I am what I am; I will be what I will be.

Thursday, July 24, 2014

දෘශ්‍ය කලාව පිලිබඳ සමාජවිද්‍යාවක් සඳහා කලා ඉතිහාසයෙන් ඔබ්බට යා හැකි මංපෙත් සෙවීම: මූලික අදහස් ගවේෂණයක් (1)


සසංක පෙරේරා
මහාචාර්ය හා පීඨාධිපති
සමාජීය විද්‍යා පීඨය 
දකුණු ආසියානු විශ්වවිද්‍යාලය
නව දිල්ලිය 

ප‍්‍රවේශය

පසුගිය දශකයක පමණ කාලය තුළ දෘශ්‍ය කලාව පිළිබඳ මාගේ දීර්ඝ කාලීන දැඩි ඇල්ම (passion) නැතිනම් ලාලසාව, සුඛය දනවන මූලාශ‍්‍රයක සිට ශාස්තී‍්‍රය උනන්දුවක් දක්වා වර්ධනය වීය. එසේ වීමේදී මාගේ සිතට නිරතුරුවම නැගුණු පැනයක් වූයේ සිත්තරකරණය, මූර්ති ශිල්පය, අභිවාහ්‍ය කලාව(2)  (performance art) හා ස්ථාපනකරණය යනාදිය ඇතුලත් වූ තත්කාලීන දෘශ්‍යකලාව විධිමත් ලෙස සමාජවිද්‍යාඥයන්ගේ පූර්ණකාලීන පර්යේෂණ උනන්දුවක් බවට පත් වී නැත්තේ මන්ද යන්නයි. මේ තත්ත්වය දකුණු ආසියාව තුළ වඩාත් පැහැදලිය. ඊට පරිබාහිර රටවල තත්ත්වය ද එතරම් වෙනස් නොවේ. වෙනත් අයුරකින් පවසනවා නම්, මා ව්‍යාකූලත්වයටත් පුදුමයටත් පත් වූයේ ශික්ෂණයක් ලෙස සමාජවිද්‍යාව සාම්ප‍්‍රදායිකව මහත් කැමැත්තකින් කුලය, සමාජ පංතිය, ජනවාර්ගිකත්වය, ආගම, සමාජ ලිංගිකත්වය යනාදී විෂය පිළිබඳව දැක්වූ බුද්ධිමය උනන්දුව චිත‍්‍ර, මූර්ති, අභිවාහ්‍ය කලාව හා ස්ථාපනය ආදිය සම්බන්ධයෙන් නොදැක්වූයේ මන්ද කියාය. මා කල්පනා කළේ සමාජය හා එහි අනේකවිධ ගොඩ නැංවීම් සහ ප‍්‍රතිවිරෝධතා කලා ප‍්‍රවණතා තුළින් පුළුල් පර්යේෂණ ක්ෂේත‍්‍රයක් ලෙස ගවේෂණය කළ නොහැකිද යන කාරණය පිළිබඳවය.(3)

Photography courtesy of Vajjra Jayatilake
එමෙන්ම මේ නොසැලකිල්ලට, නැතිනම් පර්යේෂණ අකමැත්තට හේතුව සමාජ විද්‍යාවේ අත්‍යන්තයෙන් ඇතුලත් වූ විධික‍්‍රමික හෝ න්‍යායික සීමාවන් නිසා ඇති වූ එකක් දැයි මුලදී මට සිතුනි. එහෙත් සමාජමානව විද්‍යාව පිළිබඳ මා ලබා තිබූ පුහුණුවත් දශක දෙකකට වැඩි කාලයක් සමාජ හා සමාජමානව විද්‍යාව පිළිබඳව උනන්දුව දැක් වූ ලෝකයේ ආයතන ගණනාවක ඉගැන්වීම හා සම්භාෂණයේ යෙදීම තුළිනුත් මාගේ මෑතකාලීන පර්යේෂණ හා ලිවීම තුළිනුත් මේ ගැටලූව විසදා ගැනීමටත් මාගේ කුතුහලය සහ සාංකාව සමනය කරගැනීමටත් අවශ්‍ය පිහිට නොලැබුණි. අවම වශයෙන් මතුපිට මට්ටමින් ගත් කළ, කලාව බුද්ධිමය වශයෙන් ආමන්ත‍්‍රණය කිරීමට බාධා කරන කිසිම විධික‍්‍රමික හෝ න්‍යායික සීමාවක් මට සොයා ගත නොහැකි විණි. 
 
තත්කාලීන කලාව හා සමාජවිද්‍යාව
 
මින් ඔබ්බට යාමට පෙර සංකල්ප කිහිපයක් කෙටියෙන් විවරණ කිරීම සුදුසු යැයි මා සිතමි. එනම්, කලාව හා සමාජ විද්‍යාව ලෙස මා අදහස් කරනුයේ කුමක් ද යන්නයි. මෙහිදී මා කලාව ලෙස අදහස් කරනුයේ තත්කාලීන කලා භාවිතයි. ඒ ද නූතනවාදී කලාව දකුණු ආසියාවට පැමිණි පසු මතු වූ කලා ප‍්‍රවණතා පිළිබඳවයි. එනම්, මානවවිද්‍යාවේ මුල් යුගයේදී දකුණු ආසියාවේ සහ ලෝකයේ අන් කලාපවල ඊනියා ගෝති‍්‍රක කලාව වෙත දැක්වූ උනන්දුව පිළිබඳව මේ අවස්ථාවේ මාගේ අවධානය යොමු නොවේ. තවද මේ සාකච්ඡුාව තුළ පූර්ව නූතන බෞද්ධ පන්සල් ආශි‍්‍රත විහාර බිතුසිතුවම් සහ අන් කලා ප‍්‍රවණතා වෙත ද මාගේ අවධානය යොමු නොවන බව සඳහන් කිරීමට කැමැත්තෙමි. 
 
දැන් මා සමාජවිද්‍යාව යනුවෙන් අදහස් කරනුයේ කුමක්දැයි විස්තර කිරීමට කැමැත්තෙමි. ඊට හේතුව ඒ පදයේ අර්ථය පිළිබඳ දකුණු ආසියානු කලාපය මුලූල්ලේම දැඩි ව්‍යාකූලත්වයක් පවතින නිසාය.(4)  සමාජවිද්‍යාව හා සමාජ මානවවිද්‍යාව යන ශික්ෂණ දෙකම මූලික වශයෙන් සමාජය සහ සංස්කෘතිය නිරාවරණය කිරීමට උත්සාහ දරයි. මේ අර්ථයෙන් ගත් කළ සමාජවිද්‍යාව හා මානවවිද්‍යාව අතර, ඒවායේ ඓතිහාසික පරිණාමයේ සුවිශේෂාංගවලට අමතරව සැලකිය යුතු මට්ටමේ බුද්ධිමය වෙනසක් මට නොපෙනේ. එනම්, තත්කාලීන ගෝලීය බුද්ධිමය සන්දර්භ තුළ සැලකිල්ලට භාජනය විය යුතු වෙනසක් මේ ශික්ෂණ දෙකේ භාවිතය ගෙන බැලූ විට  නොපවතියි. මෙහිදී ප‍්‍රංශ සමාජ විද්‍යාඥ පියෙර් බෝර්දි්‍යු සමාජවිද්‍යාව හා මානවවිද්‍යාව පිළිබඳ දැරූ මතය හා මමත් එකඟ වෙමි. එනම්, ‘‘ඉතාමත් පැහැදිලි සමාජවිද්‍යාත්මක හේතු මත සමාජවිද්‍යාව යනු බෙහෙවින් ව්‍යාප්ත වූ ශික්ෂණයකි. එලෙසම, සමාජවිද්‍යාව හා සමාජ මානවවිද්‍යාව අතර ඇති වෙනස පදනම් විරහිත මායිමකට කදිම උදාහරණයක් සපයයි’’ (බෝර්දි්‍යු  1995: 8-10). මෙලෙසම දීර්ඝකාලීන පර්යේෂණ, ඉගැන්වීම සහ රචනාකරණයෙන්ලැබූ පුළුල් අත්දැකීම් ද සහිතව ඉන්දීය සමාජ විද්‍යාඥ අන්ද්‍රේ බතෙයිල් Six Essays in Contemporary Sociology  යන සිය කෘතියෙන් මෙවැනි අදහසක් ඉදිරිපත් කරයි: ‘‘සමාජවිද්‍යාව යනු කුමක්ද සහ සමාජ මානවවිද්‍යාව යනු කුමක්දැයි සම්බන්ධයෙන් බොහෝ අදහස් ඉදිරිපත් වී තිබෙයි. එක් අතකින් මේ තත්ත්වය මේ විෂයන් දෙකෙහි ගතිකත්වය කියාපායි. අනෙක් අතට මෙය යම් ව්‍යාකූලත්වයකටත් මග පාදා ඇත. යමෙකුට අවශ්‍ය මේ විෂයන් දෙකෙහි මූලික ඒකාග‍්‍රතාව පෙන්නුම් කිරීමට නම් සමාජවිද්‍යාව පිළිබඳ එක් නිර්වචනයක් ඉදිරිපත් කර, එය සමාජ මානවවිද්‍යාව පිළිබඳව පවතින යම් නිර්වචනයනට සමාන බව පෙන්වා දිය හැකිය. එසේම, සමාජවිද්‍යාව පිළිබඳ වෙනත් නිර්වචනයක් ඉදිරිපත් කරමින් සමාජ මානවවිද්‍යාව පිළිබඳ අවශේෂ නිර්වචනයක් යොදා ගනිමින් තවත් අයෙකුට මේ විෂයන් අතර පවතින වෙනසද පෙන්වා දිය හැකිය’’ (බතෙයිල් 1982: 4). මේ සන්දර්භය තුළ කලාව පිළිබඳව දක්වා නොමැති උනන්දුව මේ විෂය දෙකේ අර්ථකථනය හා සම්බන්ධ කරුණක් නොවේ. සැබැවින්ම මේ විෂයන් දෙකෙහිම භාවිත පර්යේෂණ මෙවලම් බොහෝ දුරට සමාන වේ. මේ අනුව අද දින සාකච්ඡුාවේදී මා මේ විෂය දෙක අතර සංකල්පීය වෙනසක් හ`දුනා ගන්නට උත්හාස නොගන්නෙමි. එනම්, මා සමාජවිද්‍යාව යැයි කියන සෑම විටම ඒ පදය තුළ සමාජ මානවවිද්‍යාව යන අර්ථය ද ගැබ් වී තිබෙන බව සිහි තබා ගත යුතුවේ.

Photography courtesy of Vajira Jayatilake

ගැටලූවේ ප‍්‍රභවය
සමාජවිද්‍යාව කලාව පිළිබඳ දක්වන නොසැලකිල්ල පිළිබඳ ගැටලූව සම්බන්ධයෙන් මාගේ බුද්ධිමය කුතුහලය ප‍්‍රභවය ලැබුවේ කාරණා තුනක් මුල් කරගෙනය. මේ කාරණා පහත පරිදි විස්තර කළ හැකිය:
 
1) පළමු කරුණ:
 
පළමු කාරණය පදනම් වනුයේ කලාව සහ දේශපාලනය පිළිබඳව මා ඉගැන්වූ පාඨමාලා තුනක සන්දර්භය තුළය. 2010ට පෙර වසර කිහිපයක් මුළුල්ලේම ‘කලාව පිළිබඳ සමාජවිද්‍යාව’ යන පාඨමාලාව කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා ශාස්ත‍්‍රවේදී සිසුන්ට ඉගැන්වීමට මා උත්සාහ කළෙමි. මේ පාඨමාලාව මූලික වශයෙන් පදනම් වූයේ නූතන යුගයෙන් පසුව බිහිවූ ශී‍්‍ර ලාංකේය කලා මූලාශ‍්‍ර ආශ‍්‍රය කරගෙනය. එනමුත් ඒ පාඨමාලාව යම් දුරකට ශී‍්‍ර ලංකාවේ සමස්ත කලා ඉතිහාසය සහ ගෝලීය කලා ඉතිහාසයේ තෝරාගත් පැතිකඩ කිහිපයක් මෙන්ම ‘රුචිකත්වය’ යන කරුණ කලා කෘතියක ස්වභාවය හා කලා කෘති සඳහා වෙළඳපොලක් නිර්මාණය කිරීමට බලපෑම් කරන ආකාරය ද ගවේෂණ කළෙමි. පසුව 2011 වසරේදී තෝක්යෝවේ හිතෝත්සුභෂි විශ්වවිද්‍යාලයේ ගෝලීයවාද විෂය අධ්‍යයනය සඳහා වූ ආයතනයේ (Institute for the Study of Global Issues)  ශාස්ත‍්‍රපති උපාධි අපේක්ෂකයන්ට මා ‘දෘශ්‍යකලාව හා ආසියාවේ සමාජ විපරිවර්තනයේ දේශපාලනය’ යන පාඨමාලාව ඉගැන්වීමට උත්සාහ කළෙමි. රුචිකත්වය පිළිබඳ මාගේ උනන්දුවට අමතරව මේ පාඨමාලාවේදී  කලා කෞතුකාගාර සහ ප‍්‍රදර්ශනාගාර කි‍්‍රයාත්මක කරන ප‍්‍රදර්ශනයේ සහ දැකීමේ (showing and seeing) දේශපාලනය පිළිබඳව  ද අවධානය යොමු කළෙමි. මෙහිදී අදාළ කලා මූලාශ‍්‍ර  ඕස්ටේ‍්‍රලියාව, ඉන්දුනීසියාව, ජපානය, තායිලන්තය, චීනය, දකුණු කොරියාව සහ දකුණු ආසියාවේ තෝරා ගත් රටවල්වලින් සොයා ගත් ඒවාය. ඊට අමතරව නිව්යෝර්ක් සහ කැලිෆෝනියා යන කලාපවල දේශපාලන නැඹූරුවකින් යුත් චිත‍්‍ර ද (political art) මීට ඇතුලත් විය. වඩාත් වැදගත් වූයේ බෙහෙවින් කි‍්‍රයාශීලී හා ගතික ගෝලීය නගරයක් වූ නිසාම තෝක්යෝව මටත් මගේ සිසුන්ටත් ජපන් හා ගෝලීය කලා කෘති නිරතුරුවම නැරඹීමට ප‍්‍රදර්ශන අවස්ථා ලබා දීමයි. එමෙන්ම ඒ අවකාශවල සිටිමින් අදාළ විෂය ගැන කතා කිරීමටත් අපට අවකාශ ලැබුණි. 2012 සිට අද දක්වා දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා ශාස්ත‍්‍රපති අපේක්ෂකයින්ට මා ‘දෘශ්‍ය කලාව සහ දකුණු ආසියවේ දේශපාලන විපරිවර්තනය’ යන පාඨමාලාව ඉගැන්වීමට උත්සාහ ගන්නෙමි. මෙහිදී මා අවධානය යොමු කරනුයේ දේශපාලන නැඹුරුවක් සහිතව 1980න් පසු දකුණු ආසියාවෙන් මතු වූ කලා ප‍්‍රවණතා පිළිබඳවය. ඊට රුචිකත්වය සහ ප‍්‍රදර්ශන දේශපාලනය යන කරුණු ද් ඇතුලත් වේ. තෝක්යෝවේ තරම්ම නොවූවත් නවදිල්ලියද රාජ්‍ය ආයතනයක් වන නූතන කලා ප‍්‍රදර්ශනාගාරය (Gallery of Modern Art) සහ එස්පාස් ප‍්‍රදර්ශනාගාරය (Espace Gallery) ශ්රයින් එම්පයර් ප‍්‍රදර්ශනාගාරය (Shrine Empire Gallery) කිරාන් නාඩාර් ප‍්‍රදර්ශනාගාරය (Kiran Nadar Gallery) දේවි කලා පදනම (Devi Art Foundation) යන පුද්ගලික ආයතන ද අපට විවෘත වී තිබුණා. ඒවායේ ඉන්දීය මෙන්ම ශී‍්‍ර ලාංකේය, පාකිස්ථානු, බංගලිදේශ, චීන සහ වෙනත් කලාපවල කෘති අපට දැක ගන්නත් ඒවායේ දේශපාලනය ගැන කතා බහ කිරීමටත් අවකාශ ලැබුණි.

Photography courtesy of Vajira Jayatilake

මේ පාඨමාලා තුන සම්පාදනය කරන විට එක් කරුණක් මට බෙහෙවින් පැහැදිලි වූයේය. එනම්, මා තෝරා ගත් බොහෝ ලිපි කලාකරුවන්, කලා ඉතිහාසඥයන්, අභිරක්ෂකයින් වැනි අය සහ සමාජවිද්‍යාඥයින් අතලොස්සක් පමණක් වෙතින් සම්පාදිත ඒවා බවයි. සමාජවිද්‍යාඥයන් කලාව පිළිබඳව දැක්වූ ඉතා අඩු සැලකිල්ල මට වඩාත් පැහැදිලි වූයේ මේ අවස්ථාවේදීය. එනම්, කලාව  සමාජවිද්‍යාව තුළ  සුජාතක පර්යේෂණ ක්ෂේත‍්‍රයක් වී නොතිබුණ බවයි. එසේ වවුද, මේ ලිපි ලේඛන එක් රැුස් කරමින් හා ඒවා කියවමින් පාඨමාලාව සම්පාදනය කිරීමේදී මට වඩා පසක් වූයේ කලාව බෙහෙවින් සුජාතක සමාජවිද්‍යා පර්යේෂණ ක්ෂේත‍්‍රයක් නැතිනම් වැඩබිමක් මෙන්ම, ඒ හරහා අනේක විධ සමාජ ගතිකත්ව හා වාදවිෂය ගවේෂණය කළ හැකි බවය. මේ අතරට ආගම හා ජාතිකත්වය, ජාතිවාදය, සමාජ ලිංගිකත්වය හා අන් සමාජ අනන්‍යතා, දේශ සීමා ආදී විෂයන් ඇතුලත් කළ හැකිය. කෙසේ වුවද, මා මේ පාඨමාලා සම්පාදනය කළේ කලාකරුවෙක් හෝ කලා ඉතිහාසඥයෙකු ලෙස නොවේ. මා ඒවා සම්පාදනය කළේ තත්කාලීන කලාව පිළිබඳ දැඩි ඇල්මක් සහ යම් දැනුමක් තිබූ විධිමත් පුහුණුවක් ලත් සමාජ විද්‍යාඥයෙකු වශයෙනි. මෙහිදී මට පෙනී ගියේ කලාව පිළිබඳ මා යමක් ලීවා නම් එය මාගේ පාඨමාලව සඳහා තෝරා ගත් බොහෝ ලිපිවලට වඩා වෙනස් අයුරකින් ලිවීමට ඉඩ තිබූ බවයි. මා කල්පනා කෙළේ ඒ වෙනස පදනම්ව තිබුණේ සමාජවිද්‍යාඥයෙකු ලෙස ලෝකය දැකීමට සහ ගවේෂණය කිරීමට මා ලබා තිබූ පුහුණුව තුළින් බවයි.

