කසුඑ මොරිසකි
පරිවර්තනය:
සසංක පෙරේරා
පරිවර්තක සටහනසසංක පෙරේරා
කතුවරිය - කසුඑ මොරිසකි. ඡුායාරූපය: සසංක පෙරේරා - ඔක්තෝබර් 2010. |
ඇගේ බොහෝ රචනාවලින් උද්දීපනය වන්නේ තම කොරියානු පසුබිමේ සන්දර්භය තුළ සිය ජපන් මව්බිම සමඟ ඇයට දැනුණු දැඩි ආන්තීකරණයයි. එමෙන්ම, රාජ්‍ය යාන්ත්‍රණ හරහා පුද්ගලයින්, විශේෂයෙන්ම කම්කරුවන් හා ස්ත්‍රීන් මුහුණපෑ පීඩනය මෙන්ම යටත්විජිතවාදය හා එහි ආදීනව, කොරියාවේ ඈ ලත් අත්දැකීම්, ජපානයේ ස්ත්‍රීන්ට තිබූ අඩු සැලකිල්ල යනාදිය ඇගේ චින්තනයේ හා දේශපාලනයේ පදනම සැකසීය.
කිවිඳියක්, නාට්‍යවේදිනියක් හා රචනා සම්පාදිකාවක් වන ඇය ජපන් සමාජයේ සකච්චාවට භාජනය නොවන තත්ත්ව ඇගේ කෘති හා වාර්තාමය ලිපි ලේඛන ඔස්සසේ ගවේශණය කළාය. මේ කෘති අතර මක්කුර (තද අඳුර, 1961), දයි-සන් නො සෙයි (තෙවන ලිංගිකත්වය, 1965) හා කරයුකි-සන් (විදේශයකදී විකුණන ලදී, 1975) ආදිය වේ. වඩාත් මෑතකදී ඇය ස්වභාවධර්මයේ සංජෛවීයත්වය සමගින් මානව ආශාවේ ප්‍රතිප්‍රාප්තිය ගවේෂණය කරමින් කෘති පෙළක් රචනා කළාය. ඉන් වඩාත් ප්‍රසිද්ධ වී ඇත්තේ ඉනොචි හිබිකිආඋ (ජීවිතයේ දෝංකාර, 1998) යන කෘතියයි.
කසුඑ මොරිසකිගේ තඳ අඳුර යන කෙටි පඨිතයට පදනම් වී ඇත්තේ උතුරු ක්යුෂු ප්‍රදේශයේ චිකුහෝ පළාතේ ව්‍යාප්ත වී තිබූ ගල් අඟුරු පතල්වල සේවය කළ ස්ත්‍රීන්ගේ ජීවිතයි. ඇය මෙහිදී පතල්වල පැවති තත්ත්වය හුවා දක්වන්නේ ටොන්චන් නම් වූ එක් පතල්කාරියකගේ ජීවිත ඉතිහාසය මගිනි. මේ වන විට මේ පතල් සියල්ල වසා දමා තිබුණද 1960 වන විටත් මේ පතල්කාරියන්ගෙන් කීප දෙනෙක් ජීවතුන් අතර සිටියහ. තද අඳුර ජපන් බසින් මුලින්ම පළ වූයේ 1961 දී ය. එහිදී මොරිසකි උත්සාහ ගන්නේ තම ප්‍රජාවේ ජීවත් වූ පතල්කාරියන් ඔවුන්ගේ ජීවිත පිළිබඳව කියූ ආඛ්‍යාන වාර්තා කර, ඒවා චරිතාපදාන හා නිර්මාණ සාහිත්‍යය කෘතිවල දැක ගත හැකි ශෛලීන් සමග එක් තැන් කර ඉදිරිපත් කිරීමටයි. සාපේක්‍ෂ වශයෙන් කෙටි පඨිතයක් වුවද, තද අඳුර කාරණා කීපයක් නිසා බෙහෙවින් වැදගත් වේ. ක්ෂේත්‍ර පර්යෙෂණ ඔස්සේ හා දීර්ඝ සම්මුඛ සාකඡ්චා ඇසුරින් මේ ස්ත්‍රීන්ගේ ජීවිත කතා වාර්තා කිරීම සම්බන්ධයෙන් මෙය භාවිත පර්යේෂණ ශිල්ප ක්‍රම හා ආඛ්‍යාන ස්වරූපය සම්බන්ධයෙන් පුළුල් වශයෙන් මානව විද්‍යාත්මක ව්‍යායාමයක් වශයෙන් වැදගත් වේ.
