I am what I am; I will be what I will be.

Friday, January 15, 2016

සිංහල සමාජයේ කුළ ක‍්‍රමය (පරිවර්තනය: චන්ද්‍රශී‍්‍ර රණසිංහ)



බ‍්‍රයිස් රයන් (පරිවර්තනය: චන්ද්‍රශී‍්‍ර රණසිංහ): සිංහල සමාජයේ කුළ ක‍්‍රමය. කොළඔ: සීමාසහිත ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ පුද්ගලික සමාගම, 2015. මිල: රැු. 1250.00. ISBN 978-955-30-6277-2.
________________________________________________

‘සිංහල සමාජයේ කුළ ක‍්‍රමය’ යන කෘතිය චන්ද්‍රශී‍්‍ර රණසිංහ ශූරීන්ගේ පෞද්ගලික බුද්ධිමය උත්සාහයක ප‍්‍රතිඵලයක් ලෙස 2015 දී ප‍්‍රකාශයට පත් කරන ලදී. එය මුල් වරට 1953 දී රට්ගර්ස් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය විසින් පළකරණ ලද Caste in Modern Ceylon: The Sinhalese System in Transition යන මහාචාර්ය බ‍්‍රයිස් රයන් විසින් රචිත බෙහෙවින් වැදගත් සමාජවිද්‍යාත්මක කෘතියේ සිංහල පරිවර්තනයයි. මේ පරිවර්තනය අප අතට පත්වන්නේ මුල් කෘතිය පළවී වසර 62 ක් ගෙවී ගිය පසුය. මෙවන් දීර්ඝ කාලයක අවෑමෙන් පසුව සමාජගතවන මේ පරිවර්තනයේ අන්තර්ගතය පිළිබඳ සාම්ප‍්‍රදායික විවරණයක් කරනු වෙනුවට එමගින් සනිටුහන් කරන බුද්ධිමය දේශපාලනය පිළිබඳ කෙටි ඇගයීමක් කිරීම වඩා සුදුසු බව මාගේ විශ්වාසයයි. 

ඓතිහාසිකව ශී‍්‍ර ලංකාවේ කුළ ක‍්‍රමය පිළිබඳව ලියැවී ඇති ප‍්‍රධාන පෙලේ කෘති අතලොස්ස අතරට මහාචාර්ය රයන්ගේ කෘතිය ද අනිවාර්යයෙන් ඇතුලත් වේ. මේ කෘති කාණ්ඩයට ඇකුලත්වන අන් කෘති වශයෙන් මා සලකන්නේ මහාචාර්ය මයිකල් රොබර්ට්ස්ගේ Caste Conflict and Elite Formation: The Rise of a Karāva Elite in Sri Lanka 1500–1931 (කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, 1982), මහාචාර්ය කුමාරි ජයවර්ධනගේ Nobodies to Somebodies: The Rise of the Colonial Bourgeoisie in Sri Lanka (සෙඞ් ප‍්‍රකාශකයෝ, 2000) ආදී කෘතිය. සමාජවිද්‍යාත්මක හා බුද්ධිමය වටිනාකමකින් හෙබි මෙවන් බොහෝ කෘති තවමත් අප රටේ භාවිත වන ප‍්‍රධාන භාෂා ද්විත්වය වන සිංහල හා දෙමල බස්වලට පෙරැුලී නැත.  එනිසාම, මෙරට සමාජවිද්‍යාත්මක පර්යේෂණ කතිකාව මූලික වශයෙන් ගොඩනැගෙන්නේත්, එකී විෂයන් විශ්වවිද්‍යාල තුළ ඉගැන්වීම මගින් ප‍්‍රතිනිශ්පාදනය වී සමාජය තුළ පැතිර යන්නේත්, මේ දැනුම් මූලාශ‍්‍රවලින් අනිවාර්යයෙන් ලබාගතහැකි කේන්ද්‍රීය ඥානාලෝකයේ ආබාසය නැතිවය. 