2) දෙවන කරුණ:
 
දෙවන කරුණ ප‍්‍රභවය ලැබුවේ දකුණු ආසියානු සරසවිය සංවිධානය කළ ප‍්‍රසිද්ධ දේශනයක් කේන්ද්‍ර කරගෙනය. දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨය සහ සමාජ විද්‍යා අධ්‍යයනාංශය එක්ව සංවිධානය කරන දකුණු ආසියාව පාඨණය කිරීම යන දේශන මාලාවේ කොටසක් වශයෙන් අමෙරිකාවේ නිව්යෝක් ප‍්‍රාන්තයේ කෝනෙල් සරසවියේ කලා ඉතිහාස අධ්‍යයනාංශ ප‍්‍රධාන මහාචාර්ය ඉෆ්තිකා දාදි විසින් 2013 අගෝස්තු 26 වන දින දේශනයක් පවත්වන ලදී. ඒ ‘කලාව සහ පාකිස්ථානයේ දෘශ්‍ය ප‍්‍රසිද්ධ අවකාශය’ (Art and the Visual Public Sphere in Pakistan) යන මාතෘකාව යටතේය. මහාචාර්ය දාදි ඉතාමත් උනන්දු සහගත දේශනයක් තුළින් අප සියලූ දෙනාම පාකිස්ථානයේ දෘශ්‍ය ප‍්‍රසිද්ධ අවකාශය ඔස්සේ සවාරියකට කැ`දවා ගෙන ගියේය. එහිදී චිත‍්‍ර ශිල්පිනී නාසියා ඛාන්, හෙනා සායම් යොදා ගනිමින් නග්න හා අර්ධ නග්න ස්තී‍්‍ර රූප කරච්චි නගරයේ නොයෙකුත් අහු මුළුවල සිතුවම් කළ ආකාරයත් තැපැල් පත් සහ පෝස්ටර් සඳහා ඉරාක ඒකාධිපති සදාම් හුසෙයින්ගේ රුව රැුගත් ජනප‍්‍රිය ආගමික චිත‍්‍ර පෙළක් පිළිබඳවත් අප අවධානයට යොමු කළා. දේශනය කෙතරම් රුචිකර වුවද ඊට ඇහුම්කම් දුන් බොහෝ සමාජවිද්‍යාඥයන්ට යම් සංකාවක් ඇතිවූයේ ඇතැම් ප‍්‍රශ්න ගවේෂණය නොකළ නිසාත් ඇතැම් සංකල්ප, සිද්ධි හා කරුණු නිසි ඥාන විභාගයකට භාජනය නොකළ බවට අපට සිතුනු නිසාත්ය. උදාහරණයක් ලෙස ශිල්පිනී නාසියා ඛාන් තම කලාගාරයේ සුවය හා ආරක්ෂාව හැරදමා කලා කටයුතුවල නිරතවන්නට කරච්චියේ භයානක වීදීවලට අවතීර්ණ වූයේ ඇයි? මීට වසර කිහිපයකට පෙරවන විටත් පාකිස්ථානයේ එතරම් ප‍්‍රසිද්ධියක් ලබා නොතිබූ සදාම් හුසෙයින්ගේ රුව ජනපි‍්‍රය චිත‍්‍ර ප‍්‍රවාහයක අඩංගු ආගමික රුවක් ලෙස මතු වූයේ කෙසේද? අපි හොඳින් දන්නා පරිදි ඉරාකයේ බාත් පක්ෂයේ ප‍්‍රභල සමාජිකයෙකු ලෙස ඔහු ආගම් භක්තිකයෙකු නොවීය. එමෙන්ම ‘ජන’ (folk) හා ‘සම්ප‍්‍රදාය’ (tradition) වැනි සංකල්ප දේශනය තූළ භාවිත වූයේ අවශ්‍ය තරමේ සංකල්පගත කිරීමකින් තොරවය. මාහාචාර්ය දාදි ඒවා යොදා ගත්තේ ඒවා කිසිමාකරයකින් විවාදපන්න නොවේය යන විශ්වාසයේ පිහිටාය. එනම් අපට පසක් වූයේ ඒවායේ අරුත් සදාතනිකව වෙනස් නොවේය යන මතය ඔහු සරණ ගොස් සිටි බවය.
Photography courtesy of Vajira Jayatilake

කෙසේ වෙතත් මේ සීමා අප මොහොතකට අමතක කළහොත් එතුමාගේ ආඛ්‍යානය ඉතා සුමටව ගලාගිය බව පැහැදිලිය. එනමුත් ඊට සහභාගී වූ සමාජ විද්‍යාඥයන්ගේ මතය වූයේ එම ආඛ්‍යානය වඩා පරිපූර්ණව ඉදිරිපත් කිරීමට හැකියාව පැවති බවයි. එසේ කිරීමට නම්, ඉහත මතු කළ ගැටලූ ආමන්ත‍්‍රණය කිරීම අවශ්‍ය විය. මේ එකිනෙකට වෙනස් පර්යාවලෝක දෙකට හේතු වූයේ ඊට පදනම සැපයූ ප‍්‍රවේශ අතර පැවති වෙනසයි. මහාචාර්ය දාදි නියෝජනය කළ ප‍්‍රධාන ධාරාවේ කලා ඉතිහාසය වඩාත් අවධාරණය කෙළේ කලා කෘතිවලට මිස එය සම්පාදනය කළ පුළුල් සමාජ සන්දර්භයට නොවේ. මීට සාපේක්ෂව, මා ද ඇතුළුව එහි සිටි සමාජ විද්‍යාඥයන් අවධාරණය කෙළේ ඉහත පර්යාවලෝකයෙන් ගිලිහී ගිය පුළුල් සමාජ දේශපාලන අවකාශය මිස හුදෙක් කලා කෘතිය පමණක් නොවේ. අවම වශයෙන් මේ සිද්ධියේදී පෙනී ගියේ මේ පර්යාවලෝක දෙක එක් කිරීමට ඒවාට ජවය සැපයූ විධික‍්‍රමික සහ න්‍යායික ප‍්‍රවේශවලට නොහැකි වූ බවයි.


මා යෝජනා කරනුයේ කලාව පිළිබඳ සමාජවිද්‍යාව මුල් බැස ගත යුත්තේ මේ සන්හිඳියාවක් නොමැති අවකාශය තුළ බවය. සමාජවිද්‍යාවට කලාව ගවේෂණය කළ හැකි වනුයේ ඒ අවකාශයේ සිටය. මා මෙය දකිනුයේ කලා ඉතිහාසය ඉවත දැමීමක් ලෙස නොවේ. එය හුදෙක් කලාව පිළිබඳ වඩා පුළුල් සන්දර්භගත කිරීමක් සහ පාඨනයක් සඳහා සමාජවිද්‍යාවේ විධික‍්‍රම හා න්‍යායික ප‍්‍රවේශ භාවිතයට ගැනීමක් පමණි.


3) තුන්වන කරුණ: 

2013 වසරේදී මාගේ වෘත්තීය මිතුරියක් වන මහාචාර්ය රොමා චැටර්ජිගේ විශිෂ්ට මෑතකාලීන කෘතිය වන Speaking with Pictures: Folk Art and the Narrative Tradition in India (2012)  (පින්තූර හරහා කතා කිරීම: ජන කලාව සහ ඉන්දීයාවේ ආඛ්‍යානමය සම්ප‍්‍රදාය) යන කෘතියේ පිටපතක් ඇය මා අතට පත් කළාය. ඒ අවස්ථාවේ දී මා ඇයගෙන් ඇසුවේ කලාව පිළිබඳව සමාජ විද්‍යාඳයන් අඩු උනන්දුවක් දක්වනුයේ ඇයි ද කියායි. නොඑසේ නම්, මා ඇයගෙන් ඇසුවේ මේ තත්ත්වය මා මනස තුළ ඇතිවූ මනෝ විකාරයක් ද කියාය. මෙවැනි ප‍්‍රශ්නයක් යොමු කිරීමට වාඩාත් සුදුසු පුද්ගලයා ලෙස මා සලකනුයේ මහාචාර්ය චැටර්ජිය. එනම්, කලාව පිළිබඳව දීර්ඝකාලීන බුද්ධිමය උනන්දුවක් දක්වා ඇති ඉන්දීය සමාජවිද්‍යාඥයන් දෙදෙනාගෙන් ඇය එක් අයෙකු නිසාය. අනෙකා නම් මයිතිල් චිත‍්‍ර සම්ප‍්‍රදාය පිළිබඳව දීර්ඝ ලෙස ලියා ඇති ආචාර්ය මනි ශේඛාර් සිංග්ය.(5)   මා දන්නා පරිදි දකුණු ආසියානු කලාපයේම මෙවැනි උනන්දුවක් දක්වා ඇති සමාජ විද්‍යාඥයන් අතර මේ දෙදෙනා ඉහළින්ම සිටී. මහාචාර්ය චැටර්ජි ද පැවසුවේ දකුණු ආසියාවේ මෙන්ම ඉන් පරිබාහිරව ද සමාජ විද්‍යාඥයන් තත්කාලීන කලාව පිළිබඳ උනන්දුවක් දක්වා නොමැති බවත් ඊට හේතුව තමන්ට එතරම් පැහැදිලි නොවන බවත්ය. ඈ මට කියා සිටියේ මෙය ගවේෂණය කිරීමට වටිනා ගැටලූවක් බවයි. අවම වශයෙන් මෙය මාගේ සිතේ ජනිත වූ මනෝවිකාරයත් නොවූ බව පැහැදිලි වූයේය.

සමාජවිද්‍යාව කලාව පිළිබඳ ඇති ඌනිත බුද්ධිමය උනන්දුව
 
එසේනම් සමාජවිද්‍යාව කලාව පිළිබඳ උනන්දුවක් නොදැක්වීමට හේතු සෙවීමත් මේ පිළිබඳ පර්යේෂණ උනන්දුවක් ඇති කිරීමට යෝජනා මා ඉදිරිපත් කරනුයේත් මේ සිද්ධි තුන විවර කළ මාර්ගය හරහාය. මට පෙනෙන ආකාරයට සමාජවිද්‍යාව කලාව පිළිබඳව දක්වන අඩු බුද්ධිමය උනන්දුව එකිනෙක හා අන්තර් සම්බන්ධිත කාරණා කිහිපයක් හා බැ`දී පවතියි. සමාජවිද්‍යාව අන් සියලූම සමාජීය විද්‍යාවන් මෙන්ම එහි ප‍්‍රභවයේ සිටම ලේඛනය හා භාෂණය සමඟ ප‍්‍රභලව බැදී පවතියි. මේ තත්ත්වය එහි ප‍්‍රධාන ශිල්ප ක‍්‍රම වන ක්ෂේත‍්‍ර අධ්‍යයන, ප‍්‍රත්‍යෙක අධ්‍යයන, සම්මුඛ සාකච්ඡුා වැනි ක‍්‍රමවල ඥානවිභාගීය නැඹුරුවෙන්ම පෙන්නුම් කරයි. එනම් ඒවාට කේන්ද්‍රය වනුයේ වචනය හා එහි විස්තීරණයි. මට පෙනෙනන ආකාරයට වචනයේ අණසකට ප‍්‍රතිවිරුද්ධව යන දෘශ්‍යත්වය (visuality) සමඟ බුද්ධිමය වශයෙන් ගනුදෙනු කිරීමට සමාජවිද්‍යාවට හැකිවී නොමැත. දෘශ්‍යත්වයෙන් සමාජවිද්‍යාව කළබලයට සහ බියට පත් වී එය තම විෂය පථයෙන් ඈතට නෙරපා දමා ඇති තත්වයක් පෙනේ. එනම්, දෘශ්‍යත්වය යනු සම්මුඛ සාකච්ඡුාවට නතු කරගත නොහැකි සහ ප‍්‍රත්‍යෙක අධ්‍යනයකට ගොනු කර ගත නොහැකි ප‍්‍රපංචයකි. මේ සන්දර්භය අපට වඩාත් තේරුම්ගත හැකි වන්නේ සමාජ විද්‍යාව දෘශ්‍යත්වයේ අන් ආකාරයක් වන ඡුායාරූප ශිල්පය තම විෂයේ ප‍්‍රධාන ධාරාවෙන් ඔබ්බට පන්නා දමා ඇති ආකාරය සිහි ගන්වා ගැනීමේදීයි. එනම් ඡුායාරූප පිළිබඳ සමාජ විද්‍යාත්මක පර්යේෂණ අද දින සිදු වනුයේ ප‍්‍රධාන ධාරාවේ සමාජවිද්‍යාවට වඩා ‘දෘශ්‍ය සමාජවිද්‍යාව’ හා  ‘දෘශ්‍ය මානව විද්‍යාව’ යන අනු විෂය තුළය. මෙයින් පිළිබිඹු වනුයේ දෘශ්‍යත්වය පිළිබඳව සමාජ විද්‍යාවේ පවතින අනියත බියයි. මීට අමතරව මේ තත්ත්වයට දකුණු ආසියානු කලාපය තුළ සමාජවිද්‍යාව වසා ගෙන පැතිර ගොස් ඇති අතිශය සාම්ප‍්‍රදායික්ත්වයත් දැඩි බලපෑමක් එල්ල කරයි. සමාජවිද්‍යාවේ න්‍යායික හා පර්යේෂණ ප‍්‍රවේශ දකුණු ආසියාව තුළ සමස්තයක් ලෙස ගත් කළ වර්ධනය වී ඇත්තේ ඉතා අවම වශයෙනි. මේ තත්ත්වය තුළ දෘශ්‍ය කලාව ද ඇතුළුව දෘශ්‍යත්වය යන අදහස එයට හසුවී නොමැති තරම්ය. මා මේ කෙටියෙන් විස්තර කෙළේ සමාජවිද්‍යාව කලාව සම්බන්ධයෙන් දක්වා ඇති අඩු උනන්දුවට හේතූන්ය. නමුත් මෙම තත්ත්වය වඩා හොඳින් තේරුම් ගැනීමට පුළුල් ගවේෂණයක් අවශ්‍යය. කෙසේ වුවද සමාජ විද්‍යාවේ අතිශය පුළුල් විෂය ක්ෂේත‍්‍රය මෙන්ම එහි න්‍යායික සහ විධික‍්‍රමික ප‍්‍රවේශ ද කලාව සහ දෘශ්‍යත්වය බුද්ධි ගවේෂණයකට නතු කර ගැනීමට බෙහෙවින් සුදුසු යැයි මම තරයේම විශ්වාස කරමි. මෙහිදී මා කලාව නැතිනම් දෘශ්‍ය සංස්කෘතිය වශයෙන් අදහස් කරනුයේ හුදු කලා කෘතියක් පමණක් නොව එහි අනේක විධ සමාජ සහ දේශපාලනික සන්දර්භයන් ද ඇතුළුවයි.
 
කලාව, එහි මායිම්වල තත්කාලීන විපරිවර්තන හා සමාජවිද්‍යාව
 
කලාව සමාජවිද්‍යාවේ බුද්ධි ග‍්‍රහණයට නතු කර ගැනීම පිළිබඳව කතා කිරීමේදී පැවසිය යුතු තවත් කාරණාවක් තිබේ. අද වන විට තත්කාලීන කලාවේ මායිම් කේන්ද්‍රීය වශයෙන් විපරිවර්තනයකට පත් වී ඇත. කලාව තුළ මෙවැනි විපරිවර්තනයක් ඇති වී තිබෙනුයේ කලා භාවිත එක් අතකින් පූර්ව නූතන හා නූතන කලා භාවිතයන්ගෙන් බොහෝ ඔබ්බට ගමන් කිරීම නිසායි. මෙහිදී තත්කාලීන දකුණු ආසියානු කලාව සුපැහැදිලිවම පශ්චාත් නූතන අවධියක සිටීයිද නැද්ද යන්න මට එතරම් ප‍්‍රශ්නයක් නොවේ. එය විශ්ලේෂණීයව වැදගත් කරුණක් නොවන්නේ අප මැනවින් දන්නා පරිදි ඇතැම් තත්කාලීන කලා ප‍්‍රවණතකා පූර්ව නූතන කොන්දේසි මත පදනම් වී ඇති අයුරින්ම (පන්සල් බිතු සිතුවම් චිත‍්‍ර ආදිය) අන් චිත‍්‍ර සහ කලා ප‍්‍රවණතා එසේ පදනම් වී නොතිබීම නිසාය. අනෙක් අතට බොහෝ තත්කාලීන කලා ප‍්‍රවණතා පූර්ව නූතන ශෛලී ගුරුකර ගත්ත ද වඩාත් තත්කාලීන තේමා සහ අමුද්‍රව්‍ය යොදා ගනිමින් නිපැදි බව ද පැහැදිලිය. තවද මේ සන්දර්භය තුළම චිත‍්‍ර කලාව අදවන විට මූර්තිවල මෙන්ම රංගන ශිල්පයේ ප‍්‍රවණතාත් උකහා ගෙන තිබෙන බවද පැහැදිලිය. ස්ථාපන සහ අභිවාහ්‍ය කලා එක් අතකින් බිහිවී ඇත්තේ මේ සම්මිශ‍්‍රණයත් සමඟය. මේ සන්දර්හය තුළ මතක තබා ගත යුත්තේ කලා භාවිත සහ ප‍්‍රයෝජනයට ගන්නා අමුද්‍රව්‍ය වෙනස් වීමත් සමඟම තත්කාලීන කලාවේ ඇතැම් ප‍්‍රවණතා ‘‘දෛනිකත්වය’’ (everyday) වැනි සංකල්ප හා එහි යථාර්ථය තුළට සංක‍්‍රමණය වී ඇති බවය. දෛනිකත්වය යන සංකල්පය වඩා පැහැදිලිව මෙතෙක් කල් පදිංචි වී තිබුණේ කලාව සහ කලා ඉතිහාසයට වඩා සමාජවිද්‍යාව සහ සංස්කෘතික අධ්‍යයනය යන ක්ෂේත‍්‍ර තුළය. නීකෝස් පපස්ටගියාඩිස් පහත සඳහන් ප‍්‍රකාශය කර ඇත්තේ මෙවැනි සන්දර්භයක් තුළය: ‘‘තත්කාලීන කලා අවකාශය යනු හුදෙක් අනේක සංස්කෘතික සංකේත කරපින්නා ගත් පුද්ගලයන් එහා මෙහා සැරිසරන තැනක් පමණක්ම නොවේ. එය ප්‍රේක්ෂකයින්ට ලෝකය දැකීමට හැකි අනන්ත වූ පර්යාවලෝක පිළිගැනීමට බලකරන තැනක් බවට පත්ව තිබේ’’ (2006: 14). වඩාත් පැහැදිළිව මහාචාර්ය පපස්ටගියාඩිස් පවසනුයේ: ‘‘කලාව කලාගාරවලින් ඔබ්බේ පිහිටි දෛනිකත්වයේ සාමාන්‍ය තැන්වල ප‍්‍රදර්ශනය කරනවිට සහ එම කලා කෘති සාමාන්‍යයෙන් කලා අමුද්‍රව්‍ය ලෙස පිළිගන්නේ නැති දෛනික ජීවිතයේ නෂ්ටාවශේෂවලින් නිපදවී ඇති විට, එවන් කලාවක සෞන්දර්යාත්මක අගය සහ සමාජ අර්ථය තේරුම් ගැනීමට නව මෙවලම් ගොඩනගා ගැනීමේ අවශ්‍යතාවක් ඇති වී තිබෙන’’ බවයි (2006: 16). සැබැවින්ම මානව සබඳතා සහ සංස්කෘතියේ ගතිකත්ව පිළිබඳව ගනුදෙනු කරන සුවිශේෂී කතිකාමය භාවිතයක් වශයෙන් සමාජවිද්‍යාවේ ප‍්‍රයෝජනය මතු වනුයේ මෙවැනි කලා කෘතිවල සමාජ අර්ථය තේරුම් ගැනීම සහ ඒවා ඊට අදාළ පුළුල් නිෂ්පාදන සන්දර්භය තුළ ස්ථානගත කිරීමේදීය. තවද කලාවේ සමාජ සන්දර්භය පිළිබඳ මුල් යුගයේදී මතු වූ සාකච්ඡුා මූලික වශනේ හේතුඵලවාදයේ (causality) පටු වාස්තවික ආකෘති තුළ අඩස්සි ගත කර තිබූ බව ද පපස්ටගියාඩිස් පවසයි (2006: 16).
 
තවද යමෙක් කල්පනා කළ බැලිය යුත්තේ කලා කෘතියක් කියවා එයින් මතුවන ආඛ්‍යාන ඉදිරිපත් කළහැකි එකම ආඛ්‍යානමය භාවිතය, කලා ඉතිහාසම පමණක් ද යන්නය. ප‍්‍රධාන ප‍්‍රවාහයේ ඉතිහාසය මෙන්ම කලා ඉතිහාසය ද වර්තමානය හෝ තත්කාලය පිළිබඳව ගනුදෙනු කිරීමේදී ආභ්‍යන්තරික සහ සංස්්ථාගත සාංකාවකින් පෙළෙන බව අප මතක තබා ගත යුතුය (2006: 16). එනම්  ඕනෑම දෙයක් ඉතිහාසයට නතු කර ගැනීම සඳහා එය ප‍්‍රථමයෙන් වර්තමානයෙන් නික්ම ගොස් අතීතයේ ලැගුම් ගත යුතුය. තවද අපට පෙනී යන්නේ කලා ඉතිහාසය ගැඹුරු මට්ටමකින් කලා නිෂ්පාදනයේ භෞතික සන්දර්භවලට ඇතුල් වීමට එතරම් කැමැත්තක් දක්වා නැති බවයි (2006: 16). කලා ඉතිහාසයේ මෙම සංස්ථාගත සාංකාව කලා කෘතියක් නියෝජනය කිරීමට උත්සාහ දරන සමස්ත ආඛ්‍යානයම අස්ථාවර කර එහි සමාජ අර්ථය යම් ආකාරයටකට නිෂේධනය කරන බව පැහැදිලිය. ජැනට් වුල්ෆ් කලා ඉතිහාසය විවේචනය කළේ මේ සන්දර්භය තුළ සිටය. ඇයට අනුව ‘‘කලා ඉතිහාසය විසින් සන්දර්භය ව්‍යුක්ත කර කලා කි‍්‍රයාවලිය ගුප්තකරණයකට  (mystify) ලක් කරයි’’ (පපස්ටගියාඩිස් 2006: 16). මෙකී සන්දර්භය තුළ සමාජවිද්‍යාවේ සැබෑ භූමිකාව වන්නේ ගුප්තකරණයට ලක්වන කලා කි‍්‍රයාවලිය මෙන්ම ව්‍යුක්තත්වයට පත්වන එහි සන්දර්භය විවරකර කියවීමයිි. 
 
ඉතාමත් දුලබ අවස්ථා කිහිපයකදී කලා ඉතිහාසඥයන් කලාව පිළිබඳව ලිවීමේදී සමාජවිද්‍යාත්මක පර්යාවලෝකයක් අවශ්‍ය යැයි පිළිගෙන ඇත (2006: 16). එනමුදු එම අවශ්‍යතාව පිළිගෙන ඇත්තේ හුදෙක් කලා නිෂ්පාදනයට බලපාන ඝෘජු සමාජ සහ දේශපාලන බලපෑම් ගණනය කිරීම සඳහාය (පපස්ටගියාඩිස් 2006: 16). මෙවැනි සරල තාක්ෂණික ප‍්‍රයෝජනයකට වඩා සමාජවිද්‍යා භාවිතයේ ඇති වඩාත් සූක්ෂ්ම ප‍්‍රයෝජන ඔවුන්ගේ ග‍්‍රහණයට හසු වී නොමැත.
 