එමෙන්ම, වඩාත් පැහැදිලිව ජපානයේ කාන්තා අධ්‍යයන සඳහා මේ කෘතිය යම් පිටුවහලක් ද ලබා දී ඇතියි යන්න ද තත්කාලීන ජපන් බුද්ධිමය කතිකාව තුළ පිළිගැනීමට ලක් වී තිබේ. තවද කතුවරිය ජපානය කොරියාවේ මුදාහළ සමස්ත යටත්විජිතාදී ක්‍රියාවලිය සමඟ තිබූ අතිශයින් සංකීර්ණ හා පුද්ගලික සබඳතාව හා විරෝධත්වයේ බලපෑම මේ කෘතියට හා ඇගේ අන් කෘතිවලටද ගෙන එන බැවින් මෙය මුල් කාලීන ජපන් පශ්චාත්යටතිවිජිත ස්ත්‍රීවාදී පඨිතයක් යන්නද වාද විෂයක් වශයෙන් මතු කරගත හැක. මේ සන්දර්භය තුළ ස්ත්‍රීත්වය සංකීර්ණ සමාජ ලිංගිකත්ව ප්‍රවර්ගයක් ලෙස මෙන්ම අධිපතිවාදී සංස්කෘතික, සමාජ හා දේශපාලනික නියෝජනයන්ට ප්‍රතිරෝධය පෑ, ඒවායේ අණසකට යටපත් නොවූ ප්‍ර වර්ගයක් ලෙස මතුකර ගැනීමට මොරිසකිට අවශ්‍ය වූ බව පැහැදිලිය. ආන්තික මට්ටමේ යටපත්ව තිබූ ස්ත්‍රී කටහඩ එකී නිර්ප්‍රභූ මට්ටමේ සිට ජපන් සාහිත්‍යයේ හා බුද්ධිමය කතිකාවේ මධ්‍යයට ගෙනැවැත්, ඒ හඩ යම් ලෙසකින් බලායනය කිරීමට ඇය දැක්වූ උනන්දුව සනිටුහන් කරනුයේ මේ අවශ්‍යතාවයි.
තඳ අඳුර පඨිතයේ සිංහල පරිවර්තනය මුල් ජපන් ලිපියේ යම් දුරකට සංක්‍ෂිප්ත ඉංග්‍රීසි පරිවර්තනය මත පදනම්ව තිබේ. එය 1987 දී පළ වූ Magazine සඟරාවේ දෙවන වෙළුමේ දහවන කාණ්ඩයේ පළ වී තිබුණි (තෝක්යෝ, නොවැම්බර් 1987). එහි පරිවර්තිකාව ජෙරල්ඞීන් හාකෝට්ය. සිංහල පරිවර්තනයට නිමිත්ත වූයේ මා හට මුනකටා නගරයේදී 84 හැවිරිදි කතුවරිය 2010 ඔක්තෝබර් මස මුණ ගැසුණු විට පරිවර්තනය පිළිබඳ මා ඇයට දුන් ප්‍රතිඥාවක ප්‍රතිඵලයක් ලෙසයි.
කතුවරිය හා පරිවර්තකයා, හිබියා වෙරල. ඡුායාරූපය කරුකො සෙකි - ඔක්තෝබර් 2010. |
මෙහිදී මා මුහුණ පෑ පළමු ගැටළුව වූයේ මෙවැනි උපභාෂා ලක්‍ෂණ සැළකිය යුතු මට්ටමින් දැකගත නොහැකි වූ සිංයල භාෂාව සම්බන්ධයෙන් මතු කර ගන්නේ කෙසේ ද යන්නය. දෙවන ගැටළුව වූයේ ශාස්ත්‍රාලයීය පද්ධතිය තුළ වඩාත් විධිමත් සිංහල භාෂාවක් ආශ්‍රය කර තිබූ මා වැන්නෙක් මොරිසකිගේ ආඛ්‍යානයේ මතුකර දැක්වූ ආකාරයේ අවිධිමත් හා මූලික වශයෙන් භාෂණය කේන්ද්‍ර කරගත් බසේ තිබූ අවිධිමත් බව රඳවා ගනිමින් හා අනවශ්‍ය ලෙස විදග්ධ නොවී පරිවර්තන කාර්ය කෙසේ කරන්නේ ද යන්නය.