වෙනත් ලෙසකින් පවසන්නේනම්, අද දින අප රටේ සමාජවිද්‍යාව පිළිබඳ පුහුණුව ලබන බොහෝ අන්කුර බුද්ධිජීවීන් එක් අතකින් විෂයානුබද්ධ න්‍යායික හා සංකල්පීය දැනුමින්ද අනෙක් අතින් විෂයට කේන්ද්‍රීීය වන ශී‍්‍ර ලංකාවේ සිදුකල පර්යේෂණ පිළිබඳ දැනුමින් ද බෙහෙවින්  විනිර්මුක්තව සමාජයට අවතීර්ණ වන්නේ බුද්ධිමය වශයෙන්  ඕපපාතිකවය. මීට ප‍්‍රධාන හේතුව මේ බොහෝ කෘති ලියැවී ඇත්තේ ඉංගී‍්‍රසියෙන් හෝ අන් ජාත්‍යන්තර භාෂාවලින් වීමත්, ඒවා තවමත් දේශීය භාෂාවන්ට පරිවර්තනය නොවී තිබීමත්, ඒවා ආශ‍්‍රය කිරීමට අවශ්‍ය භාෂා හැකියාව හෝ උනන්දුව තරුණ බුද්ධිජීවීන් බොහෝ දෙනෙකුට නොමැති නිසාත්ය. එනමුත් මේ අවම හා අර්බුදකාරී දැනුම පිළිබඳ ගැටලූව කිසි ලෙසකටවත් මායිම් නොකරමින් ඇතැමුන් සමාජවිද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරුන් බවට පත්වී සරසවි පද්ධතියට කඩාපනින්නේ හුදු බී.එ්. උපාධියක මද දැනුමෙන් පමණක් පෝශණය වීය. ඉන් අනතුරුව, ඔවුන් ලහි ලහියේ අනේකවිද අති සරල පොත් පත් සිත් පරිදි ලියා පළකර, සමාජය වෙත ඒවා දමාගසන්නේ බෙහෙවින් දියාරුවී ගිය කතිකාමය අවකාශයක් අප රටේ බිහිකරමින්ය.

රණසිංහගේ ශූරීන්ගේ පරිවර්තනය අප අතරට පැමිනෙන්නේ මෙවන් අර්බුදකාරී තත්ත්වයක් තුළ අප රටේ ශාස්තී‍්‍රය දැනුම් නිෂ්පාදනය අතිශයින් පසුගාමී ලෙස පවතින අවදියකය. ඒද සමාජයීයවිද්‍යා හා මානව ශාස්ත‍්‍ර පිළිබඳ උසස් අධ්‍යාපනය ලබාදීමේ වගකීම සිංහල හා දෙමල භාෂාවලට ලබා දී අඩසියවසක් පමණ ගතවී ඇති මොහොතක සහ ඒ අධ්‍යාපනය ලබාදීමට අත්‍යාවශ්‍ය ජාත්‍යන්තරව පලවෙන පොත්පත් නිසිලෙස දේශීය භාෂාවලට පරිවර්තනය කිරීමේ කි‍්‍රයාපටිපාටියක් මෙතෙක් සකසා නැති තත්ත්වයක් තුළය. එවන් විධික‍්‍රමික පද්ධතියක් රාජ්‍ය හා පුද්ගලික අංශයේ මැදිහත්වීම ඔස්සේ ජපන් හා චීන බුද්ධිමය අවකාශ තුළ යම් සාර්ථකත්වයකින් යුතුව කි‍්‍රයාත්මක වබ බවද අප මෙහිදී මතක තබා ගත යුතුය. 

මේ අනුව, රණසිංහ ශූරීන්ගේ ව්‍යායාමය මා තේරුම් ගන්නේ රාජ්‍යය විසින් තම උසස් අධ්‍යාපන වගකීමේ අත්‍යාවශ්‍ය භූමිකාවක් වගකීම් විරහිතව අත්හළ මොහොතක විකසිත වූ තනි පුද්ගලයෙකුගේ බුද්ධිමය උනන්දුවේ හා ශික්ක්‍ෂණයේ ප‍්‍රතිඵලයක් වශයෙනි. එහෙත් මෙහිදී යමෙකුට මතුකළ හැකි ප‍්‍රශ්ණයක් වන්නේ මුල් කෘතිය පළවී වසර 62 කට පසුව මේ පරිවර්තනය එළිදැක්වීමේ අර්ථය කුමක්ද කියාය. මේ පැණය පහත සඳහන් අයුරින් විවරණය කළ හැකිය:

1. ප‍්‍රථමයෙන්, මහාචාර්ය රයන්ගේ මෙකී කෘතිය ශී‍්‍ර ලංකාවේ කුළ ක‍්‍රමය ඓතිහාසිකව හැදෑරීමේදී ඉංදියාවේ කුළ ක‍්‍රමය ඓතිහාසිකව හැදෑරීමේදී මහාචාර්ය ලූවී ඩුමොන්ට්ගේ  Homo Hierarchicus කෘතිය තරම්ම කේන්ද්‍රීයව වැදගත්වන බව සිහි තබාගත යුතුය. මා මිත‍්‍ර මහාචාර්ය ටෙනිසන් පෙරේරා මේ කෘතිය ‘සම්භාව්‍ය’ කෘතියක් ලෙස රණසිංහ ශූරීන්ගේ පරිවර්තනයට සැපයූ සිය හැඳින්වීමෙන් විස්තර කරන්නේ මේ නිසාය. එනම්, ශී‍්‍ර ලංකාවේ තත්කාලීන කුළ ක‍්‍රමය පිළිබඳ ගවේශණයකදී වුවද මහාචාර්ය රයන්ගේ කෘතියේ අන්තර්ගත ඓතිහාසික තොරතුරු බෙහෙවින් වැදගත් වේ. මෙනිසා මේ පරිවර්තනය මෙවන් තොරතුරු මෙතුවක් කල් සිංහල බසින් නොතිබීමේ ඥනසම්පාදනීය ගැටළුව විසදීමට දායක වේ.

2. දෙවනුව, ශී‍්‍ර ලංකාවේ සමාජවිද්‍යාවේ ආරම්භය සමග මහාචාර්ය රයන් අත්‍යන්තයෙන් බැඳී සිටී. එ් මෙරට එම විශය ක්‍ෂේත‍්‍රයේ පීතෘ වශයෙන් හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ස්ථාපනය කළ සමාරම්භක සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ ප‍්‍රථම මහාචාර්යවරයා සහ අංශ ප‍්‍රධානියා වශයෙනි. මේ භූමිකාව තුළ ඔහු පුහුණුව ලැබූ 1940 දශකයේ ඇමරිකානු සමාජවිද්‍යාවේ දැඩි ක්‍ෂේත‍්‍ර අධ්‍යයන නැඹුරුවද ඔහු පේරාදෙණියේ ස්ථාපිත නව අධ්‍යයනාංශයට හා ලංකාවේ සමාජවිද්‍යාව වෙත ගෙන ආවේය. තම සිසුන් සමග උඩරට ප‍්‍රදේශයේ ගම් සිසාරා යමින් ඒවායේ එවක පැවති සමාජාර්තික තත්ත්ව හා සංස්කෘතික භාවිත මැනැවින් වාර්තාකර ගැනීමේ හා සංරක්ෂණය කිරීමේ ‘ග‍්‍රාමීය අධ්‍යයන වැඩසටහන’ (village studies program) ඔහුගේ නායකත්වය යටතේ සිදුවූයේ මේ වාතාවරණය තුළය. සැබැවින්ම, සිංහල සමාජයේ කුළ ක‍්‍රමය යන ඔහුගේ වැදගත්ම කෘතිය බිහිවූයේ මේ පර්යේෂණ ප‍්‍රවේශයේ ඍජු ප‍්‍රතිඵලයක් වශයෙනි. එනම්, ශි‍්‍ර ලාංකේය සමාජවිද්‍යාවේ මානවවංශකරණ නැඹුරුව සංස්ථාගත කිරීමට මේ කෘතිය මෙන්ම එල්.ඞී. ජයසේන හා සී.ආර්. වික‍්‍රමසිංහද එක්ව ඔහු 1958 දී රචනා කළ Sinhalese Village   යන රචනය හා එවන් අන් ලිපි ලේඛන බෙහෙවින් දායක වීය. මේ අනුව, මේ කෘතිය සිංහලෙන් පරිශීලනය කිරීමට අවකාශ ලැබීම යනු එමගින් සනිටුහන් කරන විධික‍්‍රමික හා ශික්ෂණමය ඉතිහාසයේ බුද්ධිමය කොටස්කරුවෙකු වීමට අවකාශ ලැබීමය.