සමාජවිද්‍යාවේ කලා ගවේෂණ හැකියාව පිළිබඳ උදාහරණ දෙකක් 
 
දැන් මට අවශ්‍ය කලාව පිළිබඳ අවධානය යොමු කිරීමෙන් කලා කෘති පිළිබඳව මෙන්ම ඒවා නිෂ්පාදනය කළ සමාජය සහ යුගය පිළිබඳව ද කල්පනා කළ හැකි සමාජවිද්‍යාත්මක ගවේෂණ සඳහා පැහැදිලි උදාහරණ දෙකක් ඔබ වෙත ඉදිරිපත් කිරීමටයි. මා ඉදිරිපත් කරන මුල්ම උදාහරණය මීට පෙරද මා කෙටියෙන් සඳහන් කළ මහාචාර්ය රොමා චැටර්ජිගේ  Speaking with Pictures: Folk Art and the Narrative Tradition in India  (2012)(6) යන කෘතියයි. එය ජන කලාවෙන් මතුවන දෘශ්‍ය ආඛ්‍යාන පිළිබඳ ලියැවුණු කේන්ද්‍රීය ග‍්‍රන්ථයකි. ඇය ජන කලාව නූතනත්වය සමඟ ඇති සම්බන්ධතාව මනාව තේරුම් ගනිමින් මේ කෘතිය සම්පාදනය කර ඇත. එනම් යමක් ‘ජන’ නැතිනම් ‘සම්ප‍්‍රදාය’ සහ ‘අතීතය’ සමඟ බැදුනු පමණින් එය නූතනත්වයෙන් අනිවාර්යයෙන්ම ඈත්විය යුතු නැති බවය. මේ කර්තවය්‍යයේදී ඇය අදාළ චිත‍්‍රවල රූපමය ආකෘති පිළිබඳව මෙන්ම ඒවා තුළ මිථ්‍යාමතික අදහස් ගැබ්ව ඇති ආකාරය ද ගවේෂණය කරයි. එමෙන්ම ඇය ජන කලාව සාකච්ඡුාවට භාජනය කරනුයේ තත්කාලීන භාවිතයක් ලෙසින් මිස සදාතනිකවම අතීතයේ ලැගුම්ගත් දෙයක් ලෙස නොවේ. තවද එය සංකීර්ණ දෘශ්‍ය සංස්කෘතියක කොටසක් ලෙස සලකන ඇය පවසනුයේ එහි අඩංගු සම්ප‍්‍රදාය පිළිබඳ සාරය හරවත් වී ඇත්තේ එයට නව ආකෘති සහ මාධ්‍ය සමග ගනුදෙනු කිරීමට ඇති හැකියාව නිසා බවයි. කෘතිය පුරාම ඇය යම් තේමාවක් තෝරා ගෙන එය පරිස්ථානීය සහ ගෝලීය අන්ත අතර කි‍්‍රයාත්මක වන ආකාරය පිළිබඳව පරීක්ෂා කරන්නීය. එමගින් ජන කලාකරුවා අකාලික (timeless) සම්ප‍්‍රදායක උරුමකරුවන්ය යන අදහස ගැටලූ විශ්වයකට භාජනයකරයි. මේ අනුව බටහිර බෙංගාලයේ පටුවා සිත්තරුන්ගේ සහ මධ්‍ය ප‍්‍රදේශ්හි ගොන්ඞ් සිත්තරුන්ගේ චිත‍්‍ර සම්ප‍්‍රදායන් ඉතාමත් සමීපව හදාරණ ඇය එමගින් ඇති වී ඇති නව්‍යකරණ පිළිබඳ මානවවිද්‍යාත්මක විස්තරයක් ඉදිරිපත් කරන්නීය.

ඇයගේ උනන්දුව ඊනියා ‘ජන’ කලාව පිළිබඳව නිසා එය හුදෙක් මානවවිද්‍යාවේ සම්ප‍්‍රදායික උනන්
දුන්ගේන් එකක් යැයි යමෙකුට තර්ක කළ හැකිය. එනමුත් ඇයගේ ගවේෂණයට පාත‍්‍ර වූ චිත‍්‍ර සාම්ප‍්‍රදායික ශෛලියක් අනුගමනය කළද විටෙක අල් කයිඩා සංවිධානය නිව්යෝක් නගරයට එල්ල කළ ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳවද තවත් විටෙක සම්ප‍්‍රදායික සංකේත හා සම්බන්ධ නැති නව සංකේත හා නව්‍යකරණයන් ද චිත‍්‍රණය වී ඇත. මේ අනුව ශෛලීමය අතින් සම්ප‍්‍රදාය ගුරුකර ගත්ත ද මේ ඇතැම් චිත‍්‍ර වඩාත් මැනවින් තේරුම් ගත හැක්කේ ඒවා නිෂ්පාදිත යුගය හා පුළුල් සමාජ සන්දර්භය තේරුම් ගැනීමෙන් පමණි. මේ තත්ත්වයම චිත‍්‍ර සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය සම්බන්ධයෙන් ද බලපාන බව පෙනේ. මෙවන් පුළුල් විශ්ලේෂණයකට යා හැක්කේ සමාජවිද්‍යා පර්යාවලෝකයක් තුළින් බවය මාගේ විශ්වාසය.
 
මා ඉදිරිපත් කරන දෙවන උදාහරණය ශී‍්‍ර ලංකාවේ, ඉන්දියාවේ හා පාකිස්ථානයේ කි‍්‍රයාත්මක වූ කලා ව්‍යාපෘති දෙකකි.  මින් පළමු ව්‍යාපෘතිය නම් ආර්-පාර් ව්‍යාපෘතියයි.(7) ඉන්දියාවේ රාජ්‍ය බස වන හින්දියෙන් හා පාකිස්ථානයේ ප‍්‍රධාන බසක් වන උර්දු බසින් මෙහි අර්ථය වූයේ ‘මේ පැත්ත, ඔය පැත්ත යන්නයි.’ ඒ භාෂා දෙකෙන්ම මින් අර්ථවත් වන දෙවන අරුත වූයේ ‘ද්වන්ධ යුද්ධය’ යන්නයි. මෙමගින් ඉන්දියාව හා පාකිස්ථානය අතර අතිශයින් ගැටලූකාරී දේශපාලන වාතාවරණයක් ඇති වී තිබෙන අවස්ථාවක ප‍්‍රසිද්ධ අවකාශයේ දිග හැරුණු කලා ව්‍යාපෘතියක් මගින් මේ දෙරට අතර ඇති මිලිටරිකරණයට භාජනය වුණු ජාතික දේශ සීමා සවිඥානිකව අභියෝගයට ලක් කෙරිනි. එකල පැවැති උද්වේගකාරී දේශපාලන වාතාවරණය එසේම තිබියදී මේ ව්‍යාපෘතිය කලාව සහ තාකත්ෂණය හරහා ඉන්දියාවේ මුම්බායි හා පාකිස්ථානයේ කරච්චි යන නගරවල ප‍්‍රසිද්ධ අවකාශයට සෞන්දර්යාත්මකව කඩා වැදිනි. මෙහි සම්බන්ධීකාරකවරියන් වූයේ කරච්චියේ හුමා මුජි සහ මුම්බායේ ශිල්පා ගුප්තා වන දෙදෙනාය. ඒ දෙදෙනාම ප‍්‍රථමයෙන්ම මුණ ගැසුනේ 1999 දී නව දිල්ලයේ පැවැති කලා හමුවකදීය. ව්‍යාපෘතිය මගින් සිදු වූයේ දැඩි හමුදා රැුකවල් මැද තිබූ ජාතික දේශ සීමා හරහා කලාකරුවන් අතර සංවාදයක් ගොඩ නැගීමයි. ඒ මුම්බායි සහ කරච්චි යන දෙනුවර අතරය. එය 2000 වසරේදී මුලින්ම දියත් කළ අතර එහි දිගුව කෙළවර වනුයේ 2002 වසරේදීය. එය පාකිස්ථානය සහ ඉන්දියාව අතර 1999දී ඇවිලී ගිය කාර්ගිල් යුද්ධය සහ 2002දී ගුජරාට් ප‍්‍රාන්තයේ හටගත් මුස්ලිම් විරෝධී ප‍්‍රචණ්ඩත්වය යන සිද්ධි දෙකෙහි පසුබිම තුළ ගොඩ නංවන ලදී. නගර දෙකෙහි ශිල්පීන් ඩිජිටල් තාක්ෂණයෙන් සම්පාදනය කළ ඡුායාරූප හා ගැෆි‍්‍රක් කලා කෘති විද්‍යුත් තැපෑල හරහා එකිනෙකා වෙත යවන ලදී. ඒ කෘති ‘සාමය සහ තේරුම් ගැනීම සොයා ගනිමු’ (In Search of Peace and Understanding) යන තේමාව මත පදනම් ව තිබිණි. පසුව ඒ කෘති මිල අවම තාක්ෂණයක් වූ  ඕෆ් සෙට් මුද්‍රණ තාක්ෂණය යටතේ මහාපරිමාණයෙන් මුද්‍රණය වීය. ඒවා පසුව වීදිවල, වෙළඳ ආයතන අසල, චිත‍්‍රපට හා දේශපාලන පෝස්ටර් ප‍්‍රදර්ශනය වූ තැන් ආදී නාගරික අහුමුළුවල ප‍්‍රදර්ශනය වීය. මේවායේ පිටපත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සහ අත් පති‍්‍රකා මගින් ද බෙදා හැරිණ. මේ අයුරින් කලා කෘති 21 ක අනුරූප මුද්‍රණය කර බෙදා හරින ලදී. 

මා උදාහරණ වශයෙන් දක්වන දෙවන ව්‍යාපෘතිය කොළඹ තීර්ථ කලාකරුවන්ගේ සංවිධානය සහ යාපනයේ කලා ශිල්පීන් කිහිිප දෙනෙකු සංවිධානය කළ අහම්-පුරම් ප‍්‍රදර්ශනයයි. එය 2004 දී ප‍්‍රදර්ශනය කෙළේ සිංහළ දේශපාලනික පෝරිසාදයන් විසින් 1981 දී ගිනිතබා විනාශයට පත් කර, පසුව ප‍්‍රතිසංස්කරණය කළමුත් පතපොතින් හිස් වූ, සුසුමින් හා සාංකාවෙන් පිරී තිබුනු යාපනයේ මහජන පුස්තකාලයේදීය. දෙමළ බසින් අහම්-පුරම් යන්නේ අදහස අභ්‍යන්තරිකයා සහ පිටස්තරයා යන්නය. එය දෙවන සියවසේ සංගම් සාහිත්‍යයෙන් උකහා ගත් සංකල්පයකි. ආර්-පාර් ප‍්‍රදර්ශනයේ මෙන් අහම්-පුරම් හි ඉදිරිපත් වුනු කලාකෘති ජාතික දේශසීමා ඩිජිටල් ස්වරූපයෙන් තරණය කෙළේ නැත. එහිදී සැබෑ කලාකෘති ජනවාර්ගික වශයෙන් සලකුනු වී තිබුණ සහ මිලිටරිකරණයට නතු වූ ආභ්‍යන්තරික ප‍්‍රදේශ සීමා තරණය කෙළේය. ඒවා දේශීය සීමා වුවද ජාත්‍යන්තර දේශ සීමාවක ස්වරූපය එකල ඉසිලීය. ප‍්‍රදර්ශනයට ඇතුලත් වූයේ මූලික වශයෙන් දකුණේ සිංහල ශිල්පීන් නිර්මාණය කරන ලද ප‍්‍රචණ්ඩත්වය, ජනවාර්ගිකත්වය, දේශපාලනය, විනාසය සහ සංාකාව ආදී තේමා මුල්කරගත් කෘති වීය.  මෙමගින් දකුණේ ප‍්‍රචණ්ඩත්වය සහ එහි ආදීනව පිළිබඳව සහ ඒවා උතුරුකරයේ තත්ත්වය සමග ඇති අනූභූතික සමානතා පිළිබඳ සම්භාෂණයක් ඉදිරිපත් කිරීමට හැකියාව ලැබිණ. එනම්, ප‍්‍රචණ්ඩත්වය නමැති අනුභූතියට භුගෝලීය හා ජනවාර්ගික සීමා තරණය කළ හැකිවීය. තවද ප‍්‍රද්ර්ශනයට ඇතුලත් වූ කෘති බොහෝමයක් සම්පාදනය වී තිබුණු සාම්ප‍්‍රදායික නොවන මාධ්‍ය ගත් විට එමගින් යාපනයේ යුද තත්ත්වය නිසා අව-වර්ධිත අවස්ථාවක තිබුනු තත්කාලීන කලාව විධික‍්‍රමික සහ මාධ්‍යමය අතින් යම් අභියෝගයකට ලක් වීය. එනම් කලා කෘති නිෂ්පාදනය කළ හැකි නව මංමාවත් උතුරේ ශිල්පීන්ට පෙනෙන්නට වීය. දකුණේ ශීල්පීන්ගේ කෘති 72 ක් මීට ඇතුලත් වීය. ඒ සියලූම කෘති සිවිල් යුද්ධය පවතින අතර යුධ විරාමයෙන් ලත් යම් නිදහසක් නිසා ශී‍්‍ර ලංකා යුධ හමුදාවේ සහ එල්.ටී.ටී.ඊ යුධ බාධක හරහා ප‍්‍රවාහනය කළ යුතු විය. තවද අප මතක තබා ගත යුත්තේ යුද වැදුණු බොහෝ සොල්දාදුවන්ට සහ එල්.ටී.ටී.ඊ කි‍්‍රයාකාරීන්ට මේවා කලා කෘති ලෙස නොපෙනුන නිසාම ප‍්‍රවාහන කාර්යේදී මුර පොළවළවල දී අනේක බාධා මතු වූ බවය. මේ සියල්ල සිදුවූයේ යුද්ධය නිමාවන්නට වසර පහකට පෙරාතුවයි. 
 
සමාජවිද්‍යාත්මක පර්යාවලෝකයකින් බලන්නේ නම් මේ උදාහරණ දෙක අපට කියා දෙනුයේ කුමක්ද?(8) උදාහරණ දෙකේදීම මිලිටරිකරණයට නතු වූ භූගෝලීය සීමා තාක්ෂණිකව සහ භෞතිකව අතික‍්‍රමණය කිරීම මගිින් සංස්කෘතිකාංග සහ අදහස්වලට මේ සීමා තරණය කර ගලා යන්නට අවකාශ ලැබිණි. එසේ කිරීමේදී රාජ්‍ය ව්‍යුහයන් මත යැපීමක් හෝ ඒවායේ මග පෙන්වීමක් බලාපොරොත්තු නොවීය. ව්‍යාපෘති දෙකම කි‍්‍රයාත්මත වූයේ රාජ්‍ය හා අන් ජාතිකවාදී කණ්ඩායම් ගොඩනගා තිබූ අනේකවිධ බාධා සහ සීමා අතික‍්‍රමණය කිරීම තුළිනි.
 
මා මෙහිදී ඉදිරිපත් කරන්නේ කලාකරුවන්ට දේශපාලන යථාර්ථ විපරිවර්තනයට ලක් කිරීමේ අසීමිත බලයක් තිබේය යන අති සරල අදහස නොවේ. ජනප‍්‍රිය මට්ටමේ මෙන්ම දේශපාලනිකව තීව‍්‍ර කෘති සම්පාදනය කරන ලොව බොහෝ කලාකරුවන් ද එවන් අදහස් දරන බව අප දන්නා කරුණකි. මෙහිදී මා එකඟ වන්නේ මසහිරෝ උශිරොශෝජිගේ අදහස් සමගය. ඔහු පවසන්නේ හුදෙක් කලාවට පමණක් අන් සංස්කෘතීන් පිළිබඳ සංවේදී බවක් හෝ එයට සමාජ හෝ පුද්ගලයන් අතර ඇතිවී ඇති ඝට්ටන සමථයකට පත් කිරීම හෝ කළ නොහැකි බවත් එය අති සරල සාමාන්‍යකරණයක් පමණක් බවත්ය (ටර්නර් 2005: 5). ප්රෙසියෝසි  හා ෆරාගෝ (2012) පවසන්නේද කලාකරුවාගේ බලය පිළිබඳ අදහස නැවත විභාග කළ යුතු බවයි. ඔවුන් තවදුරටත් පවසන්නේ ‘‘කලාකරුවෙකු සතු කාරකත්වය (agency) කතා කරන්නේ කවුරුන්ද, කාහටද සහ කුමන කටයුත්තක් සඳහා ද යන කරුණ මත’’ බෙහෙවින් වෙනසට භාජනය වී ඇති බවය (2012: 28). 
 
කෙසේවුවද මා තදින් විශ්වාස කරන කාරණයක් වන්නේ කලාවට මෙන්ම අන් සංස්කෘතික කි‍්‍රයාකාරකම් හා විශ්වසනීයත්වයෙන් යුතු දැනුම අප ජීවත්වන දේශපාලන අවකාශ තුළ මෙන්ම සම්භාෂණ අවකෘශ තුළත් අපගේ හෘදසාක්ෂිය තුළත් දැඩි බලපෑමක් ඇති කිරීමේ විභවය තිබෙන බවය. එනමුත් එසේ කළ හැකි වන්නේ එම කෘති ගැඹුරු චින්තනයක ප‍්‍රතිඵලයක් ලෙස සම්පාදනය කිරීමෙන් සහ ඒවා ඊට අදාළ කාලාවකාශ සන්දර්භය තුළ පැහැදිලිවම ස්ථානගත කළ හැකි නම් පමණි. මේ අනුව මා ඉහතින් ඉදිරිපත් කළ උදාහරණ දෙක ඉන්දියාවේ, පාකිස්ථානයේ හෝ ලංකාවේ පුළුල් දේශපාලනය විපර්යාසයට පත් නොකළ බව පැහැදිලිය. නමුත් එමගින් ඒ රටවල කතිකාමය අවකාශය තුළ යම් වෙනසක් කෙටි නිමේශයකට හෝ සිද්ධ කළ බව පැහැදිලිය. එමගින් අප අවට ඇති යථාර්ථය අවම වශයෙන් කෙටිකාලීනව හෝ මහා-අඛ්‍යානවලට වඩා යම්දුරට වෙනස් අයුරකින් පරිකල්පනය කර ගත් බව පෙන්නුම් කෙරිණ. 
 
සමාප්ති සටහන්
 
දැන් මාහට සාකච්ඡුා කිරීමට අවශ්‍ය අවසන් කරුණ වෙත පැමිණ සිටින්නෙමි. එනම් අපගේ සමාජයේ ශාස්තී‍්‍රය දැනුම් සම්පාදනය කරන ආයතනවලින් නිපදවෙන දැනුමේ ස්වභාවය හා අප ජීවත්වන යුගයේ හා කලාපයේ දෛනික අනුභූති සමඟ ඒ දැනුමට ඇති සම්බන්ධතාවයි. මට පෙනෙන්නේ මේ දෙක අතර බෙහෙවින් ගැටළුකාරී සම්බන්ධකමක් තිබෙන බවයි. මා මෙහිදී පවසන්නේ පරිස්ථානීය පර්යේෂණ නොමැති බව නොවේ. ඉන් අතලොස්සක් උසස් මට්ටමක පවතින බව පෙනේ. නමුත් බොහොමයක් ඔහේ ලියූ සරල විස්තර කථනවලින් ඔබ්බට නොයන බව පැහැදිලිය. නමුත් වඩාත් වැදගත් මට්ටමේ පර්යේෂණ දේශීය භාෂාවලින් අපේ කලාපයේ හෝ අපේ රටේ විසිර ගොස් ඇති බවක් නොපෙනේ. මගේ ප‍්‍රධාන ගැටලූව වන්නේ දේශීය අනුභූති මත මේ ඥාන මූලාශ‍්‍ර න්‍යායගත කර හෝ සංකල්ප ගත කර නොතිබීමයි. එසේ කරන්නේ නම්, අපට තත්කාලීන සමාජවිද්‍යාව තුළින් මෙන්ම අන් සමාජයීය විද්‍යාවන් හරහා ද අනේකවිධ සමාජ ප‍්‍රපංච නිසියාකාරව ගවේෂණය කරන්නට අවකාශ සකසා ගත හැකිය.