මෙහිදී මා කථාවට අදාළ කාලය හා මුල්බසේ උපභාෂාමය තත්ත්වය සිංහලයෙන් මතුකර ගැනීමට උත්සාහ කිරීම නිශ්පල, කියවීමට සම්බාධක පැනවිය හැකි හා කෘත‍්‍රිම තත්ත්වයක් ඇතිකරනු ඇතැයි තීරණය කළෙමි. එනමුත් මුල් බසේ දැකගත හැකි වූත් ඉංග්‍රීසි පරිවර්තනය තුළ ද පැහැදිලිව පෙනුනු සාපේක්‍ෂ වශයෙන් අවිධිමත් හා භාෂණ කේන්ද්‍රී භාෂාමය තත්ත්ව සිංහල පරිවර්තනය තුළ ද හැකිතාක් දුරට (ඇතැම් අවස්ථාවල හැර) රඳවා ගැනීමට උත්සාහ කළෙමි.
මෙහි ඇතුලත් කර ඇති මිනිරන් පතල්වල සිතුවම් චිත්‍ර ශිල්පී සකුබේයි යමමොටෝ (1892-1984) විසින් නිර්මාණය කළ ඒවාය. ඔහු වයස අවුරුදු 14 සිට චිකුහෝ ප්‍රදේශයේ පතල්වල රැකියාව කළේය. ඔහු චිත්‍ර ශිල්පයට අවතීර්ණ වූයේ වයස අවුරුදු 60 දී පමණ රාත්‍රී ආරක්‍ෂකයකු ලෙස රැකියාව කළ අවදියේ ය. මේ චිත්‍ර හරහා හෙතෙම තමා දෑසින් දුටු පතල් ජීවිතය විචිත්රාකාරව චිත්‍රණය කර ඇත. මෙවන් චිත්‍ර සියයක් පමණ දැනට ශේෂව ඇති අතර, මෙහි උපුටා දක්වා ඇති චිත්‍ර යුනෙස්කෝ ආයතනයේ ‘ලෝකයේ මතකය’ (Memory of the World) ව්‍යාපෘතියේ කොටසක් වශයෙන් එහි වෙබ් අඩවියේ චිත්‍රවලට අදාල සම්පූර්ණ තොරතුරුද සහිතව ප්‍රතිනිෂ්පාදනය කර ඇත:
(http://www.unesco.org/new/en/communication-and-information/flagship-project-activities/memory-of-the world/homepage//&&).
පරිවර්තනයට අවසරය පළ කළ කසුඑ මොරිසකිට සහ අනේක අයුරින් මේ ව්‍යාපෘතියට දායක වූ ජුන්කො ඉකෙඩා, මයුකෝ සසනුමා, රෙයිකො ඔගවා හා කසුමි යගී යන අයට මාගේ ස්තූතිය හිමි වේ.
****
තද අඳුර
まっくら
まっくら
මට හිතෙන්නේ නම් හැමෝටම එහෙම හිතෙයි කියලා. දෝනාවේ කට ළඟ ඉඳන් ගල් අඟුරු බක්කි එකින් එක උඩට එනවා බලන් ඉන්න කොට, තමාටත් ගිහිල්ලා ආකරය පතුලේ තියෙන්නේ මොනවද කියලා බලන්නයි හිතෙන්නේ. පොළොව ඇතුළේ මිනිස්සු එහා මෙහා යනවා එනවා ඇති. ඒක මොන වාගේ ඇතිද කියලා අපිටම හිතෙනවා. ඒක මහා ලස්සන තැනක් වෙන්නැති. දෝනාව පතුලටම ගිහිල්ලා ඔය ටික බලන්න හරි වයස එනකල් මට ඉවසුම් නැතිව ගියා.
සකුබේයි යමමොටෝගේ සිතුවමක්. |
මං දැනං හිටියා පතල ඇතුළේ අඳුරු විත්තිය. නමුත් මම හීනෙකින්වත් හිතුවෙ නැහැ ඒක එච්චරටම කට්ට කරුවලයි කියලා. ඒක හොඳටම භය හිතෙන කළුවරක්. තමන් අතේ තියෙන ලන්තෑරුම නිවුණොත් එහෙම මතුවෙන අඳුර කට්ටම කළු රාත‍්‍රියටත් වඩා අඳුරුයි. ඒකට ළං වෙන්න පුළුවන් රාත‍්‍රියත් මං කවදාවත් තාම දැකල නැහැ. පතුල ඇතුළේ ගහක අතු වගේ එක එක පැත්තට උමං විහිදෙනවා. ඒවා මට්ටම් පහළොවක නැත්නම් හතලිහක විතර පැතිරිලා තියෙන්න පුළුවන්. ඒ අඳුරෙ කොච්චර දුරකට ඒවා විහිදෙනවා ද කියලා කියන්න බෑ. පරණම උමංවලින් ගන්න පුළුවන් ගල් අඟුරු ඔක්කොම කඩලා හූරලා අරගෙන. ඒවා වැඩිහරියක් දැං වතුරෙන් පිරිලා. ඒවා මර උගුල්.
