත. ප‍්‍රශ්නය වන්නේ අප බුද්ධිමතුන් විශ්වවිද්‍යාල වෙත කැඳවා නොගැනීම හා රඳවා නොගැනීමයි. එනම් බුද්ධි ගවේශනයට අවශ්‍ය තීව‍්‍ර පුහුණුව, විභවය හා කැමැත්ත ඇති පිරිසක් සරසවි පද්ධතිය සතු නොවීමයි. මේ තත්ත්වය වඩාත් බලපා තිබෙනුයේ සමාජීය විද්‍යා හා මානව ශාස්ත‍්‍ර සම්බන්ධයෙන්ය. එමෙන්ම මේ සීමා තුළ ද තම බුද්ධිමය කාර්යභාරය නිසි ලෙස ඉටුකළ උගතුන් අතලොස්සක් හෝ අප අතර පසුගිය කාලය තුල නොසිටියා නොවේ. මෙහිදී මහාචාර්ය ආර්. ඒ. එල්. එච්. ගුණවර්ධන විසින් පැරණි ශී‍්‍ර ලංකාවේ සංඝ සමාජය හා එහි ආර්ථික කි‍්‍රයාකරකම් පිළිබඳ රචිත Robe and the Plough: Monasticism and Economic Interest In Early Mediaeval Sri Lanka (1979) මහාචාර්ය කේ. එන්.  ඕ. ධර්මදාසගේ Language, Religion, and Ethnic Assertiveness: The Growth of Sinhalese Nationalism in Sri Lanka (1993) යන සිංහල ජාතිකවාදය පිළිබඳ රචිත සුප‍්‍රසිද්ධ කෘතිය හා මහාචාර්ය තිස්ස කාරියවසම් ඉතා මෑතදී පළ කළ Religious Activities and the Development of a New Poetical Tradition in Sinhalese 1852-1906 (2009) යන 19 වන සියවසේදී සිංහල බස තුළ මතු වූ කාව්‍යමය සම්ප‍්‍රදාය පිලිබඳ රචිත අගනා විස්තරාත්මක කෘතිය ද මගේ සිතට නැගේ.

තවද අද දින දිගහැරෙන මේ යාතුකර්මයේ බෙහෙවින් අගය කළ යුතු අංගයක් ද පෙනේ. එනම් රාජ්‍ය ආයතනයක් වන රුහුණ විශ්වවිද්‍යාලය හා පෞද්ගලික සමාගමක් වන ගොඩගේ පොත් සමාගම එක්ව මේ බුද්ධිමය කර්තව්‍යයට සම්මාදම් වීමයි. මීට නායකත්වය දුන් එම විශ්විවිද්‍යාලයේ ජයන්ත අමරසිංහ ඇතුළු පිරිසට හා උපකුලපති මහාචාර්ය සුසිරිත් මෙන්ඩිස්ටත් අපගේ ස්තූතිය පිරිණැමිය යුතුය.

දැන් මා මේ සාකච්ඡුාවට ප‍්‍රවේශය සපයා ගත් කරුණු තුන පිළිබඳව නැවත වරක් මදකට සොයා බලන්නට කැමතිය. එනම් ඥාන ගවේශනය, ඥාන විභාගාත්මක ඛණ්ඩනය සහ ශාස්ත‍්‍රාලයීය නිදහස අතර ඇති සබඳතාවයි.  අපගේ ශාස්ත‍්‍රාලයීය අවකාශයේ තත්කාලීන දැනුම් ගවේශන ස්වභාවය හා එහි ආයතනගත නිදහස මා ඉහත සඳහන් කළ ආකාරය ලෙස අප පිළිගනුයේ නම් එවන් අවකාශයක ගැඹුරු ඥාන සම්පාදනයක් හෝ නිර්මාණශීලි ප‍්‍රවේශ භාවිත කිරීම හෝ ඥානවිභාගාත්මක ඛණ්ඩන හෝ ඇති වේ යැයි මට නම් සිතා ගැනීමට පවා අසීරු කරුණකි. ශාස්ත‍්‍රාලයීය සාමාජිකයෙකු සේ බලන කළ එසේ නොපෙනීම ඇතැම් විට මටම ආවේනික මානසික ආබාධයක ප‍්‍රතිපලයක් ද විය හැකිය. මේ තත්ත්ව පිළිබඳව අප පුළුල් වශයෙන් කථා නොකරන්නේත් ඒ පිළිබඳ ස්වයං-ප‍්‍රත්‍යාවලෝකනයක නොයෙදෙන්නේත් ඒවා අප බොහෝ දෙනාට අදාල නොවන නිසා නැතහොත් නොපෙනෙන නිසා විය යුතුය. 

එනමුත් පෞද්ගලිකව නම් මා වඩාත් ඛේදනීය සේ දකිනුයේ සුපැහැදිලි ඥානවිභාත්මක ඛණ්ඩනයකට අවකාශ විවර කළ ශාස්ත‍්‍රඥයෙකුට හා නිර්මාණකරුවෙකුට ගරුබුහුමන් දක්වන මේ අවස්ථාවේදී ඔහුගේ භූමිකාවට ජවය සැපයූ ශාස්තී‍්‍රය අවකාශය අප විසින්ම නිශේධනය කරනු ලැබ තිබීමයි. ඒ පිළිබඳ අප සිතනුයේවත්, විවාදයකට හසු කරගනුයේවත්, සම්භාෂණයකට එළැඹෙනුයේවත් නැති වීම හා ප‍්‍රතිසංස්කරණනයට උත්සාහ නොදැරීමත් මා පුද්ගලිකව දකිනුයේ අප පැහැදිලිවම බුද්ධිමය වශයෙන් අබුද්දස්ස යුගයකට පැමිණ සිටින බව සලකුණු කිරීමක් වශයෙනි. මේ තත්ත්වයට පදනම් වී අති තවත් යතාර්ථයක් වන්නේ බොහෝ තත්කාලීන ශාස්ත‍්‍රඥයන් දැනුම් සම්පාදනය යන්න ඊට ආවේනික ආත්ම තෘප්තියෙන් තොරව හුදු රැුකියාවක් ලෙස පමණක් සැලකීමය. මේ තත්ත්ව යටතේ මාගේ පරම්පරාවද ඇතුළුව ඉදිරි පරම්පරාවල ඊනියා ශාස්ත‍්‍රඥයන් සඳහා අනාගතයේදී ප‍්‍රකාශයට පත්වන ගැටළුකාරී කෘති එළිදක්වන අවස්ථාවල දී අදහස් ප‍්‍රකාශ කිරීමේ අභාග්‍ය මට නොලැබේවායි මා ප‍්‍රාර්ථනා කරමි.

No comments:

Post a Comment