Photography courtesy of Vajira Jayatilake

මේ සන්දර්භය තුළ මා නිරතුරුවම කල්පනා කරන කරුණක් වී ඇත්තේ චිත‍්‍ර ශිල්පය, මූර්ති, ස්ථාපන ආදියෙන් සමන්විත දෘශ්‍ය කලාව දකුණු ආසියානු කලාපය තුළ කලා ඉතිහාසයේ විලංගුවෙන් මිදී දේශපාලන විද්‍යාව, ජාත්‍යන්තර සබඳතා, සමාජවිද්‍යාව ආදී විෂය කේෂ්ත‍්‍ර වෙත බුද්ධිමය හා ශාස්ත‍්‍රීය වශයෙන් ගමන් කරන්නේ කවදාද කියායි. මේ ගැටලූව යම්දුරකට තේරුම් ගැනීම සඳහා අපි මොහොතකට කලාව පිළිබඳ දේශපාලනය වඩාත් පුළුල් බුද්ධිමය කතිකාවක් ලෙස සලකමු. මේ අනුව අපට පිළිගත හැකි එක් කරුණක් වන්නේ කලාව හා දේශපාලනය අතර ඇති විවාදාත්මක අන්තර් සම්බන්ධතාව සැමවිටම එතරම් පැහැදිලි නැති බවය. යම් ස්ථානයක දේශපාලනිකව හෝ සමාජීයව ගැටළුකාරී වාතාවරණයක් ඇති වූ පමණින් ඒ තත්ත්වය විග‍්‍රහ කරන හෝ ඒ සමඟ දේශපාලනිකව මැදිහත් වීමක් කරන කලා ප‍්‍රවණතා බිහිවීම අනිවාර්ය නොවේ. සැබෑවටම එවැනි අවස්ථා මගින් ඇති කරන අනාරක්ෂිතභාවය නිසාම ඒ යුගවල බිහිවන කලාව දේශපාලනයෙන් විනිර්මුක්ත වූ කලාවක් විය හැකිය. එය ඉපැරණි ඉතිහාසයක මහිමය කියාපාන සහ සතා සීපාවා හා මනුෂ්‍යයා දහැමෙන් සෙමෙන් කාලය ගත කරන ආකාරය පෙන්වන සුරංගනා කතා සේ දිග හැරෙන නියෝජනාත්මක කලාවක් විය හැකියි. සූසන් ලැන්ඩව්වර් පවසන්නේ ද ‘‘සංස්කෘතික හා දේශපාලනික ගැටුම් ඇති යුගවල ඒ ගැටුම් ආමන්ත‍්‍රණය කරන කලාවක් බිහිවීම අනිවාර්ය නොවන’’ බවයි (ලැන්ඩව්වර් 2006: 1). 1960 දශකයේ දී අනේක සමාජ ගැටලූ අමෙරිකාව මත මෙන්ම ලෝකය මත ද බලපෑම් කළ යුගයේදී නිව්යොර්ක් හි පෙරටුගාමී කලාශිල්පීන් තම කෘතිවලින් දේශපාලනය නෙරපා හැර තිබුණි (ලැන්ඩව්වර් 2006: 1). වියට්නාම යුද්ධය පිළිබඳව ඔවුන් දැක්වූ නිසරු ප‍්‍රතිචාරය සූසන් සෝන්ටාග් විස්තර කෙළේ ‘‘නිහඬබව පිළිබඳ සෞන්දර්ය’’ (aesthetic of silence) වශයෙනි (ලැන්ඩව්වර් 2006: 1). මෙවන් සීමා අමෙරිකාවේ මෙන්ම නැගෙනහිර ආසියාව තුළ ද දකුණු ආසියාවේ ද අප රටේද දැක ගත හැකිය. දකුණු ආසියාවේ ප‍්‍රසිද්ධ කලා ශිල්පීන් ගණනාවකගේම කෘති ‘ජාතික විරෝධී’ ‘බටහිර-ගැති’ හා ‘ව්‍යාජ’ ලෙස ලේබල් කර ඇත්තේ කලාපයේ බොහෝ රටවල පවතින පටු ජාතිකවාදී සන්දර්භ තුළය. එසේවුවද කලාපයේ ප‍්‍රසිද්ධ ශිල්පීන් ගණනාවක්ම දැඩි විවේචනාත්මක නැඹුරුවකින් යුතු කෘති බිහිකර ඇති බවද අප අමතක නොකළ යුතුය. මේ අය අතර ඉන්දියාවේ ශීබා චාචි හා අතුල් බල්ලා, පාකිස්ථානයේ නයීසා ඛාන් හා අස්මා මුන්ද්‍රන්වාලා, බංගලිදේශයේ බෙගම් ලිපි තයෙබ්, නේපාලයේ අශ්මීනා රන්ජිත් හා සුජාන් චිත‍්‍රකාර් හා ශී‍්‍ර ලංකාවේ ජගත් වීරසිංහ, චන්ද්‍රගුප්ත තේනුවර හා ප‍්‍රදීප් චන්ද්‍රසිරි යන ශීල්පීන් හැදින්විය හැකිය. මේ ශිල්පී සංඛ්‍යාව මීට වඩා බෙහෙවින් පුළුල් බව ද අප මතක තබා ගත යුතුය. කැරොලින් ටර්නර් 2005 දී පළ කළ Art and Social Change: Contemporary Art in Asia and the Pacific යන කෘතිය මේ තත්ත්වය මනා ලෙස ආසියා-පැසිෆික් කලාපය ආශ‍්‍රයෙන් විස්තර කර ඇත.
 
මට මෙහිදී මතු කිරීමට අවශ්‍ය ප‍්‍රධාන කරුණ වන්නේ මෙවැනි කලා කෘති බොහෝමයක් සාම්ප‍්‍රදායිකව කලා කෘතියක් සේ සලකන වස්තුවෙන් බොහෝ ඔබ්බට ගොස් ඇති බවය. ඒවා හුදෙක් සුඛය සඳහා පමණක් සම්පාදනය වූ ඒවා නොවේ. එවන් කෘතිවල හරය වඩාත් පැහැදිලි වන්නේ ඒවායේ රාමුවෙන් පිටතට විත් ඒවා නිෂ්පාදනය කළ පුළුල් සන්දර්භය තුළ ඒවා ස්ථානගත කිරීමෙන් පමණි. පීටර් සෙල්ස් ජර්මන් උපස්ථිතිවාදී චිත‍්‍රකලාව සම්බන්ධයෙන් පවසා ඇත්තේ එම චිත‍්‍ර තේරුම් ගැනීමට නම් එකී කාර්යය හුදු ආකෘතිවාදී (formalist) කතිකාවක් තුළ කළ නොහැකි බවත් එම චිත‍්‍ර එකල පැවති මතවාදී සන්දර්භය තුළ ස්ථානගත කළ යුතු බවත්ය (සෙල්ස් 2006: 25). එනම් එම චිත‍්‍ර පුළුල් දේශපාලන ප‍්‍රවාහයක් තුළ නොතබා තේරුම් ගත නොහැකි බව සෙල්ස්ගේ අදහස වීය (සෙල්ස් 2006: 25). කලාව පිළිබඳ මේ තත්ත්වය ලොව සෑම තැනකම සෑම විටෙකම බලපාන බවද පැහැදිලි විය යුතුය.

මේ සන්දර්භයෙන් විස්තර කරන තත්ත්වය හා එමගින් විවර කරලන කතිකාමය දිශානති අප පිළිගනුයේ නම්, කලාව හුදු සෞන්දර්යාත්මක නිෂ්පාදනයක් ලෙස හෝ කලා ඉතිහාසයේ එක් සඳහනක් ලෙස හෝ අපට පිළිගත නොහැකිය. අපට එය පිළිගත හැකි වන්නේ අර්ථ විවරණාත්මක සමාජවිද්‍යාවෙන් වඩා හරවත් ලෙස ආලෝකය ලබාගෙන අර්ථවත් කර ගත හැකි කතිකාවක් වශයෙනි.


මෙනයින් බලන කළ තත්කාලීන කලාවට දේශපාලන ප‍්‍රචණ්ඩත්වය, සමාජ ලිංගිකත්වය, අනන්‍යතා දේශපාලනය හා ජාතිකත්වය ආදී සාමාජීය වාදවිෂය ගවේෂණය කිරීමට අවශ්‍ය මංපෙත් සමාජවිද්‍යාවට විවර කර දිය නොහැකිද? මා දැනටමත් පෙන්වා දී ඇති අයුරු රොමා චැටර්ජි වැනි අතලොස්සක් දෙනා මේ කර්තව්‍යය දැනටමත් සාර්ථක ලෙස ඉටු කර ඇත. ගැටලූව ඇත්තේ අප කලාපයේ හා අප රටේ ශාස්තී‍්‍රය ආයතනවල ඇති පසුගාමී දැක්ම නිසා නව විධික‍්‍රම සොයා යාම හා න්‍යායික නව්‍යකරණය හා නව පර්යේෂණ කේෂ්ත‍්‍ර සොයා යෑමට විවෘතවම බාධා පැමිණවීමය. හනමිටිකාර  වයෝවෘද්ධ ශාස්ත‍්‍රඥයන් හා තත්කාලයේ වැජඹෙන ඔවුන්ගේ ඇම්බැට්ටයන් පැරණි මෙවලම්, විධික‍්‍රම හා පර්යේෂණ අවකාශ ඒවයේ අඩංගු ගැටලූද සහිතව අතිපාරිශුද්ධ ආගමික ස්ථාන මෙන් ආරක්ෂා කරන්නේද මේ තත්ත්වය තුළමය.


සැබැවින්ම මට පෙනෙන ආකාරයට දකුණු ආසියාවේ ප‍්‍රධාන ධාරාවේ සමාජවිද්‍යාව තවමත් මා මෙතෙක් විස්තර කළ ආකාරයෙන් කලාව ගවේෂණය කිරීමේ අසලකට සිතවිල්ලක් ලෙසවත් පැමිණ නැත. කලා ආයතනවල සමාජවිද්‍යාව හෝ මානවවිද්‍යාව පුළුල් වශයෙන් උගන්වන්නේවත් එමගින් කලා රචනයට දායකත්වයක් ලබා ගත හැකි බව පිළිිගෙන ඇති බවක්වත් පෙනෙන්නට නැත. මේ අනුව තව බොහෝ කාලයක් යනතුරු කලාව කලාවේ හා කලා ඉතිහාසයේ මෙන්ම පසුගාමී චින්තනයේ අඩස්සියේම පසුවනු ඇත.

 
පසු-සටහන් 

(1) මේ ලිපිය  2004 ජූලි 4 වනදා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ඉතිහාසය සහ කලා සිද්ධාන්ත අධ්‍යයනාංශයේ දී කළ ආරාධිත දේශනයේ සංස්කරණය කරන ලද කෙටුම්පතකි. දේශනයට ආරාධනය කර එය සංවිධානය කළ ඉතිහාසය සහ කලා සිද්ධාන්ත අධ්‍යයනාංශාපති චන්ද්‍රගුප්ත තේනුවර මහතාට සහ එම අධ්‍යයනාංශයේ චන්ද්‍ර ලේකම්ආරච්චි  මහත්මියට මාගේ ස්තූතිය හිමිි වේ.

(2) ඇතැමුන් මෙය ප‍්‍රාසාංගික කලාව ලෙසද හදුන්වති. ඒ පදයේ ඇති බෙහෙවින් විසිරුණු භාවිතය නිසා ඒ පිළිබඳ එතරම් කැමැත්තක් මා තුළ නොමැත. 

(3) මේ පිළිබඳ සිතුවිලි අතරට මා සිනමාව, නර්නනහ හා වේදිකා නාට්‍ය යනාදිය ඇතුලත් කර නැත. ඊට හේතුව නම් නොයෙකුත් කාරණා නිසා සමාජ විද්‍යාව තුළ මේ ශේත‍්‍රවලට සෑහෙන මට්ටමේ අවධාරණයක් ලැබී තිබෙන නිසාය.

(4) මේ ගැටලූව පිළිබඳ සවිස්තරාත්මක විවරණයක් සඳහා මා විසින් සම්පාදිත පහත සඳහන් ලිපිය කියවිය හැක: ‘Notes from an Anthropological Wilderness: A Critical Self-assessment of Sri Lankan ‘Anthropology.’ In, Ajit Danda and rajat K. Das eds., Alternative Voices in Anthropology. Calcutta: Indian Anthropological Association (2012).

(5) මයිතිල් චිත‍්‍ර සම්ප‍්‍රදාය පිළිබඳව ආචාර්ය මනි ශේඛාර් සිංග් ලියා ඇති පහත සඳහන් ලිපි ලේඛන කියවා බැලිය හැක: ‘Journey into a Distant Land: Poetics of Mithila Painting.’ In, Indian Folklife, Vol. 3, Issue No. 17, October 2004; ‘Maithil Painting: A Journey into Pictorial Space: Poetics of Frame and Field in Maithil Painting.’ In, Contributions to Indian Sociology, Vol. 34, 2000; ‘Religious Iconography, Violence, and Making of a Series.’ In, Domains, Vol. 3, 2007.

(6) මහාචාර්ය රොමා චැටර්ජිගේ පහත සඳහන් ලිපියද කියවා බැලිය හැක: ‘The Transmission of Art Traditions: Children and Folk Art in India.’ In, South Asia Journal for Culture, Vol. 3, 2009.

(7) මේ උදාහරණවලට අදාල තොරතුරු සැපයීම සම්බන්ධයෙන් අනෝලි පෙරේරාට මාගේ ස්තූතිය හිමිි වේ.

(8) ශී‍්‍ර ලංකාව ආශ‍්‍රයෙන් කලාව හා එහි දේශපාලනය පිලිබඳ මූලික සමාජවිද්‍යාත්මක පාඨනයක් සඳහා මවිසින් සම්පාදිත පහත සඳහන් කෘතිය කියවිය හැක: Artists Remember; Artists Narrate: Memory and Representation in Sri Lankan Visual Arts. Colombo; Colombo Institute and Theertha International Artists’ Collective (2012).

ආශ්‍රේය කෘති

Bourdieu, Pierre
1995. Sociology in Question. London: Sage.

Chatterji, Roma
2012. Speaking with Pictures: Folk Art and the Narrative Tradition in India. New Delhi: Routledge.

Landauer, Susan
2006. ‘Countering Cultures: The California Context.’ In, Peter
Selz, Art of Engagement: Visual Politics in California and Beyond. San Jose: San Jose Museum of Art.

Papastergiadis, Nikos
2006. Spatial Aesthetics: Art, Place and the Everyday. London: River Oram Press.

Preziosi, Donald and Claire Farago.
2012. Art is Not What You Think It Is. Oxford: Wiley-Blackwell.

Selz, Peter
2006. Art of Engagement: Visual Politics in California and Beyond. San Jose: San Jose Museum of Art.

Turner, Caroline
2005. Art and Social Change: Contemporary Art in Asia and the Pacific. Canberra: Pandanus Books.

Wednesday, July 2, 2014

Saturday, June 7, 2014

ඥාන විභාගාත්මක ඛණ්ඩනීය මොහොතක් පිළිබඳ ආවර්ජනයක්: සිරි ගුනසිංහගේ නිර්මාණ කාර්යය පිළිබඳ සීමිත පාඨනයක්




සන්දර්භගත කිරීම

සිරි ගුනසිංහගේ නිර්මාණ කාර්යය හරහා එහි අත්‍යන්ත දේශපාලනය පිළිබඳව කෙරෙන මෙම සීමිත ආවර්ජනීය පාඨනය දියත්වන්නේ ගුනසිංහගේ නිර්මාණ කටයුතු ඇරඹී අඩසිය වසක් ගත වූ පසුව ය. තව ද මා සාහිත්‍ය විචාරය හෝ භාෂා අධ්‍යයන පිළිබඳ විධිමත් හා නිල ශාස්ත‍්‍රාලයීය පසුබිමක් නියෝජනය නොකරන නිසා මේ පාඨනයට ඉහත කී අධ්‍යයන ක්ෂේත‍්‍රවල ඍජු බලපෑමක් නොලැබෙනු ඇත. එනම් මෙය සාහිත්‍ය විචාරාත්මක හෝ භාෂා විශ්ලේෂණාත්මක ප‍්‍රවේශයක් තුළින් කෙරෙන පාඨනයක් නො වේ. සමාජවිද්‍යා හා සමාජ-මානවවිද්‍යාව පිළිබඳ විධිමත් පසුබිමක සිට මා විසින් කරන්නට උත්සාහ දරන මේ පාඨනයේ ප‍්‍රධානතම පදනමක් වන්නේ සමාජ-මානවවිද්‍යාව තුළ 1970 දශකයේ සිට දැඩි විචාරයට ලක් වූ රචනාකරණයේ දේශපාලනය හා බලය පිළිබඳ අදහස් ය. මේ අනුව ගුනසිංහගේ ලිපිලේඛන හුදු සාහිත්‍ය විමර්ශනීය හා භාෂා විද්‍යාත්මක ප‍්‍රවේශවලින් ඔබ්බට ගෙන ගොස් ඒවා බිහි වූ සමාජ ආර්ථික හා දේශපාලනික සන්දර්භය තුළ ස්ථානගත කළ යුතු ය යන්න මාගේ විශ්වාසය යි. එනම් ඔහුගේ භූමිකාව තේරුම්ගත හැක්කේත්, එයට අර්ථ සැපයෙන්නේත්, ඒ පිළිබඳ විවේචන මතුවන්නේත් හුදෙක් එහි අන්තර්ගතය පදනම් කරගෙන නො ව ඒවා බිහි වූ සමාජ සංස්කෘතික මොහොතේ අනේක විධ බලපෑම කරණ කොට ගෙන ය.

මානවවංශ ලේඛනකරණය පිළිබඳ අදහස් දක්වමින් Writing Culture: Poetics and Politics of Ethnography  යන නිබන්ධ එකතුවේ හැඳින්වීම හරහා ජේම්ස් ක්ලිෆර්ඞ් හා ජෝජ් මාර්කස් දක්වන අදහසක් නම් මානවවංශ ලේඛනකරණය (ethnography) පදනම් නැතිනම් කරුණු හයක් මත බලපෑමට ලක්ව ඇති බව ය. එනම්, ඒ ලේඛනවල අනන්‍යතාව ඒවාට ලැබෙනුයේ මේ කරුණු හයේ ක‍්‍රියාකාරීත්වය මත ය. ඒවා කෙටියෙන් හෝ මෙහි දී ඉදිරිපත් කළ යුතු යැයි මා සිතන්නේ මේ අදහස් නිර්මාණ සාහිත්‍යය වෙත මෙන් ම විශේෂයෙන් ම සිරි ගුනසිංහගේ නිර්මාණනීය කාර්යභාරය වෙත ද ව්‍යාප්ත කළ හැකි බව මා විශ්වාස කරන නිසා ය. මින් පළමුවන කරුණ නම් සන්දර්භය එනම් (context) යන්නය (ක්ලිෆර්ඞ් සහ මාර්ක්ස් 1986: 06). එනම්, මානවවංශ ලේඛන ඒවා ලියැවෙන සමාජ වටපිිටාවෙන් අර්ථ උකහා ගන්නා බව සහ අර්ථ නිර්මාණය කරන බවත් ය. මෙලෙස ම ගුනසිංහගේ කාව්‍ය රචනා, නවකතා මෙන් ම ඔහුගේ චිත‍්‍රපටය වන සත් සමුදුර ද උද්දීපනය කෙළේ තත්කාලීන සිතැගි මෙන් ම සමාජ තත්ත්වයන් ය. එහි දී ලිංගිකත්වය හා බැදුණු වාද විෂය සහ අර්ථ එවක පැවැති සාම්ප‍්‍රදායික ඇගයීම් පද්ධති මධ්‍යයේ විවෘතව කතා නොකිරීම මෙන් ම එසේ කිරීමට වෙර දැරීමේ දී ගුනසිංහ වැන්නවුන් වෙත දරුණු විවේචන මතුවීම ද ඒ සන්දර්භය සමග ම බැදී පවතී.

දෙවන කරුණ නම් වාගලංකාරය (rhetoric) යන්නය (ක්ලිෆර්ඞ් සහ මාර්ක්ස් 1986: 06). එනම්, මෙකී රචනා සමාජයේ පවතින භාෂා විකාශන සම්ප‍්‍රදායන්ගේ ආලෝකය ලබා ගන්නා අතර කාලයාගේ ඇවෑමෙන් එකී සම්ප‍්‍රදායන් මේ රචනාවල බලපෑම්වලට ද ලක්වන බවයි. මේ අනුව ගුනසිංහගේ කවි මෙන් ම නවකතා මගින් හා විචාර ලිපි ලේඛන ද මේ තත්ත්ව පෙන්නුම් කරන බව දැක ගත හැකි ය. මූලික වශයෙන් ඔහු තම අදහස් ව්‍යාප්ත කිරීමට යොදා ගත්තේ එවකට බෙහෙවින් ජනප‍්‍රියව පැවැති කාව්‍ය මාධ්‍යය යි. එනමුත් එසේ කිරීමේ දී ඔහු එකී කාව්‍ය ආකෘතියේ ස්වභාවය මෙන්ම ආමන්ත‍්‍රණය කළ යම් කරුණු ද පටිසෝතගාමී ලෙස වෙනසකට භාජනය කෙළේ ය. ඔහු ශාස්ත‍්‍රීය සිංහලයක් වෙනුවට බොහෝ දුරට සරල සිංහලයක් යොදා ගත්තේ එහි ඇති ඇතැම් සංකීර්ණතා නැතිනම් ව්‍යාකරණ නීති (උදා: න, ණ, ල, ළ භේදය) සවිඥානික ව උල්ලංඝනය  කරමිනි. අප අද දන්නා පරිදි ගුනසිංහගේ නව්‍යකරණයන් සිංහල සාහිත්‍ය අවකාශයට බෙහෙවින් බලපෑම් කර ඇති බවත් පැහැදිලි විය යුතුය.

තෙවන කරුණ වන්නේ ආයතනික බලපෑම (institutional) යන්නයි (ක්ලිෆර්ඞ් සහ මාර්ක්ස් 1986: 06). එනම්, යමෙකු රචනාවක් සම්පාදනය කරනු ලබන්නේ යම් සුවිශේෂී සම්ප‍්‍රදායන්ට, විෂය ක්ෂේත‍්‍රයන්ට හා පාඨක ප‍්‍රජාවන්ට විරුද්ධ ව හෝ ඒවා තුළින් බව යි. මෙලෙස බලන කළ ගුනසිංහ රචනා කෙළේ (විශේෂයෙන් ම ඔහුගේ නිසදැස් කවි) පේරාදෙණිය ගුරුකුලය ගුරු කරගත් හා ඔවුන්ගේ නව්‍යකරණයන්ට කැමැත්ත දැක්වූ තරුණ කණ්ඩායමකට වූ අතර එවකට සමාජයේ බලය පතුරවා ගෙන සිටි සාහිත්‍යධරයන් බොහොමයකගේ අදහස් හා ප‍්‍රවේශවලට ප‍්‍රතිවිරුද්ධවය.