ඔන්න ඕක තමයි තත්ත්වෙ. මං වැඩ පටන් ගත්තේ ශින්යූ නොම්මර 4 පතලේ මගේ අම්මත් එක්කයි. අලූතින් වැඩට ආපු කෙල්ලක් විදියට මට ඉස්සෙල්ලම කරන්න සිද්ධ වුණේ අනම් මනම් වැඩ තමයි. බක්කිවලින් වැටෙන ගල් අඟුරු අයින් කරන එක, රේල් පීලි සුද්ධ කරන එක වගේ වැඩ. බක්කිවලින් වැටෙන ඒවා රේල් පාරේ තියෙන්න අරින්න බැහැ. ඒ නිසා ඒවා අහුලලා අයින් කරනවා, තේ අරන් එනවා. ඔය වගේ අනම් මනම් තමයි ඉතින්. මට දවසකට සෙන් 18 ක් ගෙව්වා (ඒ කාලේ හාල් රාත්තලක් සෙන් 4 ක් විතර වුණා).
බයවෙන්නෙ කොහොමද කියල මට අමතක වුණාට පස්සේ, මම වැඩකරන අතරේ අනිත් අයත් එක්ක සිංදු කියන්නත් පුරුදු වුණා. මොනවද අපි කියපු සිංදු? මට හොඳටම මතකයි මෙන්න මේක:
පුංචි පැන්චො හතක් අටක්
ලන්තෑරුම් අතින් අරන්
ඔහේ යනවෝ.
පතලේ ඇතුළට
බැස යන්නේ උන්
මව්පියන්ගේ
පව්වලට ගෙවන්නයි.
ඒ සිංදුවට හැමෝම කැමතියි. අපි හැමවේලේම ඒක කිව්වා. කව්රුත් අපිට එපා කීවේ නැහැ. ඉතින් මායි මගේ යාළුවයි අපි වැඩ කළේ සිංදු කිය කියා තමයි. මගේ දවසේ වැඩ ටික මං අනිත් හැමෝම තරම් හොඳට කළා කියලා තමයි මං නම් හිතන්නේ. ඊට කාලෙකට පස්සේ මගේ යාළුවා කීවා, ‘‘මට නම් දැන් හැමදාම මේ අනම් මනම් වැඩ කරලා ඇති වෙලයි තියෙන්නේ. අපි ගල් අඟුරු අදින්න පටන් ගමු ද?’’කියලා. ඊට පස්සේ අපි කූඩ දෙකක් එල්ලපු කඳක් කරේ තියන් අඟුරු අදින්න ඉගෙන ගත්තා. කඳේ ඉස්සරහ එක කූඩයයි, පස්සේ එක කූඩයයි. අපි කඳ කරට ගත්තේ හරියටම පිටේ ගෑවෙන්න ඔන්න මෙන්න තියලා වගේ. ඇවිදින්න ලේසි වෙන්න නැමිච්ච කෙටි කෙවිටකුත් අපි අතට ගන්නවා. පතලේ වහලේ පහත් නිසා කෙළින් ඇවිදින්න බැහැ. මුලදීම මට ලැබුනේ සෙන් 20 යි. පස්සේ ඒක සෙන් 22 ක් වෙන කල් වැඩි වුණා. මගේ තාත්තට පපුවේ අමාරුව නිසා පතලේ වැඩ කරන්න බැරි වුණා. ඉතින් වැඩ කළේ අපි දෙන්නා තමයි, මායි මගේ අම්මයි.