මෙවන් කාරණා සලකා බැලීමේදී ශී‍්‍ර ලංකාවේ සමාජවිද්‍යා ඉතිහාසය පුළුල්ව හා නිසියාකාරව තේරුම් ගැනීමට නම්, මහාචාර්ය රයන්ගේ භූමිකාව මෙන්ම මේ කෘතියේ බලපෑමද අමතක කළ නොහැක. එනමුත් 1953 සිට 2015 දක්වා එය කියැවීමට වාසනාව ලැබ සිටියේ ඉංගී‍්‍රසි බස හැසිරවීමට හැකිවූ අතලොස්සකිනුත් මෙවන් මාණවවංශ ලේඛනයක් කියැවීමට කාලය මිඩංගු කිරීමට සූදානම්වූ බෙහෙවින් සුළුතර බුද්ධිජීවී කණ්ඩායමකට පමණි.  කුල ක‍්‍රමය පිළිබඳ දීර්ඝ වශයෙන් ගොනුකළ ඓතිහාසික හා තත්කාලීන තොරතුරුවලට අමතරව මේ කෘතියෙන් කියැවෙන්නේ ශී‍්‍ර ලංකාවේ සමාජවිද්‍යාවේ ඉතිහාසයේ පැතිකඩක් පිළිබඳ කතිකාවකි. පරිවර්තකයාගේ පෙරවදනින්ද මහාචාර්ය ටෙනිසන් පෙරේරාගේ හැඳින්වීමෙන්ද කෘතියට ලැබෙනුයේ එය කියවීම පහසුකරවන හා බුද්ධිමය වශයෙන් ස්ථානගතකීරීමට හැකිවන වඩාත් විස්තෘත සන්දර්භයකි. 

මාගේ උත්හාහය වූයේ මේ කෘතිය හා එහි පරිවර්තනය ඒවාට අදාල බුද්ධිමය හා ඥනසම්පාදන ක්‍ෂේත‍්‍ර තුළ සන්ධර්භගතකිරීමය. මේ විවරණය නිම කිරීම සඳහා මහාචාර්ය රයන්ගේම අදහසක් භාවිත කිරීම සුදුසු යැයි මා විශ්වාස කරමි. සිංහල පරිවර්තනයට ඇතුලත් නොවුවද, මුල් කෘතියේ තිබූ සම්පූර්ණ තේමා නාමයෙන් කොටසක් වූයේ  'The Sinhalese System in Transition' යන්නය. එහි අදහස නම්, සිංහල කුල ක‍්‍රමයේ විපරිවර්තණය යන්නය. එනම්, 1953 වැනි ඈත යුගයකදී ද මහාචාර්ය රයන් අපගේ කුල ක‍්‍රමයේ ඈත අතීතය හා ව්‍යුහය, එහි යටත් විජිත ඉතිහාසය හා තත්කාලීන තත්ත්වයද විස්තර කරන අතරම, එය මූලික වශයෙන් තේරුම් ගත්තේ විපරිවර්තනයට නතුවෙමින් පැවති පද්ධතියක් ලෙසය. 1992දී කෘතිය ඉංගී‍්‍රසියෙන් නැවත වරක් පළකල  අවස්ථාවේදී සැපයූ කතෘ සටහනින් ද මේ යතාර්ථය ඔහු නැවත වරක් ඉදිරිපත් කළේය. තත්කාලීනව මහත් ලෙස අර්බුදයට මැදිවී සිටින හා බෙහෙවින් දරිද්‍ර බුද්ධිමය තත්ත්වයක සිරවී සිටින ශ‍්‍ර‍්‍රී ලාංකේය සමාජවිද්‍යාවට එහි සමාරම්භක නායකයාට කළ හැකි වැදගත්ම ගෞරවය නම්, ඔහු විසින් සවිස්තරාත්මකව සම්පාදනය කළ මේ කෘතියේ දැනුම යාවත්කාලීන කිරීමය. එනම්, අද දින නගරයේත් ඉන් පරිභාහිරවත්, ග‍්‍රාමීය පළාත්වලත් විවාහයේදීත් අන් අවස්ථාවලත් කුළ ක‍්‍රමයේ කි‍්‍රයාත්මකවීම හා විපරිවර්තනීය ගතික ගැඹුරු සමාජවිද්‍යාත්මක අධ්‍යයනයක හා න්‍යායින ගණුදෙනුවක ආලෝකයෙන් බුද්ධිමය කතිකාව සඳහා දායක කිරීමය.

අවසන් වශයෙන්, මෙවන් බුද්ධිමය ව්‍යායාම සඳහා රාජ්‍ය මැදිහත්වීමක් නොමැති කටුක යතාර්ථයක් තුළ ස්ව-උත්සාහයෙන් මෙවන් කර්තව්‍යයකට දායක වූ චන්ද්‍රශී‍්‍ර රණසිංහ ශූරීන්ට අප සැමදෙනාගේ ස්තූතිය හා උපහාරය හිමිවිය යුතුය.

දිවයින 14 ජනවාරි 2016

No comments:

Post a Comment