සිව්වන කරුණ රචනයේ ප‍්‍රවර්ගය (genre) පිළිබඳ අනන්‍යතාව යි (ක්ලිෆර්ඞ් සහ මාර්ක්ස් 1986: 06) එනම් සාමාන්‍යයෙන් මානවවංශ ලේඛනයක් නවකතාවකින් හෝ චාරිකා වෘත්තාන්තයකින් හෝ වෙන් කර ගැනීමට ඇති හැකියාව යි. ඒ අනුව ගුනසිංහගේ නිසදැස් ඒවා ප‍්‍රථමයෙන් මතු වූ යුගයේ කාව්‍ය නොවේ යැයි දැඩි විවේචන ඉදිරිපත් වුවද ඔහු ඒවා ඉදිරිපත් කෙළේත්, ඒවා අගය කළවුන් ඒවා රස වින්දේත් කාව්‍ය වශයෙන් මිස ගද්‍ය හෝ වෙනත් සාහිත්‍යයික ප‍්‍රවර්ගයක් වශයෙන් නො වේ.

පස්වන කරුණ වන්නේ දේශපාලනය (politics)  යන්නයි (ක්ලිෆර්ඞ් සහ මාර්ක්ස් 1986: 06). එනම්, සංස්කෘතික හෝ සමාජ යථාර්ථ නිරූපණය කිරීමට එක් එක් පුද්ගලයන්ට ඇති බලය කිසිදු විටෙක සමාන නොවන අතර ඇතැම් විට ඒවා බරපතල ලෙස ප‍්‍රශ්න කිරීමට ලක්වේ. ගුනසිංහගේ නවකතා කෙසේ වෙතත් ඔහුගේ පද්‍ය සම්බන්ධයෙන් මතු වූ බොහෝ විවේචන මතු වූයේ මේ සන්දර්භය තුළ යි. එනම් සිංහල සංස්කෘතියෙන් හා එහි කාව්‍ය සම්ප‍්‍රදායෙන් දුරස් වූවකු ලෙස බොහෝ දෙනා ඔහු සැලකූ අතර එයින් මතුවූයේ සමාජ යථාර්ථ හෝ සිතැගි නිර්මාණනීය ලෙස ඉදිරිපත් කිරීමට ඇති දේශපාලන බලය පිළිබඳ දැඩි හා බොහෝදුරට කඨෝර තරගයකි.

හයවන කරුණ නම් ඉතිහාසය (history) (ක්ලිෆර්ඞ් සහ මාර්ක්ස් 1986: 06). එනම්, ඉහත සඳහන් සියලූ තත්ත්ව හෝ සීමා වෙනස්වන ඓතිහාසික සන්දර්භ තුළ වෙනසකට භාජනය වන බව යි (ක්ලිෆර්ඞ් සහ මාර්ක්ස් 1986: 06). ගුනසිංහගේ නිර්මාණ කාර්යය ආරම්භ වූ අවධියේ පැවති ඓතිහාසික තත්ත්වවලට ඔහුව ආන්තීකරණයට ලක්කිරීමට බොහෝ බලවේග ක‍්‍රියාත්මක වුව ද ඓතිහාසිකව බලන විට අපට පෙනී යන්නේ අද වන විට ඔහුගේ ව්‍යායාමය, විශේෂයෙන් ම ඔහුගේ කාව්‍යමය නව්‍යකරණය සිංහල සංස්කෘතික අවකාශය තුළ මුල් බැසගෙන තිබෙන බව යි. ක්ලිෆර්ඞ් සහ මාර්ක්ස්ගේ යෝජනාව වූයේ මේ පදනම් නැතිනම් කරුණු හය මානවවංශ ලේඛන සම්පාදනය කිරීමේදී එකී ලේඛන මත ඒවායේ දිශානති සහ අනන්‍යතාව සලකුණු කරන ආකාරයේ බලපෑම් සිදුකරන බව යි (ක්ලිෆර්ඞ් සහ මාර්ක්ස් 1986: 06). මාගේ යෝජනාව වන්නේ මේ ආකාරයෙන් ම මේ කරුණු හය ගුනසිංහගේ ව්‍යායාමයට ද බලපෑම් ඇති කළ බව යි. ඒ බලපෑමේ ස්වභාවය මේ පාඨනය තුළදී පෙනී යනු ඇති බව මාගේ විශ්වාසය යි.

1970 දශකයේ සිට මතුව ආ අර්ථවිවරණීය මානව විද්‍යාවේ මේ මූලික ප‍්‍රවේශ සාමාන්‍යයෙන් නිර්මාණ සාහිත්‍යයික පඨිත තේරුම් ගැනීමේදීත් විශේෂයෙන් සිරි ගුනසිංහගේ ලේඛන සන්දර්භගත කිරීමේදීත් මා කලින් සඳහන් කළ ආකාරයට ප‍්‍රයෝජනවත් වන බව මගේ විශ්වාසය යි. මේ අනුව ඔහුගේ නවකතා, කවි, විචාර කෘති හා චිත‍්‍රපට හුදු අනෛතිහාසික කෘති ලෙස සලකනවාට වඩා අර්ථවත් වන්නේ ඒවා ඉහත සඳහන් කළ කරුණු හය මගින් සලකුණු කරන සීමා ඔස්සේ තේරුම් ගත හැක්කේ කෙසේ දැ යි සොයා බැලීම ය. මෙ නිසා මාගේ පාඨනය වඩා ක්ෂුද්‍ර මට්ටමින් ව්‍යුහගත කළහොත්, ගුනසිංහගේ සමස්ත නිර්මාණාත්මක භූමිකාව පහත තේමා ඔස්සේ ගවේෂණය කළ හැකිය යන්න මාගේ අදහසයි: සංස්කෘතියේ දේශපාලනය තුළ සදාචාරය පිළිබඳ වාද විෂයේ ක‍්‍රියාකාරීත්වය, ඔහුගේ බුද්ධිමය මැදිහත්වීම පිළිබඳ මතුව ආ විවේචනයේ ස්වභාවය හා පදනම, ඒ පිළිබඳව ඔහු හා ඔහුගේ අනුගාමිකයින් දැරූ ස්ථාවරවල ස්වභාවය හා ඔහු දියත් කිරීමට යත්න දැරූ ඥානවිභාගාත්මක ඛන්ඩනයේ පදනම යන තේමා ය. මේ තේමා ගවේෂණය කිරීමේ දී මාගේ වැඩි අවධානය ගුනසිංහගේ ප‍්‍රධානතම නිර්මාණනීය මැදිහත්වීම වන නිසදැස් වෙත යොමු කිරීමට ද මම බලාපොරොත්තු වෙමි.

සංස්කෘතියේ දේශපාලනය තුළ ‘සදාචාරය’ යන වාද විෂයේ ක‍්‍රියාකාරීත්වය

1950 හා 1960 දශකවල විශේෂයෙන් ම ගුනසිංහගේ නිසදැස් කවි සන්දර්භය තුළ ඊට එරෙහි ව මතු වූ විවේචන මගින් ප‍්‍රධාන වශයෙන් ඉදිරිපත් වූයේ සදාචාරය පිළිබඳ වාග් සංග‍්‍රාමයකි. මෙහි දී සදාචාරය යන වාද විෂය අර්ථ දෙකක් ඔස්සේ ඉදිරිපත් වූ බව පෙනුණි. වඩාත් දරුණු ලෙස ඉස්මතු වූයේ ගුනසිංහගේ කෘති ලිංගික අර්ථයෙන් බෙහෙවින් ‘පහත්’ අනුභූති පිළිබඳ කතා කළ ඒවා නිසා ඒවා සදාචාර විරෝධී සහ අවර ගනයේ කෘති බව ය. ඒ අදහස ඔහුගේ කවිවලින් ඔබ්බට ගොස් ඔහුගේ පුද්ගලික ජීවිතයට හා ඔහු නියෝජනය කළ සරසවිය වෙතට ද එල්ල කරන්නට ද යෙදුණි (උදා: ඔහුගේ සිසුන් හා සෙසු සහෘදයන්) මෙවන් අදහස් බෙහෙවින් පරුෂ ලෙස ඉදිරිපත් කළ අය අතර චන්ද්‍රරත්න මානවසිංහ විශේෂයෙන් සඳහන් කළ හැකි ය. මේ සම්බන්ධයෙන් පහත සඳහන් ඔහුගේ ‘විචාරයේ’ අඩංගු අදහස් සලකා බැලිය හැකිය:
ලෝකයේ අනෙකුදු විශ්වවිද්‍යාලයනට වඩා වෙනස් අන්දමට ලංකා විශ්වවිද්‍යාලයේ ලිංගික නොහොබිනාකම් මුල් බැස ගැනීමට හේතුව කුමක්දැයි සලකන විට පුදුම වීමට කරුණක් නැත්තේ ය. ලංකා විශ්වවිද්‍යාලයේ ආචාර්ය කෙනෙකුගෙන් හා ඔවුන්ගේ ඇසුර ලැබ අධ්‍යාපනය ලද ඇතමෙකුගෙන් ලියැවුණු පොත් කිහිපයක් ප‍්‍රචාරය වී තිබේ. ඒ පොත් කියැවූ  ඕනෑ ම කෙනෙකුට විශ්වවිද්‍යාලය තුළ ඉගෙනුම ලබන්නවුන්ගේ ගති පැවතුම් කෙබඳු විය යුතු ද යන්න ලෙහෙසියෙන් ම වටහා ගත හැකි ය. ආගම, ධර්මය පසෙක තිබියේවා. සමාජය පිළිගත් සදාචාර ධර්මයන් පිළිබඳ බලු මයිලක තරම්වත් තැකීමක් අර ගුරු කුලයේ පොතපත කියවන්නවුන් තුළ ඇති විය නොහැකි ය. ඔවුන්ගේ ගෙදර දොරේ සැලකිය යුත්තන් පවා බේරී සිටිතියි සිතීම දුෂ්කර ය (මානවසිංහ, උපුටා ගත්තේ රණසිංහගෙනි 2009: 27-28).
ඍජුව ම සහ නාමිකව ගුනසිංහගේ කෘති ඉලක්ක කර නොගත්ත ද මේ විවේචනය පැහැදිලිව ම ඔහු ප‍්‍රමුඛ පේරාදෙණිය ගුරු කුලය ලෙස පසුව හඳුන්වන්නට යෙදුණු සමස්ත බුද්ධිමතුන්ගේ  කණ්ඩායම වෙතට එල්ල වී තිබුණි. මැනැවින් පෙනෙන කරුණක් නම් පුද්ගලයන් වශයෙන් මෙන් ම ඔවුන්ගේ කෘති ද ඒවා සේවනය කරන සමස්ත පාඨක ප‍්‍රජාව ද සදාචාර විරෝධී සහ විකෘති ලිංගික ආශාවන් ප‍්‍රබෝධමත් කරන අවර ගනයේ ලේඛන සහ පහත් ගණයේ පුද්ගලයින් ලෙස විවේචකයින් සැලකූ බවයි. ඇල්. ඇම්. ඒ. සිල්වා සිය විචාර විවරණය කෘතියෙන් ද මෙවැනිම විවේචනයක් ඉදිරිපත් කෙළේ ඍජුව ම ගුනසිංහ වෙත ය. ‘ඊයේ සොඳුර’ (මස් ලේ නැති ඇට කාව්‍ය සංග‍්‍රහයෙන්) කවි පංතියට විශේෂ අවධානය සහිතව ඔහු ප‍්‍රකාශ කෙළේ මෙවන් කවි ලියන්නෙකුට ‘ලැජ්ජාවක් නැතිකමක් ද’ තිබිය යුතු බව යි (සිල්වා 1959: 136). සිල්වා මේ විවේචනය ඉදිරිපත් කරන්නේ 'ඊයේ සොඳුර' කවිය පුරා විහිද ඇති පහත සඳහන් ආකාරයේ පද නිසා බව අප පසක් කරගත යුතුය:

‘‘.... ඇය සාරිය විනිවිද
පෙනෙන රස මසෙහි ගමන
හිරු එළියෙන් විවර ඇය වටොර,
යටසින් බලා,
නොබලා මෙන් පතයි
ඇය සිසිල් සෙලූව
සෙමින් ඒ ආලය යැයි....’’
(ගුනසිංහ 1961: 50-53).

මේ විවේචනය පදනම්ව ඇත්තේ කවියේ සරල මතුපිට කියවීමක් මත පමණි. මෙනිසා සිල්වා මෙන්ම ඔහු අනුදක්නා අන් අයද හුදෙක් ග‍්‍රහණය කර ගන්නේ කවේ මූලික හා මතුපිට අරුත පමණක් වන අතර එනිසාම එහි ද්විතීයික හා ආභ්‍යන්තරික අර්ථය මගහැරේ. මතුපිට හා මූලික අර්ථය ඇසුරින් සලකා බැලූවද සිල්වා පවසනාකාරයේ ‘ලැජ්ජාවක් නැතිකමක්’ කෙසේ වෙතත් මට පෙනෙන ආකාරයට මෙවැනි පද හරහා ජනිත වනුයේ පුද්ගලයෙකු තුළ සිරවී ඇති ස්වභාවික රාගික අදහස් කාව්‍යමය ආකාරයකින් මුක්ත කිරීමක් පමණි. එය සරල මනෝ විද්‍යාත්මක අර්ථයකින් භාව ශුද්ධිය (catharsis) නතිනම් සිත තුළ ගොනු වූ අදහස් මුදා හැරීමක් වේ. එය ලැජ්ජා සහගත කරුණක් බවට පත්වන්නේ සිල්වා මෙන්ම එවකට සිටි සෙසු බොහෝ විවේචකයින් ද මෙහෙය වූ අතිශය සීමාකාරී වික්ටෝරියානු සුචරිතවාදී මතවාදයේ යදංගු තුළ සිරවී සිට බැලූවහොත් පමණි. ඇතැම් විවේචකයන් නිසදැස් කවි හැඳින්වීමට ‘පැලලි’ හා විශේෂයෙන් ම ‘උපදංශ’ (syphilis) යන ලිංගිකව ප‍්‍රචලිතවන සමාජ රෝගයක නම යෙදීමෙන් ද මේ සදාචාරය පිළිබඳ ගැටලූව මතු කරලයි. එනම්, විශේෂයෙන් ගුනසිංහගේ නිසදැස් බොහෝ විවේචකයින් දුටුවේ සමාජය පුරා පැතිර යන සමාජ රෝගයක් වශයෙන් සහ එහි ලිංගික තේමා පිළිබඳ දැඩි පිළිකුලකින් ද යුතුව ය. කෙසේ වෙතත් මේ සීමිත දෘශ්ඨිය නිසාම 'ඊයේ සොඳුර' මෙන්ම ගුනසිංහගේ අන් බොහෝ කවි තුළ ද ඇතුලත් වන ද්විතීයික, ආභ්‍යන්තරික හා සංකේතාත්මක අර්ථ ජනනයේ ගතිකත්ව හා එහි දේශපාලනය මෙවන් විවේචකයන්ගේ බුද්ධිමය ග‍්‍රහණයට හසු නොවී වියැකී යයි. ඒ අනුව ඉහත උපුටා දැක්වූ ගුනසිංහගේ පදවලින් ජනිත වූ දෙවන අර්ථය මූලික අර්ථයෙන් බෙහෙවින් වෙනස් වූ එකාතකින් එකී මූලික අරුත යම් ලෙසකින් නිශෙධනය කරන්නා වූද අරුතකි. එනම් ලිංගික ප‍්‍රතිරූප එසේ සුපැහැදිලිව හුවා දැක්වීමෙන් ඔහු උත්සාහ ගත්තේ සිරුරේ අස්ථාවරත්වය පෙන්වා දෙමින් එය ක්ලේශයේ හා මෝහයේ අවකාශයක් මෙන්ම අවසන දී මානව ජීවිතය සසර සමග දුක හරහා බැද තබන මැඩලිය යුතු හා ජය ගත යුතු බාධකයක්ය යන බෙෘද්ධ යතාර්ථය මතුකරලීමටය. මා කලින් ප‍්‍රකාශ කළ ලෙසට ද එකාතකින් මෙය සිංහල සංස්කෘතිය දැඩිව වෙලාගත් වික්ටෝරියානු පාරිශුද්ධවාදයේ ඍජු ප‍්‍රකාශනයකි. අනෙතකින් මෙය නිසදැස් මගින් අදහස් ප‍්‍රකාශය සඳහා විවර කළ අවකාශය තාරුණ්‍යය විසින් ග‍්‍රහණය කරගත් ආකාරය වටහා නොගැනීමේ ආදීනවයක් ලෙස ද දැකිය හැකි ය. එමෙන් ම, නිසදැස් මතු වුණු මුල් යුගයේ (එනම් මස් ලේ නැති ඇට කෘතිය ප‍්‍රකාශයට පත්වීමත් සමඟ) එවක බලය පතුරවා ගෙන සිටි කොළඹ කවීන් හා අන් කණ්ඩායම් සියුම් හා සංවේදී ලෙස ආමන්ත‍්‍රණය නො කළ තාරුණ්‍ය හා සම්බන්ධ අන්තර් සම්බන්ධිත වාදවිෂය ගණනාවක් ගුනසිංහ මෙන් ම ඔහු අනුගමනය කළ හෝ ඔහුගේ සමකාලීන නිසදැස් කවීන් ආමන්ත‍්‍රණය කරන්නට යෙදුණි. එනම්, ආදරය, ආශාව, රාගය, රතිය, කාමය නැමැති අදහස් ය. ආදරය වැනි තේමා කොළඹ යුගයේ කවියෝ තේමා කර ගත්තේ නැතැ යි යන්න මින් හැඟවෙන්නේ නැත. එනමුත් එවකට ව්‍යාප්ත වී තිබූ ස්වභාවධර්මය වැනීම හා අලංකාරෝක්ති වැනි කාව්‍ය ප‍්‍රවේශ නැතිනම් ප‍්‍රයෝග තුළ එකී අදහස් විකසිත වීම මිලින විය. වඩාත් නිවැරදිව පවසන්නේ නම් පේ‍්‍රමය, ආශාව වැනි ‘ස්වභාවික අදහස්’ විවෘතව හා ගැඹුරින් ගවේෂණය කිරීමට ඔවුන් මැලිවූවා පමණක් නොව ඊට අවැසි සමාජ සංස්කෘතික වාතාවරණය ඒ වන විට තිබූ බවක් ඔවුන් පිළිගත් බවක් ද නොපෙනේ. මෙවන් වාතාවරණයක් තුළ ලිංගික සදාචාරය පිළිබඳ දැඩි හා බෙහෙවින් සීමිත අදහස් මුල් බැසගෙන තිබුණා මෙන් ම, එම අදහස් අතික‍්‍රමණය කරමින් එකී වාද විෂය නිර්මාණනීය හා විචාර පූර්වක ලෙස ආමන්ත‍්‍රණය කිරීම පැහැදිලිව ම බෙහෙවින් අපහසු කාර්යයක් විය. ‘ඊයේ සොඳුර’ හා එකී ප‍්‍රවර්ගයට අයත් අන් කවි දැඩි ලෙස විවේචනයට පත් වූයේ තාරුණ්‍යය හා ඊට බෙහෙවින් සම්බන්ධ ඉහත සඳහන් කළ ආකාරයේ හැඟීම් මතවාදී ලෙස දැඩි ලෙස අඩස්සිගත කර තිබූ තත්ත්වයක් තුළය.