සකුබේයි යමමොටෝගේ සිතුවමක්. |
අපි හතර පස් දෙනෙක් එකතු වෙලා පිරිමියෙක්ව අල්ල ගන්නවා. ඌව බිම දාලා ඇඟ උඩට නඟිනවා හෙල්ලෙන්න බැරි වෙන්න. ඊට පස්සේ මිනිහාගේ අත් දෙකයි, කකුල් දෙකයි බැඳලා දානවා. අන්තිමට අපි ඌව රේල් පීල්ලට තියලා බැඳලා දාලා යන්න යනවා. දන්නවනේ ඉතින්, සමහර මිනිස්සුන්ගෙ හැටි. අපිට බැණ වදින එකෙක් කොහේ හරි ඉන්නවා. ‘‘ඌ හිතන් ඉන්නේ ඌ හරි ජගතෙක් කියලා නේද?’’ අපි ඉතින් අපිටම කියා ගන්නවා. ‘‘අපි පෙන්නන්නම් ඌට මෙතන රජා කව්ද කියලා. ඔය වගේ උන්නට බැහැ අපිව මට්ටු කරන්න.’’ ඊට පස්සේ අපි හොඳ වෙලාවක් එනකල් බලං ඉන්නවා. දැන් හිතලා බලන්නකෝ. තරුණ මිනිහෙක් වුණත් අල්ලලා පීල්ලට තියලා බැඳලා හද්ද කරුවල පතලේ තනියම දාලා යන්න බලන්න. උගේ හුළං නිකම්ම බහිනවා. මිනිහා උදව් ඉල්ලලා බෙරිහන් දෙන්න ගත්තාම, ඒ විහිළුවට නෙවේ.
මම ඉපදුණේ හිරොෂිමාවල. ඒ දවස්වල මගේ උච්චාරණේ සද්දෙ කොච්චරද කියනවනම් හැතැම්මෙකට ඈත ඉඳලත් ඇහෙනවා. මම කෙට්ටු කෙල්ලක්. වැඩි උසක් නැහැ ඒ කාලේ. හැබැයි මම හරි ගණන්කාරී. මට ඕනෑ වෙච්ච හැම කෙහම්මලක්ම මං කොහොම හරි හොයා ගත්තා. මගේ යාළුවෝ හැමදාම මට හරි කරුණාවක් පෙන්නුවා. මාව හොඳින් බලාගත්තා. මාව කවදාවත් තනි කළේ නෑ. දවසේ වැඩ ඉවර වුණාම, උඩට යන ගමන් හැම කෙල්ලම අනික් එවුන්ට හූවක් දුන්නා. ඒ තමන් යන බව කියන්න.
වඩාත් ඉස්සරහින් හිටි කෙනෙක් තමන් ඉන්න තැන ඉඳන් ‘‘ටොන්චන්, යමං යන්න. අපි යනවා,’’ කියලා කියනවා.
‘‘හරී’’ කියලා එතකොට මං කෑගහනවා. ‘‘ඔහොම හිටපං. මාත් එනවා.’’ මං ඔය රංචුවට ඉක්මනින්ම එකතු වෙනවා. ඊට පස්සේ ඉතින් අපි ආයේ එක එක ජාතියේ දඟකාරකම් කරන්න පටන් ගන්නවා.
ගල් අඟුරු කණින තැන ඉඳන් පතල මුදුනට සෑහෙන දුරයි. ඒක විනාඩි 40 ක විතර ගමනක්. අඟුරු බක්කි උඩට ඇද්දේ වාෂ්ප යන්තරේකින්. ඉතින් අපි බක්කි ඇතුළට පැනල උඩට යන්න පුරුදු වුණා. අපි මේ වැඬේ කළේ හොඳට හිතලා බලලා හරි පරිස්සමින්. ඉස්සෙල්ලාම අපි මහ බක්කි කාරයව බැඳලා දානවා (ඌට අපි කිව්වෙ බක්කි උන්නැහේ කියලා. ඌ තමයි පතලේ පැත්තක තියෙන කාමරේ ඉඳන් අඟුරු බක්කි උඩට යවන්නේ). ඊට පස්සේ අපි ගැන කාටවත් කියල තිබුණොත් ඌට කරන දේ අපි ඌට මතක් කරලා දෙනවා. ඊට පස්සේ අපි බක්කි ඇතුළට පැනලා යන්න යනවා. එච්චරයි. ඌට කරන්න කිසිම දෙයක් නැහැ. අපි බක්කියක බිත්තියකට හේත්තු වෙලා ලන්තෑරුම අරන් කලවා අතර හිර කර ගන්නවා. ඊට පස්සේ අපි අපේ මූණු හංගා ගන්නවා. ඔව්, බක්කිවල නැඟලා යන එක රෙගුලාසිවලට විරුද්ධයි.