ගුනසිංහගේ කාව්‍ය නිර්මාණ පේ‍්‍රමය, ආශාව ආදිය පමණක් ආමන්ත‍්‍රණය නොකළ ද බෙහෙවින් විවේචනයට ලක් වූයේ මෙකී තේමා ගොනු කරගත් කාව්‍ය නිර්මාණ බව පැහැදිලිය. ආනන්ද කුලසූරිය විශේෂයෙන්ම ගුණදාස අමරසේකරගේ භාවගීත (1955) හා ගුනසිංහගේ මස් ලේ නැති ඇට (1956) යන කාව්‍ය සංග‍්‍රහ අවධාරණය කරමින් ‘නූතන’ පබඳකරුවන් සේ හඳුන්වන නිසදැස්කරුවන්ගේ විෂය ක්ෂේත‍්‍රය විස්තර කරනුයේ පහත ආකාරයෙනි:
සමාජ සත්තාවන් නැතහොත් පෙම්වතෙකු, පෙම්වතියක වැනි පුද්ගලයෙක් කවි චින්තාවට බොහෝ විට විෂය වෙයි. ප‍්‍රස්තුත මාතෘකාව හා ගැටෙන කවි නිතර ම පෞද්ගලික දෘෂ්ටියක් පළ කරන්නට තැත් කරයි (කුලසූරිය 1980: 7).
ගුනසිංහගේ ‘ආපසුව’ හා ‘ඊයේ සොඳුර’ යන කවි ද කුලසූරිය ගෙනහැර දක්වන්නේ ඉහත විස්තර කළ ප‍්‍රවර්ග නියෝජනය කරන කවි ලෙසය (කුලසූරිය 1980: 07). මෙහිදී අපට පැහැදිලි වන්නේ ගුනසිංහට මෙන් ම ඉහත සඳහන් ආකාරයේ විෂය පදනම් කරගත් කාව්‍යකරුවන්ට සදාචාර විරෝධී විවේචනය එල්ල වූයේ අති පෞද්ගලික අවකාශයක සිරකර තැබිය යුතු සිතැඟි නිර්භයව සැමට දැකගත හැකි, කියැවිය හැකි ප‍්‍රසිද්ධ අවකාශයට මුදා හළ බැවිනි. නිසදැස් පිළිබඳ ව සාමාන්‍ය වශයෙන් ද ගුනසිංහගේ කාව්‍ය නිර්මාණ පිළිබඳව වඩා පැහැදිලිව ද මෙකී සදාචාර විරෝදීත්වය පිළිබඳ කුලසූරිය තම විවේචනය එල්ල කරනුයේ පහත සඳහන් අයුරිනි: ‘‘ශෘංගාරය, කාව්‍ය නිර්මාණය වවා ගැනීමට නිසි තෝතැන්නක් විය හැකි නමුත්, මේ පබඳ කළවුන්ගේ සිත්වලින් ගලා එන ලඝු කාමුක සිතුවිලි, නිස්සාර උක්ති බවට පත්ව ඇත. බුද්ධියට කැරුණු අභියෝගයක් ලෙස සැලකිය හැකි ‘මස් ලේ නැති ඇට’ යන්නෙහි සෑහෙන කොටසක් ඒ ලාමක චින්තනයට නිදසුන් වේ. අඳුර, ජීවිතය, ආශාව, බලාපොරොත්තුව, ජීවය, පේ‍්‍රමය, ආදරය යන මේ කවරක් වස්තු බීජ කොටගත්ත ද, සොඳුරියක්, ගැහැනියක්, පිටුපසින් හොල්මන් කරයි’’ (කුලසූරිය 1980: 7). කුලසූරිය, ගුනසිංහ ඇතුළු නිසදැස් කවීන්ගේ භූමිකාව පිළිබඳව තවදුරටත් මෙසේ ද පවසයි: ‘‘මෙහි දරුණු විපාකය වන්නේ අසභ්‍ය හෙවත් අශ්ලීල පද්‍ය සිංහල කාව්‍යයට පිවිස ගැන්ම ම නො වේ. ඒ චෝදනාව එල්ල වී ඇතත් එය ම ප‍්‍රමාණවත් නො වේ. එය හෙලා දැකිය යුතු වන්නේ අප ජාතික ආගමික දායාදයේ අසම්භින්න අංග වන උත්කෘෂ්ට චින්තන මාර්ගය හා චර්යා ධර්ම එයින් පිළිකෙව් කෙරෙන බැවිනි. නැතිනම් නොතකා හැරෙන බැවිනි’’ (කුලසූරිය 1980: 7). 

කුලසූරියගේ ඉහත අදහස් මෙන් ම ඒ ප‍්‍රවර්ගයට ම අයත් අන් විවේචන (මානවසිංහ වැන්නවුන්ගේ වඩාත් අශාස්ත‍්‍රීය විචාර ද ඇතුළු ව) පැහැදිලිව ම පේ‍්‍රමය, ආශාව, ලිංගිකත්වය වැනි දේ දුටුවේ කාව්‍යකරණයට හෝ ප‍්‍රසිද්ධ අවකාශය තුළ නිදහසේ මුදා හැරීමට නුසුදුසු අනුභූති ලෙසිනි. ඒවා පිළිබඳව කතා කිරීම ම ජාතික හා ආගමික අගය පද්ධතිවලට ගැරහීමක් වීය. ගුනසිංහගේ කාව්‍ය නිර්මාණවල හා සාමාන්‍යයෙන් නිසදැස් කවිවල මුඛ්‍ය තේමාව මෙකී අදහස් නොවුණ ද මෙලෙසින් ‘ලඝු කාමුක’ සේ ආන්තීකරණයට ලක් වූ අදහස් තාරුණ්‍යය හා බෙහෙවින් සමීපව බැඳී තිබුණා පමණක් නොව එකී අදහස් ගවේෂණයට හෝ මුදා හැරීමට සංස්කෘතික හෝ සමාජීය අවකාශ ඒ වන විට විවරව නොතිබූ බව ද පැහැදිලි ය. කුලසූරිය, සිල්වා, මානවසිංහ වැන්නවුන්ගේ මෙකී විවේචන සැබැවින් ම මේ පුද්ගලික අනුභූති ගුරු කරගත් කාව්‍ය නිර්මාණ හා සමාජගත කිරීමේ දේශපාලනයට එල්ල වූ දැවැන්ත ප‍්‍රහාරයක් ලෙස තේරුම් ගත යුතු ය. එය සාම්ප‍්‍රදායික සමාජය හා වික්ටෝරියානු සදාචාරය විසින් අහුරා දමා තිබූ චින්තනයෙන් බලාපොරොත්තු විය යුතු ප‍්‍රතිචාරයක් ද වීය.

කාව්‍යය, අන්තර්ගතය හා ආකෘතිය: ගුනසිංහගේ හා නිසදැස් ව්‍යාපාරයේ දේශපාලනය

ගුනසිංහ ප‍්‍රමුඛ නිසදැස් කවීන් අතරින් පේ‍්‍රමය, ආශාව ආදී තේමා ආමන්ත‍්‍රණය කළ කවීන් මෙවන් වස්තු විෂය හා ගනුදෙනු කෙළේ අහඹු ලෙස නොවන අතර ම ඔවුන්ගේ ව්‍යාපාරය පැහැදිලි අදහස් ගණනාවක් ම නියෝජනය කරයි. ගුනසිංහගේ භූමිකාව තේරුම් ගැනීමේ දී මේ ව්‍යාපාරයේ ස්වභාවය ඔහුගේ හා ඔහුගේ අනුගාමිකයන්ගේ දෘෂ්ටියෙන් ද සොයා බැලීම සමස්ත සන්දර්භය දෙස වඩා පරිපූර්ණව බැලීමට අපට අවකාශ විවර කරයි. මේ අදහස්වලින් වඩාත් පැහැදිලි වන කරුණ නම් කවිය සම්බන්ධයෙන් ඉහත දැක්වූ තේමා මෙන් ම අනේකවිධ තත්කාලීන අන් අදහස් ද ප‍්‍රකාශ කිරීමට එතෙක් අණසක පතුරවා ගෙන සිටි කාව්‍ය ආකෘතියට හැකියාව නොතිබූ බවට ඔවුන් තුළ තිබූ දැඩි විශ්වාසයයි. විශේෂයෙන් ගුනසිංහ සිංහල කවියේ ආකෘතික විපරිවර්තනයට උර දුන් ප‍්‍රධානතම හේතුවක් වූයේ මෙය යි. බාලසූරිය මේ තත්ත්වය විස්තර කරනුයේ මෙසේ ය:

සිරි ගුනසිංහගේ කවිවලින් පෙනී යන මූලික ලක්‍ෂණයක් නම් නව චින්තන ප‍්‍රවාහයක් සන්නිවේදනය කිරීමට දැරූ උත්සාහයයි. කාලීන විඥානය ප‍්‍රකාශ කිරීමට සාම්ප‍්‍රදායික කාව්‍ය රීතියේ සම්පත් සීමිතව තිබීම ඔහු ඉදිරියේ වූ අභියෝගයයි. සීමිත කව් බස සහ එළිසමය ප‍්‍රතික්ෂේප විය. හැඟීම් ප‍්‍රබල ලෙසත් සියුම් ලෙසත් සන්නිවේදනය කළ හකි නව සංකල්ප රූප ඔහු විසින් නිර්මාණය කරන ලදී (බාලසූරිය 1998: ix).
අනෙක් අතට, තත්කාලීන ගෝලීය කතිකා මගින් උකහාගත් දැනුම හා ඒවායේ දේශපාලනය  මෙරට තත්ත්වයනට ගලපා ගැනීමට දැරූ උත්සාහයක් ද තත්කාලීන අනුභූති සන්නිවේදනය උදෙසා කාව්‍යාකෘති විපරිවර්තනයට ලක් කිරීමේ උනන්දුව තුළ රැුඳී තිබුණි. සැබැවින් ම ලොව ඇතැම් ප‍්‍රදේශවල (බටහිර යුරෝපය සහ උතුරු ඇමෙරිකාව) 1950 දශකයේ අගභාගය පමණ වන විට පිබිදෙමින් තිබූ ලිංගිකත්වයේ දේශපාලනය මෙන් ම ඒ වන විට ද ස්ථාපනය වී තිබූ නිදහස් කාව්‍ය ව්‍යාපාරයේ අදහස් ද (free verse) ගුනසිංහගේ සංස්කෘතික දේශපාලනයට ජවය සැපයූ බව පැහැදිලි ය.

මෙහි දී කාව්‍යමය ආකෘතික විපරිවර්තනය නැතිනම් නිසදැස් ව්‍යාප්තිය යන කරුණ දෙස මඳක් විස්තරාත්මක ව බැලිය යුත්තේ එය ද එක් අතකින් පුළුල් වශයෙන් සදාචාරය/පාරිශුද්ධත්වයේ කොටසක් ලෙස තේරුම් ගත හැකි නිසාත් අනෙක් අතට,  ඒ දෙස විචාර පූර්වකව බලන්නේ නම් එය පැහැදිලි පදනම් හා මතවාදීමය ආකෘති මත පිහිටා දියත් කළ ව්‍යාපාරයක් ලෙස පෙනී යන නිසාත් ය. ගුනසිංහගේ විවේචකයන් ඔහුගේ නව්‍යකරණ ක‍්‍රියාවලිය දුටුවේ පාරිශුද්ධ භාෂා අඩවියක් හරහා හමා යන චණ්්ඩ මාරුතයක් ලෙසිනි.  එනම් මූලික වශයෙන් එළිසමය රකිමින් සිව්පදය හරහා සරල සුගම බසින් අනේක වර්ණනා ඉදිරිපත් කළ කවීන් හා ඔවුන්ගේ පාඨකයන් නිසදැස් ආකෘතිය මෙන් ම ඒවායේ අන්තර්ගතය දුටුවේ තමන් මහත් පරිශ‍්‍රමයකින් තනා ගත් එමෙන් ම ආරක්ෂා කරගත් පාරිශුද්ධ අඩවිය තුළ දිග හැරෙන අවර ගණයේ කාව්‍ය නිර්මාණ නැතිනම් කවියේ පාරිශුද්ධත්වයට වින කරන සදාචාර විරෝධී ආකෘතික ප‍්‍රවණතාවක් ලෙසට ය. මේ ප‍්‍රවණතාව කුලසූරිය විස්තර කෙළේ පහත සඳහන් ලෙසිනි:
නිසදැස්කරුවෝ සාම්ප‍්‍රදායික රටාව බිඳළුෑහ... සිංහල පද්‍යයේ පාරම්පරිකව පැවති, ගැයීමට තුඩු දුන් ගුණය නෙරපා (නිකම්) කියැවීමට නැඹුරු රචනා විශේෂයක් ඇති කළහ. මේ එක ද අංගයක් සිංහල පද්‍ය විෂයෙහි ස්වාභාවික ලෙස සිදුවූවක් නොවේ. එහෙයින් ඒ වෙනස්කම් අපරදිග පද්‍ය කාව්‍යය සේවනයෙන් තනා ගන්නා ලද යි ඇඳින්වීම යුක්ති යුක්ත වෙයි. තවද අකුරු යෙදුම ද කෙළෙසුණේය. වාග් රීති ඉක්මවා ගොස් වාක්‍ය වින්‍යාසය ද වැනසී ගිය තැන් සුලභ වේ (කුලසූරිය 1980: 5).
කුලසූරිය තවදුරටත් පවසන අදහසක් නම් ‘‘නිසදැස්කරුවෝ සාම්ප‍්‍රදායික සිංහල පද්‍යයේ ශික්‍ෂණය ලැබ ඒ අනුව පද්‍ය බැන්දා හු නොවෙති, එහි ආභාසය ලද්දාහු හෝ නොවෙත්’’ යනුවෙනි (කුලසූරිය 1980: 6). නිසදැස් පිළිබඳව මතු වූ මෙවැනි විවේචන මගින් එළිදරව් කරන කරුණු කිහිපයකි. මේවා ඍජුවම ගුනසිංහගේ කාව්‍යමය භූමිකාව පිළිබඳ මතුවන අදහස් වන බැවින් ඒ පිළිබඳව මඳක් විමසා බැලීම වටී. පළමුවැන්න නම් නිසදැස්වල මතුවීම සිංහල පද්‍ය සංවර්ධනය මත අස්වාභාවිකව නැතිනම් කෘත‍්‍රීමව බටහිරින් ආනයනය කරමින් ආරෝපණය කළ ආකෘතියක් යන අදහස වේ. ගුනසිංහගේ මෙන්ම පේරාදෙණිය ගුරුකුලයේ අන් කවීන් අතරට ගැනෙන විමල් දිසානායක වැන්නවුන්ගේ අධ්‍යාපන වටපිටාව දෙස බලන විට බටහිර යුරෝපීය හා උතුරු අමෙරිකානු බුද්ධිමය පර්ශදවලින් මතු වූ අදහස් හා ආකෘති සිංහල නිර්මාණකරණය වෙත සාමාන්‍ය වශයෙන් ද, කාව්‍යකරණය වෙත සුවිශේෂී වශයෙන් ද ආලෝකය සැපයූ බව පැහැදිලිය. සැබැවින්ම පාඨාන්තරීය පාඨනය මෙන්ම අනේක කතිකාවනට විවර වී ඒවායේ අදහස් නිර්මාණනීය ලෙස උකහා ගැනීම හා නව්‍යකරණයට ලක් කිරීම සමාජ හා සංස්කෘතික ප‍්‍රවර්ධනය හා විපරිවර්තනයේ සාමාන්‍ය හා ප‍්‍රයෝජනවත් ගතිකත්‍වයකි. පැබ්ලෝ පිකාසෝගේ චිත‍්‍ර කලාවට අප‍්‍රිකානු මහාද්වීපයේ නොයෙකුත් ජනකලා ආභාස ලැබූ බව අද දින පිළිගැනෙන කරුණකි. ඔහුගේ කලා භූමිකාවේ අද්විතීයත්වය රඳා පවතින එක් පදනමක් වනුයේ ද එයයි. ලෝක සංස්කෘතික කතිකා තුළින් මෙවැනි උදාහරණ බහුල ලෙස සපයා ගත හැකි අතර මෙහිදී මට අවධාරණය කිරීමට අවශ්‍ය වන්නේ සංස්කෘතිකාංග හෝ ආකෘති එක් සංස්කෘතියකින් තවත් සංස්කෘතියකට නිර්මාණනීය ලෙස ආදේශ කර ගැනීම නැතිනම් ගලපා ගැනීම එසේ ණයට ලබාගත් සංස්කෘතියේ අනන්‍යතාව විනාශ කිරීමට තුඩු දෙන්නේ යැයි සැලකීම අර්ථ විරහිත බවයි. එනමුත් මෙවැනි සංස්කෘතික උකහා ගැනීම් හරහා සංස්කෘතික අනන්‍යතාව හා ඒවායේ දිශානති අපට අවශ්‍ය පරිදි හැඩගස්වා ගැනීමට සංස්කෘති තුළ ඉතාමත් නම්‍ය ලෙස අවකාශ සැකසී ඇත. ඒවාට සීමා පැමිණෙන්නේ යථාර්ථය මත පදනම්ව නොව දේශපාලන ප‍්‍රවේශ මත පිහිටාය. මේ අනුව නිසදැස් අස්වාභාවික වීමත් ඉන්දීය සංස්කෘතික විශ්වයෙන් ණයට ගත් සමුද්‍රඝෝෂ විරිත ගුරු කරගත් කොළඹ යුගයේ කවීන්ගේ පබැඳුම් ස්වභාවික වීමත් බෙහෙවින් ගැටලූකාරීය. මෙහිදී මතු වන ගැටලූව නම් අතිපාරිශුද්ධ වශයෙන් පිළිගැණුනු සිංහල පද්‍ය අවකාශයට භාරතීය නොවන අවකාශ හෝ ආකෘතිවලින් ආභාස ගෙන ඒම සාම්ප‍්‍රදායික විරෝධී ලෙස සරලව හා සාවද්‍ය ලෙස සැලකීමයි.

තව ද සිරි ගුනසිංහ මෙන් ම විමල් දිසානායක වැනි කවීන් නිසදැස ආකෘතියක් ලෙස යොදා ගත්තේ කුලසූරිය පවසන ආකාරයට සාම්ප‍්‍රදායික සිංහල පද්‍යයෙහි ශික්ෂණය හෝ ආභාසය නො ලැබූ නිසා නො ව එහි සීමා අතික‍්‍රමණය කිරීමට මතවාදීමය වශයෙන් පෙළඹීම නිසා ය. ගුනසිංහගේ භාෂා දැනුම හා විචාර ලිපි ලේඛන ආදිය ආශ‍්‍රය කිරීමේ දී මේ තත්ත්වය මනා ලෙස පසක් වේ. 1959 දී ඇල්. ඇම්. ඒ. සිල්වා ඉදිරිපත් කෙළේ ද කුලසූරියගේ විවේචනයට බෙහෙවින් සමාන විවේචනයක් වුව ද එය වඩාත් කඨෝර හා අශාස්ත‍්‍රීය ලෙස මුදාහැර තිබුණි:
විවිධ ශාස්ත‍්‍ර ශාස්ත‍්‍රාන්තරයන් විෂයෙහි ලබනා ලද බුද්ධි බලයකුත්, එහෙයින් ම අත්පත් කරගන්නා ලද උසස් උපාධිත් ඇති ලංකා විශ්වවිද්‍යාලයේ ඇදුරුවරයෙකු වන සිරි ගුනසිංහ මහතා විසින් කාව්‍ය ලක්ෂණයන්ගෙන් පරිබාහිර වූ පිදුරු පරඬැල් හා සමාන කළ හැකි නිසරු පදවැල් සමූහයක් (නිසදැස්) නමින් හඳුන්වමින් ප‍්‍රචාරයට පත්කොට සාහිත්‍ය ලෝකයෙහි මහදාලෝලනයක් ඇති කළ බැව් බොහෝ පාඨකයන්ට මතක තිබිය යුතුය (සිල්වා 1959: 133-134).
මෙවැනි ප‍්‍රකාශ වෙතින් මතුව එන ප‍්‍රධානත ම අදහසක් නම් නිසදැස් බටහිරින් ආනයනය කළ ආකෘතියක් මත පදනම් ව ඇති නිසා සිංහල සංස්කෘතියට ආගන්තුක බවත් ඒවා සාරවත් නොමැති බව හා ඒවා කාව්‍ය නො වන බවත් ය. මේ අදහසට හේතු වී ඇත්තේ කාව්‍ය යම් සුපැහැදිලි එක් මාදිලියකට නැතිනම් ආකෘතියකට අයත් විය යුතු යැයි මේ බොහෝ විවේචකයින් අන්ධ භක්තියෙන් ඇදහීම නිසා ය. පටිසෝතගාමී ආකෘති හෝ ප‍්‍රවේශ මේ සාම්ප‍්‍රදායික දැක්ම තුළ පැහැදිලිව ම පිළිකෙව් කෙරිණ. කුලසූරියගේ අදහස්වලට බොහෝ සමානව යමින් සිල්වා ගුනසිංහ වැන්නවුන් නිසදැසට නැඹුරු වීම විස්තර කරන එක් පදනමක් වන්නේ එම කවීන්ට ‘‘වෘත්ත, ඡුන්දස් හා එළිසමය සහිත සිංහල කවි සමයට කවර අන්දමේ පද්‍යයක් හෝ ගලපා ගැනීමට’’ ශක්තියක් නොමැති වීම යන්න යි (සිල්වා 1959: 135). එනම් සංකීර්ණ කාව්‍යකරණයේ නිරත වීමේ නොහැකියාව නිසා නැතිනම් සමුද්‍රඝෝෂ විරිතෙහි පදනම් තුළ සිට කවි ලිවීමට නොහැකි වූ නිසා සරල ආකෘතියක පිහිට පැතුවේය යන්න යි. නිසදැස් ආකෘතිය පිළිබඳ මේ විවේචන සියල්ලට ම මූලික පදනම මා මුලින් ම පැවසූ ආකාරයට සාම්ප‍්‍රදායිකව චිරාත් කාලයක් මුළුල්ලේ පැවත ආවේ යැයි විශ්වාස කරන පාරිශුද්ධ කාව්‍ය අවකාශයට මේ කණ්ඩායම අස්වාභාවික ලෙස හා සදාචාර සම්පන්න නොවන ලෙස කඩා වැදුනේ ය යන විශ්වාසය යි. ඊට සිංහල සංස්කෘතියට හානියක් වේය යන සාමාන්‍ය විශ්වාසය ද කවිය සංකර වේය යන විශේෂ සංකාව නැතිනම් භින්නෝන්මාදය ද ඇතුළත් වීය.

මේ සමස්ත භූමිකාව තුළ නිසදැස්කරුවන් හා ඔවුන්ගේ අනුගාමිකයින් තම භූමිකාව විස්තර කළ අයුරු ද සොයා බැලීම වටී. මීට හේතුව නම් මේ බොහෝ විවේචන නිසදැස්කරුවන්ගේ අදහස් තුළ ගැටලූ විශ්වයක් බවට පත්වන නිසා ය. නිසදැස් කාව්‍ය සම්ප‍්‍රදාය හා සිරි ගුනසිංහගේ භූමිකාවට පිළිබඳව අදහස් දක්වන බාලසූරිය පෙන්වා දෙන්නේ මේ ව්‍යාපෘතිය වෙත යොමුවූවන් ‘‘සිංහල සමාජයේ හා සංස්කෘතියේ මුල් සිඳ නොගත්තා වූ ද සිංහල සංස්කෘතිය පිළිබඳ මනා ඇල්මක් ඇත්තා වූද තරුණ බුද්ධිමත් පිරිසක් වශයෙනි’’ (බාලසූරිය 1998: vii). ඔහු තවදුරටත් පෙන්වා දෙන පරිදි ඔවුන් සිංහල සංස්කෘතිය පිළිබඳව ලැබූ ‘‘මනා පරිචයෙන් ද අපරදිග භාෂා, සාහිත්‍ය හැදෑරීමෙන් හා ඇතැම් විට අන්‍ය සංස්කෘති හා ගැටීමෙන් ලබන කම්පනයෙන් ද පුබුදුවන ලද මනසකින් යුත්’’ පිරිසක් වූ අතර ම ඔවුන් දේශීය වාතාවරණය පිළිබඳ නොසතුටට පත් පිරිසක් ද වූහ (බාලසූරිය 1998: vii). ඉහත සඳහන් කළ විවේචකයන් දැක්වූ කේන්ද්‍රීය අදහසක් වූයේ නිසදැස වෙත යොමුවූවන් සිංහල සංස්කෘතිය පිළිබඳව මෙන් ම එහි පද්‍ය සාහිත්‍ය පිළිබඳව සප‍්‍රාමාණික දැනුමක් නොමැත්තන් වශයෙනි. එනමුත් බාලසූරියගේ අදහස් යථාර්ථය වෙත අපව වඩාත් සුපරික්ෂාකාරීව ගෙන යයි. එනම්, අදාළ කර්තව්‍යයට අවශ්‍ය ශාස්ත‍්‍රීය දැනුමට හා සිංහල සංස්කෘතිය පිළිබඳ ප‍්‍රායෝගික දැනුමට අමතරව තත්කාලීන විදේශ අධ්‍යාපනයකින් ලැබූ සසන්දනාත්මක  ශාස්තී‍්‍රය දැනුමේ ආලෝකය ද ඔවුන් සතු වූ බව යි. විදෙස් අධ්‍යාපනයක් යන්න නිතැතින්ම බුද්ධි කලම්බනයක් ය යන්න මින් අදහස් නො වේ. එනමුත් ගුනසිංහ වැන්නවුන් 1950 ගණන්වල දී අපරදිග ශාස්ත‍්‍රාලයන්ගෙන් ලැබූ අධ්‍යාපනයෙන් එවැනි කර්තව්‍යයකට ජවය සැපයූ බව පැහැදිලි ව පෙනේ. ඊට හේතුව එවන් අධ්‍යාපනයක ආලෝකය තත්කාලීන පරිස්ථානීය සංස්කෘතික අඩවි තුළ හසුරුවා ගැනීමට අවශ්‍ය දේශීය භාෂා හා සංස්කෘතික දැනුම ඔවුන් සතුව තිබූ නිසා ය. පෙරදිග හා අපරදිග භාෂා හා කාව්‍ය ශාස්ත‍්‍ර මෙන් ම ලලිත කලා පිළිබඳව ලැබූ යුරෝපීය අධ්‍යාපනය ද ප‍්‍රංශ සාහිත්‍යය සමීපව ඇසුරු කිරීමෙන් ලද පරිචය ද ගුනසිංහගේ සිංහල භාෂා නිර්මාණකරණයට ජවය සැපයූ බව බාලසූරියගේ අදහසයි (බාලසූරිය 1998: vii). එමෙන් ම, විශේෂයෙන් ම නිසදැස් කවි පරපුරට විසඳා ගැනීමට අවැසි වැදගත් තාක්ෂණික ප‍්‍රශ්න ගණනාවක් ද විය. ඒවා මූලික වශයෙන් කවියේ ආකෘතිය හා එහි ප‍්‍රකාශන හැකියාව සමග බැදී තිබුණි. තත්කාලීන යථාර්ථ, අනුභූති හා සිතුවිලි කවි මගින් ඉදිරිපත් කිරීමට උත්සාහ දැරූ පසුව නිසදැස් කවීන් ලෙස හැඳින්වූ ද්විභාෂික කණ්ඩායමට එතෙක් අණසක පැතිරවූ එළිසමය රැුකි සිව්පද ආකෘතිය බෙහෙවින් සීමාකාරී විය. තම චින්තනය ප‍්‍රකාශ කිරීමේදී ඊට අවැසි ‘‘නිදහස් ආකෘතියක් හා වඩාත් ප‍්‍රබල භාෂා මාධ්‍යයක්’’ නිර්මාණය කර ගැනීමේ අභියෝගයට ඔවුන් මුහුණ දුන් අතර එහි ඵලය නිසදැස් කාව්‍ය නමැති නව කාව්‍ය සම්ප‍්‍රදායේ බිහි වීම යි (බාලසූරිය 1998: viii). මේ අනුව නිසදැස එවකට පැවති ආකෘතිකමය සීමා සවිඥානික ව අතික‍්‍රමණය කිරීමේ ප‍්‍රතිඵලය යි. ගුනසිංහ මේ පිළිබඳව පහත අදහස් ඉදිරිපත් කළේ මේ විවාදයේ මුල් යුගයේ දී ය. එකී අදහස් මූලික වශයෙන් කොළඹ යුගයේ කාව්‍ය ආකෘතියේ සීමා දැක්වීමක් වෙයි:
එසේ වුව ද, නූතන කවියාට සම්පූර්ණයෙන් ම සම්භාව්‍ය සම්ප‍්‍රදායෙන් මිදීමට නොහැකි වූයේ පාඨකයා තම නිර්මාණ කාව්‍ය ලෙස නොපිළිගනීය යන බිය නිසා ය. කාව්‍ය පිළිබඳ සිංහල සංකල්පය තුළ අනම්‍ය වෘත්තයක් අනුව සැදුම් ලත් සිව්පද නිර්මාණය පිළිබඳ අදහස මුල් බැස ගෙන ඇත. මෙය පාඨකයාට සරල දෙයක් වුවද එමගින් කවියාට නොයෙකුත් අසීරුතා මතුකරලයි. ඔහුගේ වාග් ලීලාව, වචන කෝෂය හා අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස මත මෙමගින් අනේක සීමා ආරෝපණය කරයි. ඔහු පේළි හතර පුරාවටම ඉදිරිපත් කළ යුත්තේ හුදෙක් එකම එක අදහසක් පමණි. මෙය ඇතැම්විට විකාර විස්තරවලට මගපාදන අතර එය මහා වචන විනාශයක් ද වන්නේය. සිව්පද හා එමගින් මතුකරනු ලැබූ ගැටලූ කාව්‍ය සම්ප‍්‍රදාය පහසුවෙන්ම අවසංවර්ධනයට ලක් කෙරුණි (ගුනසිංහ 1950: 70).
මේ අනුව පෙනී යන්නේ ගුනසිංහ ප‍්‍රමුඛ නිසදැස්කරුවන් සිංහල සංස්කෘතියෙන් හා එහි සාහිත්‍ය මූලයන්ගෙන් විනිර්මුක්තව හෝ ආන්තිකව, ඒ පිළිබඳව නොදැන තම භූමිකාව දියත් කළා යන්න නො ව, එකී අඩවිවල තිබූ සීමා (මතවාදීමය හා ආකෘතිකමය) අතික‍්‍රමණය කරන්නට දැරූ සවිඥානික උත්සාහයක් බවයි.

මේ පාරිශුද්ධවාදී/සදාචාරවාදී කතිකාව තුළ මතු වී එන අප හඳුනාගත යුතු තවත් වැදගත් කරුණක් පැහැදිලි ව විද්‍යමාන වේ. ගුනසිංහගේ කවි අනුභූතික වශයෙන් සිංහල සංස්කෘතියට හා ශ‍්‍රී ලාංකේය සමාජයට ආගන්තුක වූත්, ඉන් දුරස් වූත් ලෙස විවේචනය කරන හා ආකෘතික වශයෙන් නිස්සාර හා විදේශීය ලෙස දකින විචාරකයන් ම එම ආකෘතිය ම බොහෝවිට අනුගමනය කළ අන් කවීන් වෙත ඒ විවේචන ඉදිරිපත් කිරීමට මැලි වූහ. මෙය මහගම සේකරගේ කාව්‍යමය භූමිකාව පිළිබඳව අදහස් දක්වන කුලසූරියගේ වචන හරහා මැනවින් ප‍්‍රතිමූර්තිමත් වෙයි. සේකරගේ ව්‍යංගා කාව්‍ය සංග‍්‍රහයට විශේෂ අවධානය සහිතව කුලසූරිය මෙසේ පවසයි:
ගැදි කවි ලෙසින් ඉදිරිපත් කෙරුණු පබඳ ද ‘නිදහස්’ පැදි’ කවි ලෙසින් ගත හැකි පබඳ ද විය. වසර කිහිපයකට පෙර නිකුත් වූ මස් ලේ නැති ඇට (1956) යන්නෙහි පැනෙන හුදු නිසදැස් රටාවට වඩා කියවන විට කනට දැනෙන ක‍්‍රමවත් සදැස් රටාවකට අනුව බැඳි පබඳ මෙහි වැඩියෙන් දක්නට ඇත’’ (කුලසූරිය 1980: 08).
මේ සරල ප‍්‍රකාශයෙන් කුලසූරිය සේකරව ගුනසිංහගේ නිසදැස් ආකෘතිය ‘එතරම්’ සරණ නොයන්නෙකු සේ ගෙන නිදහස් කරගන්නට උත්සාහ දැරූව ද ආකෘතිකමය වශයෙන් ගුනසිංහගේ නිසදැස හා සේකරගේ නිසදැස් කවි අතර ඇති වෙනස විශ්ලේෂණීය වශයෙන් කොතෙක් දුරට වැදගත් වන්නේ ද යන ගැටලූව මතු වේ. ඉහත විශ්ලේෂණයට අනුව නම් සේකර ගුනසිංහගෙන් වෙනස් වන්නේ ඔහුගේ පද වඩාත් හොඳින් ‘කනට දැනෙන’ නිසා පමණි. එමෙන් ම කුලසූරිය සේකරව හඳුන්වන්නේ ‘‘තමාගේ ජන සමාජයේ වෙසෙන්නන්ගේ සිතුම්/පැතුම්,  ගති/පැවතුම් විමසීමේ මං’’ සෙවූ ‘‘සමාජ යථාර්ථය ගැන තැකීමකින් යුතුව කවි ලියූවකු’’ (1980: 08) ලෙසිනි. තවද යූ.පී. මැද්දෙගම උපුටා දක්වමින් කුලසූරිය තවදුරටත් පවසන්නේ, සේකරගේ කවිවල ‘‘සිංහලකම’’ මැනවින් රැුඳී ඇති බවත් ‘‘කවර දෙයක් ගැන කවර රීතියකින් ලියන මුත් ඔහුගේ කවි අප ජීවිතයටත්, සංස්කෘතියටත් ළං ව බැඳී පවතින’’ බවත් ය (කුලසූරිය 1980: 10). සේකරගේ විදේශීය ආභාසය පිළිබඳව කුලසූරිය දක්වන්නේ මෙවැනි අදහසක්ය: ‘‘එලියට, යේට්ස් වැනි ඉංගිරිසි කවීන්ගේ ‘නිදහස්’ පද්‍යයෙන් හෝ ජපන් හයිකු කවියෙන් හෝ තමා පෝෂණය ලැබුව ද ඔහුගේ කවි දේශීය හා ජාතික ලක්ෂණ රැුකෙන සේ සකස් වී ඇත’’ (කුලසූරිය 1980: 10).

ගුනසිංහගේ හා සේකරගේ කාව්‍යමය භූමිකා පිළිබඳව කෙරී ඇති මේ සංසන්දනාත්මක විවරණය බෙහෙවින් පරස්පර විරෝධී වන අතර, එය මූලිකව ම දිග හැරෙනුයේ පාරිශුද්ධත්වය, සදාචාරය හා නිර්මලත්වය පිළිබඳ චිත්තවේගීය හා අශාස්ත‍්‍රීය අගය කිරීමක් තුළ ය. සේකරගේ මෙන් ම ගුනසිංහගේ කවි ද සමාජ යථාර්ථ නොයෙකුත් මට්ටම්වල දී ද ආමන්ත‍්‍රණය කරයි. ඒ සංස්කෘතිය හා සමාජ යථාර්ථ මෙන් ම පෞද්ගලික අනුභූති පිළිබඳ විචාර පූර්වක අඩවියක් තුළ ය. සේකර මෙනයින් සමාජ යථාර්ථය ඇසුරු කරන්නේ නම් ගුනසිංහ ද සැබැවින් එසේ විය යුතු ය. සේකර සිංහලකම (එය කෙලෙස නිර්වචනය කළ ද) ආරක්ෂා කරගන්නේ නම් ගුනසිංහ එසේ නොකරන්නේ කෙසේ දැ යි දැනට පළව ඇති එකදු විවේචනයක හෝ ශාස්ත‍්‍රීයව විමර්ශනය වී ඇති බවක් නොපෙනේ. සේකරගේ විදේශාභාසය නිශේධනීය නොවන ලෙස දේශීය හා ජාතික ලක්ෂණ ආරක්ෂා කරන්නේ නම් ගුනසිංහ එම ආකෘතිය ම තුළ එලෙස ම ලැබූ ආභාසය මගින් පරිස්ථානීය ලක්ෂණ ආරක්ෂා නොකරන්නේ යැයි ප‍්‍රකාශ කිරීම අර්ථ ශුන්‍ය වන්නේය. තව ද මෙකී සමස්ත කතිකාව තුළ ම දේශීය හා ජාතික යන ප‍්‍රවර්ග ගැටලූවකින් හා පරස්පර විරෝධතාවලින් තොරව සංස්කෘතික විපරිවර්තනය නිරතුරුව ම සිදුවන යථාර්ථයක් තුළ හඳුනා ගත හැක්කේ කෙසේ ද යන්න විසඳා ගෙන නොමැති ඥානවිභාගාත්මක ගැටලූවකි. මෙහි දී පෙනී යන්නේ විවේචනයේ පදනම නිර්මාණ කෘතිවල ආකෘතිය, ආභාස හෝ අනුභූතිය යන කරුණු මත පමණක් පිහිටා සිදු නොවුනා පමණක් නොව, එය පුද්ගලික අනන්‍යතාව, මතවාදය හා දැනුමේ සීමා යන කරුණු මගින් ද බෙහෙවින් සීමා වී තිබුනු බවයි.

පැවති ඓතිහාසික සහ සමාජ දේශපාලන මොහොතේ බලපෑම හා ඥානවිභාගාත්මක ඛණ්ඩනයකට තිබූ අවකාශයේ ස්වභාවය

මෙතෙක් සාකච්ඡුා කරන ලද කරුණු ද සමගින් මා දැන් උත්සාහ කරනුයේ ගුනසිංහ නායකත්වය දුන් සාහිත්‍ය නිර්මාණීය විපර්යාසය ඥාන විභාගාත්මක ඛණ්ඩනයක් සේ දැකීමට ඇති අවකාශය ගවේෂණය කිරීමට යි. සාහිත්‍යය විධික‍්‍රමික ව හෝ වෙනත්  ඕනෑම දැනුම් පර්ෂදයකට අදාල උත්පාදනයක්, නව්‍යකරණයක් හෝ උකහා ගැනීමක් කිසිදු විටෙක  ඕපපාතික ව තත්කාලීන ව බල පවත්වන තත්ත්වයන්ගෙන් විනිර්මුක්ත ව සිදුවිය නොහැකි ය. මේ අනුව මා දැනටමත් පෙන්වා දී ඇති ආකාරයට ගුනසිංහගේ නිර්මාණීය භූමිකාව පැහැදිලිව ම එය මතු වූ සමාජ, දේශපාලන මොහොත හා ඊට අනුබද්ධිත තත්ත්ව හා එක් එක් මට්ටම්වලින් බැඳී තිබෙන බව අප තේරුම් ගත යුතු ය. එමෙන් ම එම මොහොතට සාපේක්ෂව යම් ඥාන විභාගාත්මක ඛණ්ඩනයක් සඳහා වෙර දරන පිරිසට ඊට අවශ්‍ය පසුබිමක් තිබිය යුතුය.

මෙතෙක් ඉදිරිපත් කළ සාකච්ඡුාව හරහා අපට පැහැදිලි ව එළඹිය හැකි නිගමනය නම් ගුනසිංහ හා ඔහු සමඟ නිර්මාණකරණ කාර්යයේ නිරත වූ සෙස්සන් සවිඥානිකව ඥාන විභාගාත්මක ඛණ්ඩනයක් හඳුන්වා දීමට උත්සාහ දැරූ බවත් එය සාර්ථක කර ගැනීමට අවශ්‍ය ශාස්ත‍්‍රීය හා සංස්කෘතික බලය ඔවුනට තිබූ බවත් ය. මේ කටයුත්තට ඉතාමත් වැදගත් තෝතැන්නක් ලෙස කටයුතු කෙළේ පේරාදෙණිය ගුරුකුලය වශයෙන් දැනට හඳුන්වනු ලබන බුද්ධිමතුන්ගේ එකතුවයි. ගුරුකුලයක් නැතිනම් කණ්ඩායමක් වශයෙන් ක‍්‍රියාත්මක වීම ම ඥාන විභාගාත්මක ඛණ්ඩනයකට වඩාත් ඉඩප‍්‍රස්තා විවර කර දෙයි. නැතිනම් ගුරුකුලයක පැවැත්ම ඥාන විභාගාත්මක ඛණ්ඩනයක සාර්ථකත්වයට වඩාත් පැහැදිලි ව මඟ පාදයි. මන්ද යත් පුද්ගල ක‍්‍රියාකාරීත්වයට වඩා කණ්ඩායම් ක‍්‍රියාකාරීත්වය මගින් එතුළ ඒකරාශීව සිටිනවුන්ට අවශ්‍ය අන්‍යෝන්‍ය සහයෝගය, ජවය හා ආරක්ෂාව ඉන් සැපයෙන නිසා ය. ගුනසිංහ ඇතුළු කණ්ඩායම වඩාත් ජවසම්පන්නව ක‍්‍රියාත්මක වූ 1950-60 දශකය බාලසූරිය හඳුන්වනුයේ ද්විභාෂික උගතුන්ගේ විශාල පිබිදීමක් පෙන්නුම් කළ යුගයක් ලෙසයි (බාලසූරිය 1998: vii). සැබැවින් ම පේරාදෙණිය ගුරුකුලය මේ උගතුන්ගේ ඇතැමුන් නියෝජනය කළ අතර මේ පිබිදීමට සැලකිය යුතු මට්ටමේ ජවයක් සැපයුව බව සැලකිය යුතු ය. බාලසූරිය දක්වන පරිදි මේ පුළුල් කණ්ඩාම ‘‘නාමික වශයෙන් ලද නිදහස ජාතික උරුමයන් බවට පත් නොවීම නිසා නොසතුටට පත්’’ වූ අතර ඔවුහු ‘‘පුරාවිද්‍යාව, ඉතිහාසය, කලාශිල්ප, නාට්‍ය, කාව්‍ය, චිත‍්‍රපට ආදී විෂයයන් හෝ මාධ්‍යයන් මගින් ජාතික අනන්‍යතාව පිළිබඳ සලකුණු සෙවීමට උත්සාහ දැරූහ (බාලසුරිය 1998: vii). පේරදෙණිය ගුරුකුලය යනු මේ කණ්ඩායමේ එක් සුපැහැදිලි විස්තීරණයකි. එහි ප‍්‍රධාන චරිත වූයේ එදිරිවීර සරච්චන්ද්‍ර, සිරි ගුනසිංහ, ගුණදාස අමරසේකර හා ඔවුන් අනුගමනය කළ පේරාදෙණිය සරසවිය බිහිකළ ශිෂ්‍ය ප‍්‍රජාවත් ය. පසුව මේ කණ්ඩායමේ බලය පේරාදෙණිය සරසවි සීමාවෙන් ඔබ්බට ද විහිදුනි. 'පිං ඇති සරසවි වරමක් දෙන්නේ' 1985) යන පඨිතය මගින් පේරාදෙණිය ගුරුකුලය යන අදහස මෙන් ම එමගින් ධ්වනිත කරන යථාර්ථය සරච්චන්ද්‍ර බැහැර කෙළේ පහත සඳහන් පරිදි ය:
පේරාදෙණිය ගුරුකුලයක් ගැන සමහරු කතා කළහ. එහෙත් එබන්දක් නොතිබිණි. මා ගුරුවරයෙකු වීමත් මගේ ශිෂ්‍යයන් මා අනුගමනය කිරීමත් වෙනම දෙයකි. එය මට වැළැක්විය නොහැක්කකි. එහෙත් මා සිතා මතා ගුරුකුලයක් පිහිටුවේයයි සිතීම මිථ්‍යාවකි. මගේ ශිෂ්‍යයන්ට මම සාහිත්‍ය විචාරය ඉගැන්වූවෙමි. සැම දෙයක් ගැන ම තර්කානුකූලව සිතීමට පුරුදු කළෙමි...
පේරාදෙණිය සාහිත්‍ය යැයි කිසිවක් තිබී නම් එහි නිර්මාතෘවරු කවරහුද? නිර්මාණාත්මක කර්තෘවරුන් අතර, පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා සම්බන්ධ වී හුන් තිදෙනා නම් සිරි ගුනසිංහත්, ගුණදාස අමරසේකරත්, මමත් ය. එහෙත් අපි තිදෙනා අත්තුක්කන්සන පරවම්භන කාර්යයෙහි යෙදී සිටින්නවුන් ලෙස හැඳින්විය හැකි ද? (සරච්චන්ද්‍ර 1985:214-216).
පේරාදෙණිය ගුරු කුලයේ යථාර්ථය බැහැර කිරීමට එහි නිර්මාතෘවරයෙකු ම දරන ලද මේ උත්සාහයට ඓතිහාසික ව සහ සන්දර්භයානුකූල ව කිසිදු පිටුවහලක් නොලැබේ. ගුරු කුලයක් යනු හුදු නිලවරණයක් මගින් ගොඩනගාගත් විධිමත් හෝ නිල කණ්ඩායමක් වීම අවශ්‍ය නො වේ. අනෙක් අතට නිර්මාණ සාහිත්‍ය පිළිබඳ ගුරුකුලයක පැවැත්මට හුදු ප‍්‍රධාන චරිත ගණනාවක් යම් ආයතනයක් (උදාහරණමක් ලෙස පේරාදෙණිය සරසවිය) ආශ‍්‍රිතව කටයුතු කිරීම ද ප‍්‍රමාණවත් නො වේ. සරච්චන්ද්‍රගේ මේ නිර්වචනයේ ඇති සීමා අතික‍්‍රමණය කළ විට පේරාදෙණිය ගුරුකුලයේ යථාර්ථය මැනවින් විද්‍යමාන වේ. එය හුදු පුද්ගලයන් කිහිප දෙනෙකුගේ එකතුවක් නො වී ය. සරච්චන්ද්‍ර, අමරසේකර, ගුනසිංහ හා පසුව විමල් දිසානායක වැනි අය වඩා කැපී පෙනෙන චරිත හා ගාමක බලවේග බවට පත්විය. එනමුත් ඔවුන් අනුගමනය කළ බොහෝ දෙනා පේරාදෙණිය සරසවිය තුළත් ඉන් පරිබාහිරවත් කාලීනව ව්‍යාප්ත විය. මේ කණ්ඩායමේ මූලික මතවාදී හරය වූයේ එවකට පැවැති සාහිත්‍යමය ආකෘති ඔවුනට ආමන්ත‍්‍රණය කිරීමට අවශ්‍ය වාදවිෂය සමඟ ගනුදෙනු කිරීමට ප‍්‍රමාණවත් නොවීම නිසා නව ආකෘති හා එළඹුම් සොයාගත යුතු බවයි. මේ ගුරුකුලය තුළ කුමන මතවාදී වෙනස්කම් තිබුණ ද පසු ව මතු වුන ද (විශේෂයෙන් ගුණදාස අමරසේකර සමඟ)මේ මූලික හරය පේරාදෙණිය ගුරුකුලයේ පදනම විය. කෙටියෙන් හෝ මෙකී ගුරුකුලය පිළිබඳ මා මෙපමණ කතා කෙළේ ගුනසිංහ හා ඔහුගේ අනුගාමිකයන් දියත් කරන ලද ඥානවිභාගාත්මක ඛණ්ඩනයේ සාර්ථකත්වයට ගුරුකුලයේ ආලෝකය මහත් ජවයක් සැපයූ නිසා ය. කණ්ඩායමේ ප‍්‍රධානීන් තුළ තිබූ ඇතැම් ආකල්පමය හා මතවාදී වෙනස්කම් ද එකී වර්ධනයට රුකුල් දුන්නේ ය. ගුරුකුලයක් ලෙස නොපැවතුණේ නම් ගුනසිංහ, අමරසේකර, සරච්චන්ද්‍ර යන්නවුන්ගේ ඒක පුද්ගල නව්‍යකරණයන් සමාජය වෙත බලපෑම් කරන්නට වඩාත් වැඩි කාලයක් ගතවන්නට ඉඩ තිබුණි.

නිගමන සටහන්
දැන් මාගේ අදහස මේ සාකච්ඡුාව යම් සමාප්තියකට රැුගෙන යාම යි. සිරි ගුනසිංහගේ නිර්මාණකරණය පිළිබඳ දේශපාලනය අප වටහා ගත යුත්තේත්,  විශ්ලේෂණය කිරීම සහ විචාදයට නතු කළ යුත්තේත්් එම නිර්මාණ බිහිවූ සංස්කෘතික මොහොත තේරුම් ගැනීමෙන් ය යන කාරණය මෙතෙක් කරන ලද පාඨනයෙන් මතුවූයේ ය යන්න මගේ විශ්වාසය යි. එසේ ම ගුනසිංහ සිය නිර්මාණ ඉදිරිපත් කෙළේ සාම්ප‍්‍රදායික සමාජයේ ඇතැමුන් වෙලී හුන් වික්ටෝරියානු සදාචාරාත්මක මතවාදයට එරෙහි ව්‍යාපාරයක් ලෙසින් ය යන සත්‍යයත් අප සිහියේ තබා ගත යුතු ය. ඔහු සිය අදහස් පටිසෝතගාමී ස්වරූපයකින් ඉදිරිපත් කිරීම සහ නව ආකෘතියක් හඳුන්වා දෙමින් කාව්‍ය භාෂාවේ හා ආකෘතික රටාවේ එතෙක් පැවැති ඒකාධිකාරිය බිඳහෙළීම, පැවැති කතිකාවනට විරුද්ධ කි‍්‍රයාකාරකමක් ලෙස භාෂා පාරිශුද්ධවාදීන්ගේ හා කාව්‍ය පිවිතුරුවාදීන්ගේ නිර්දය විවේචනයට නතු වූ බව ද අප දන්නා කරුණකි. එසේ වුව ද එම විවේචන අභිමුව ගුනසිංහ සිය නිර්මාණ ව්‍යාපාරය දියත් කෙළේ හා පවත්වාගෙන ගියේ ඔහු උකහා ගත් විදෙස් දැනුම මතවාදීමය වශයෙන් දේශීයකරණයට ලක් කිරීමේ අදහසින් මෙන් ම තමන් සතු වූ ගැඹුරු පරිස්ථානීය සංස්කෘතික දැනුම නව අර්ථවිවරණයකට භාජනය කරමින් බව පැහැදිලි ය. ගුනසිංහගේ නිර්මාණකරණ කි‍්‍රයාවලිය පිළිබඳ මෙතෙක් කෙරී ඇති විවේචන තුළින් මෙරට සාහිත්‍ය විචාරය පිළිබඳ යම් අදහසක් ද මෙහි දී ලඝු කොට දැක්විය හැකි ය. එනම් මෙම විචාර සියල්ලක් ම පාහේ පෞද්ගලික විරෝධතා මුල් කරගනිමින් මතු වූ පටු විවේචන වන බවකි. මෙම විවේචන වුව ද ඉදිරිපත් කර ඇත්තේ ඒකාංශික යොමුවකින් සහ වික්ටෝරියානු සුචරිතවාදී කක්ෂයක ස්ථානගත කර ගත් පාරිශුද්ධවාදී සදාචාරයක් පිළිබඳ ව්‍යාකූල අදහස් ගොන්නක් මත පදනම් වෙමිනි. එසේ ම මෙරට විචාර සහ විවේචන එල්ල වනුයේ සීමාකාරී ප‍්‍රවේශයක මත පිහිටන පෞද්ගලික කෝන්තර පිරිමසා ගැනීමේ අරමුණක් ඇතිව බව ගුනසිංහ වෙත එල්ල වූ ඉහත සාරාංශ ගත කර ඇති බොහෝ විවේචනවලින් පැහැදිලි වේ. අවාසනාවකට මෙන් මේ තත්ත්වය යම් සීමා තුළ අදටත් වලංගු ය. මෙහි දී පෙනෙනුයේ විචාරකරණයේ නිරතවන්නන් බොහෝ දෙනා එදා සිට අද දක්වා  අන්තර් විෂයික ඥාන ගවේෂණාත්මක දුර්වලතා මෙන් ම ඒවා අදාළ විෂයික සන්දර්භයට මනා ලෙස ගලපා ගැනීමේ දුර්වලතා ද පසක් කරන බව යි. ගුනසිංහගේ මතවාදී අදහස් විවේචනයට නතු කළ බොහෝ පිරිසට අවබෝධ කර ගත නොහැකි වූයේත් එම මතවාද සීමාකාරී ප‍්‍රවේශයකට ලඝු වූයේත් මෙම අන්තර් විෂයික ඥාන ගවේෂණයේ පැවැති දුර්වලතා හේතුවෙනි.

කෙසේ වුව ද, ගුනසිංහගේ පෞද්ගලික ශාස්තී‍්‍රය භූමිකාව මෙන්ම පේරාදෙණිය ගුරුකුලය සමස්තයක් ලෙස නියෝජනය කළ වඩාත් පුළුල් භූමිකාව ද ඒවාට අදාළ ව මෙතෙක් සාකච්ඡුා කර ඇති ධනාත්මක මැදිහත්වීම සම්බන්ධයෙන් අගය කිරීම ගැටළුවක් නොවූව ද ගුනසිංහගේ භූමිකාව සහ පේරාදෙණියේ වඩාත් පුළුල් භූමිකාව එවක පැවැති බුද්ධි කලම්බන අවකාශයේ යම් නිශේධනීය ලක්ෂණ සලකුණු කරන බව ද අප අමතක නොකළ යුතු ය. එනම් ගුනසිංහට මෙන් ම පේරාදෙණිය ගුරුකුලයට අයත් වූ සෙස්සන්ට තම කර්තව්‍යය සනිටුහන් කළ ඥාන විභාගාත්මක ඛණ්ඩනය සාර්ථකව කර ගෙන යාමට අපමණ අවකාශ හා ජවය තිබුණ ද ඔවුන් හා සබැදුනු යම් ආකාරයේ බුද්ධිමය උද්දච්චකමක් කරණ කොට ගෙන කතිකාමය අඩවියක් තුළ අනිවාර්යයෙන් සාක්ශ්‍යාත් කර ගත යුතු ව තිබූ බහුස්වනීය තත්ත්වය ඔවුන් අන් අය වෙත එල්ල කළ නිර්දය විවේචන මගින් සහමුලින් ම පාහේ අසුරා දමා තිබුණි. මේ තත්ත්වය විස්තර කරන එක් අවස්ථාවක් මාර්ටින් වික‍්‍රමසිංහ පේරාදෙණි ගුරුකුලය ශී‍්‍ර  ලංකාවේ නව කතාවේ විපරිවර්තනය  පිළිබඳව දැක් වූ අදහස් විවේචනය කරමින් ලියූ රචනයකින් මැනැවින් විද්‍යමාන වේ:

සයිමන් ද සිල්වා, පියදාස සිරිසේන, ඩබ්.ඒ. ද සිල්වා ආදීන්ගේ නවකතා නියම නවකතා නොවෙතියි පේරාදෙණිය ගුරුකුල ඇදුරන් විසින් බැහැර කරන ලද්දේ
විවේචකයන් නොව ප‍්‍රචාරකයන් ලෙසිනි. මොවුනගේ ප‍්‍රචාරයෙහි ප‍්‍රතිඵල ඉහළ ම තැන  තෙක් නැංගේ 1964 කෑගල්ලේ පවත්වන ලද සිංහල සාහිත්‍ය සම්මේලනයේදී විමල් දිසානයකත් සිරි ගුණසිංහත් පැවැත්වූ කථා දෙකකිනි. ඒ කථා දෙකම පේරාදෙණියේ ගුරුකුලයේ අත්තුක්කංසනයත් පරගැති කමත් ප‍්‍රකට කරයි.
‘නව කතාව ජීවිත විවරණයකි’ යන මැයෙන් කථාව පටන් ගත් සිරි ගුනසිංහ නියම නව කථාව අගය කරන මඟ සොයා ගත්තේ පේරාදෙණිය ගුරු කුලයේ ඇත්තන් යැයි ඇගවීමට වෑයම් කළේ ය. ඒ සයිමන් ද සිල්වාගේ මීනා, අපේ ආගම වැනි නව කතා නොවේ. සීතා, මිරිඟුව නවකතා නොවේ. ඒ කථාවලින් රස විඳින්නෝ නව කතා නොහඳුනති...
මහා සභාවක දී මෙවැනි මත පළ කිරීමට තරම් හෙළි වෙන්නේ පේරාදෙණිය ගුරුකුල ශා‍්‍රවකයන්ගේ අගතිගාමී හා අල්ප දැනුමයි (වික‍්‍රමසිංහ 2006: 138).
වික‍්‍රමසිංහගේ නිගමනය කෙසේ වෙතත් ඔහුගේ විස්තරයෙන් පේරාදෙණිය ගුරුකුලය මෙන් ම ගුනසිංහ ද තම අදහස් පිළිබඳව නිරතුරුව ම පාහේ ඉදිරිපත් කළ ස්ථාවරය මැනවින් පැහැදිලි වේ. මෙය ඔවුන්ගේ අල්ප දැනුම පිිළිබඳ ප‍්‍රශ්නයක් නො වේ. සැබැවින් ම එය ඔවුන්ගේ ඉතාම පුළුල් වූ ශෘස්තී‍්‍රය හා සංස්කෘතික දැනුමට ඔවුන් ගනුදෙනු කළ බුද්ධිමය අඩවියේ අනේකවිධ පසුබිම් ග‍්‍රහණය කර ගැනීමට නොහැකි වීමත් බහුවිධ අදහස්වල පැවැත්ම අගය කිරීමට නොහැකි වීමත් යන කාරණාවල අවසනාවන්ත ප‍්‍රතිඵලයකි. මේ දැඩි ඌනතාව ගුනසිංහගේ සහ පේරාදෙණිය ගුරුකුලයේ සමස්ත භූමිකාවේ සාධනීයත්වයත් සමගම සිදු වූ දෙයකි. ගුනසිංහ ඇතුළු පේරාදෙණිය ගුරුකුලයේ නිසදැස්කරුවන් කොළඹ යුගයේ කාව්‍ය ආකෘතියේ සීමා මැනවින් හඳුනා ගෙන එහි සීමා අතික‍්‍රමණය කිරීමට සුදුසු ආකෘතියක් සොයා ගත්ත ද එකී කවිය ‘සමුද්‍රඝෝෂ පල්වල’ ලෙස බැහැර කිරීමෙන් දැක්වෙන්නේ ද නව නකාව සම්බන්ධයෙන් මෙන් ම කවිය පිළිබඳව දැක්වූ බහිෂ්කරණීය ආකල්පය යි. මෙහි දී ගැටළුව වන්නේ තම දැනුමේ හා පුහුණුවේ ආලෝකය මධ්‍යයේ නව දැනුමක් එක්රැුස් කිරීම හා එය පවතින දැනුමට වඩා බෙහෙවින් ඉදරිගාමීය යන කරුණ පසක් කර ගැනීම නො වේ. ගැටළුව නම් එකී ඥාන විශ්වයට පරිභාහිර සියළු දැනුම් ඒවායේ ප‍්‍රභවය පිළිබඳ බහුවිධ ඉතිහාස ද නොසලකා හරිමින් බැහැර කිරීම ය. 1976 වසරේ දී පළ වූ (අගෝස්තු -සැප්තැම්බර්) මාවත සඟරාවේ සංස්කාරකවරුන් විසින් පේරාදෙණිය ගුරුකුලයේ කේන්ද්‍රීය වැදගත්කම පිළිගනිමින් ම ඉහත සඳහන් සීමාව ද මැනවින් විස්තර කර තිබුණි. ඔවුන් පෝරාදෙණිය ගුරුකුලය හඳුනා ගත්තේ 1956 සිට 1970 දක්වා සංස්කෘතික ක්ෂේත‍්‍රයේ වැඩි බලයක් හිමිකර ගත් සුළුතර හා විදග්ධ කණ්ඩායමක් ලෙසිනි (මාවත සංස්කාරකවරු 1976: 5). පේරාදෙණිය ගුරුකුලය පිළිබඳ ඔවුන්ගේ විවේචනය සිද්ධ වූයේ පහත සඳහන් ලෙසිනි:

.....ඒත් සුළුතරය අතෙහි තිබුණු විචාර සංස්ථා තුළින්, බහුතරයේ ලේඛකයන්ට නිසි ගෞරවය ලැබුණේ නැත. විදග්ධ විචාරයෙන් විමලරත්න කුමාරගම ප‍්‍රමුඛව, කේයස්, මහින්ද හිමි, අල්විස් පෙරේරා, පියදාස සිරිසේන, මායා රංජන් වැනි ලේඛකයන්ට කර ඇති අසධාරණය බරපතලය. බහුතර කණ්ඩායමේ ද බලගතු අඩුපාඩු තිබුණේය. ඉන් ප‍්‍රධාන වන්නේ ඔවුන්ගේ දෘෂ්ටිමය දුප්පත්කමයි. මේ හේතුවෙන් සුළුතර ගුරුකුලයට එරෙහිව සංවිධානාත්මක හා හරවත් විචාර විවාදයක් පවත්වා ගැනීමට ඔවුන් අපොහොසත් වූණා. දෙගොල්ල අතර විවාදය හරවත්ව නොකෙරුණු නිසාම ප‍්‍රතිවිරෝධතාවයට අවශ්‍යව තිබුණු පිපිරීම ඇති වුණේ සංස්කෘතික ඉම තුළ නොව, ඊට පිටතින් වූ දේශපාලන බිමෙහිය (මාවත සංස්කාරකවරු  1976: 5).
මට පෙනෙන ආකාරයට ගුනසිංහ ඇතුළු පේරාදෙණිය ගුරුකුලයේ භූමිකාව හා ඔවුන්ට විරුද්ධව සිටි කණ්ඩායම්වල භූමිකාවත් ඒවායේ සාධනීය හා නිශේධනීය තත්ත්වයනුත් ඉතාමත් සූක්ෂමව තේරුම් ගත් අවස්ථාවක් ලෙස මාවත සඟරාවේ ඉහත විස්තරය හඳුනා ගත හැකිය. එමඟින් මතු කරන ප‍්‍රධානම අදහසක් නම් මේ කණ්ඩායම් අතර ශාස්තී‍්‍රය මට්ටමේ විචාරයකට අවකාශ විවර නොවීමේ ගැටලූවයි. අවාසනාවන්ත කාරණය නම් පේරාදෙණිය ගුරුකුලයට මෙන්ම විශේෂයෙන් ගුනසිංහට තම භූමිකාව සාර්ථක කර ගැනීමට අවශ්‍ය බුද්ධිමය පසුබිම මැනවින්  තිබුණ ද තම විවේචකයන්ට මෙන්ම ඔවුන්ට ද එය බහුස්වනීය අඩවියක් තුළ වඩා ප‍්‍රජාතන්තී‍්‍රය හා ශිෂ්ටවත් ලෙස කර ගෙන යාමේ හැකියාව හැඩ ගසා නොගැනීමයි.  


මා මෙතෙක් ඉදිරිපත් කළ සමස්ත කරුණු සාරාංශ ගතකිරීම යම් දුරකට අපහසු වුවද සිරි ගුනසිංහගේ නිර්මාණකරණ ව්‍යාපාරය අප අවසාන විග‍්‍රහයේදී වටහා ගත යුත්තේ ඉහත දැක්වූ අවාසනාවන්ත සීමා මධ්‍යයේ වුව ද මෑත කාලීනව දිගහැරුණු වඩාත් සුපැහැදිලි හා දීර්ග කාලීන බලපෑම් සහිත ඥානවිභාගාත්මක ඛන්ඩනය මෙන්ම මෙරට සාහිත්‍යයට පමණක් නොව සෙසු අන්තර් විෂයික අඩවි ගවේෂණය කිරීමට හා පාඨනය කිරීමට ද  අනේකවිධ ඉඩප‍්‍රස්ථා හිමි කර දුන් ඥාන ගවේෂණාත්මක කි‍්‍රයාවලියක් ලෙසිනි.

ආශ්‍රේය පඨිත

සරච්චන්ද්‍ර, එදිරිවීර.
1985. පිං ඇති සරසවි වරමක් දෙන්නේ. කොළඹ: දයාවංශ ජයකොඩි සහ සමගම.


සංස්කාරකවරු

1976. මාවත අංක 1, සංස්. එස්. විජේසූරිය සහ අන් අය. කොළඹ: මාවත ප‍්‍රකාශකයෝ.


සිල්වා, ඇල්. ඇම්. ඒ.

1959. විචාර විවරණය. කොළඹ: සීමාසහිත ෆ‍්‍රී ෆ්‍රෙස් සමාගම.


කුලසූරිය, ආනන්ද.

1980 (මැයි 10) සිංහල පද්‍යයේ ප‍්‍රවණතා - ඊයේ    කවිය අද ප‍්‍රතිචාරය. 1980 මැයි 10 වැනි දා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැවති දේශනයේ පිටපත.


ගුනසිංහ, සිරි.

1961. මස් ලේ නැති ඇට. මහරගම: සමන් මුද්‍රණාලය.


බාලසූරිය, සෝමරත්න.

1998. ‘නිසදැස් කාව්‍ය සම්ප‍්‍රදාය හා සිරි ගුණසිංහ’. අබිනික්මන. කොළඹ: එස්. ගොඩගේ සහ සහෝදරයෝ.


වික‍්‍රමසිංහ, මාර්ටින්.

2006. සිංහල නවකථාව හා ජපන් කාමකථා හෙවණැල්ල. රාජගිරිය: සරස (පෞද්ගලික) සමාගම.

Clifford, James and George E. Marcus
1986. Writing Culture: The Poetics and Politics of Ethnography. Berkeley: University of California Press.

Gunasinghe, B.A.S.

1950. 'The New Note in Contemporary Sinhalese Poetry'. In, Observer Annual. Colombo: Lakehouse.