ඉතින් බක්කි උන්නැහේගේ ප්‍ර ශ්නේ ඔහොම විසඳුනයි කියමුකෝ. ඒත් අපි කීප වතාවක් බක්කි රේල්ලූවේ නැඟල ගියාට පස්සේ අපිට හිතුණා කවුරු හරි එකෙක් හැංගිලා අපි ගැන ඔත්තු බලනවා කියලා. අපි ඒ හද්ද කළුවරේ යනකොට වුනත් බක්කියේ කව්රු හරි ඉන්නවා කියලා උන්ට කියන්න පුළුවන් මං හිතන්නනේ. ඒත් ඒ කව්ද කියලා නම් උන්ට මේ ආත්මෙට කියන්න බෑ. පතලට ඇතුල් වෙන දොරට යාර 300 ක් විතර මෙහායින් බිමට පැනලා අඩිපාර දිගේ උඩට යන්න අපි පුරුදු වුණා. ඇත්තටම කව්දෝ එකෙක් ඔත්තු බලලා තිබුණා තමයි. නොම්බර 28 මට්ටමේදී රේල් පීල්ල වංගුවක් ගත්තා. එතන තමයි ඒ යක්කු ටික හැංගිලා හිටියේ. මහ අන්ධකාරයයි අරවයි මේවයි ඔක්කොම නිසා අපිට මේක තේරුම් ගන්න ටිකක් වෙලා ගියා. ඒත් හතරවන නැත්නම් පස්වන දවසේ මට දැනුණා මොකක්දෝ තෙත මලජරාවක් මගේ බෙල්ලේ දැවටෙනවා. ඇත්තම කියනවා නම්, මං හොඳටම බය වුණා. මං මගේ බක්කිය පුළුවන් වීරිය දාලා අල්ලගෙන ඉඳන්, වෙනදා පනින තැනින් අඩිපාරට පැන්නට පස්සේ තමයි මගේ බෙල්ලේ දැවටුණේ මොනවද කියලා හොයලා බැලූවේ. මගේ බෙල්ලේ පිටිපස්සේ අපි ‘‘සුදු හුණු’’ කියලා කියන ජාතිය තැවරිලා තිබුණා. ඇත්තටම අපි හැමෝගෙම ඒවා ගෑවිලා තිබුණා. මේ සුදු හුණු වතුර, ඒ කියන්නේ හුණු වතුරේ දිය කරලා. ගස් කපන කට්ටිය කපලා බිම දාපු කොටංවල අඩි හයෙන් හයට මේ දියරෙ වක් කරනවා අලූතෙන් වැඩ කරපු තැන් බලාගෙන ඒවායේ ගනං හිලව් බේරගන්න. ඉතින් අපිට අර මල යක්කු දමල ගහල තියෙන්නේ ඔන්න ඔය දියරයෙන් තමයි.
‘‘අපි මේ ජරාවත් එක්ක උඩට ගියොත් අපිව අහුවෙනවා,’’ කියලා අපි අපිටම කියා ගත්තා. ‘‘අපි ඇඟ හෝදා ගන්න ඕනෑ.’’ ඉතින් අපි උමෙඟ් තිබුණ වතුරෙන් නා ගත්තා. අපි අපේ රෙදි ටිකත් එතනම හෝදා ගත්තා. ඊට පස්සේ ඉතිං අපි මොකුත් නොවුණ ගානට හොඳ ෂෝක් එකට උඩට ගියා. වෙනත් උමංවල බක්කි පැද්ද කට්ටිය අල්ලගෙන තිබුණා. අයියෝ, ඒ අහිංසක මිනිස්සුන්ට කරපු කරදර.
ඊළඟ දවසේ ඉඳන් අපි බක්කි පදිනකොට ඔළුවේ තලප්පාවක් බැඳගන්න තීරණය කළා. සමහර කට්ටිය පහළදී තලප්පා බැඳිල්ල හොඳ නෑ කියලා තමයි කියන්නේ. ඒත් ඉතිං ඔය මනස්ගාතවලටයි, හිතටයි, අරවටයි මේවටයි ඔක්කොටම බයවෙන්න ගත්තොත් පතල් රස්සාව කරන්න බැහැ. ඉතින් අපි මංකොල්ලකාරයෝ වගේ තලප්පා බැඳගෙන, අපේ ඇඳුම් නොපිට පෙරළලා ඇඳගෙන ලන්තෑරුම් කලවා අතරේ ගහගෙන වෙනදා වගේම බක්කි ඇතුළේ හැංගිලා උඩට ආවා. උන් අපිට හුණු වතුරෙන් දමලා ගැහුවා තමයි. අපි ඉතින් අපේ සාමාන්‍ය තැනින් බිමට පැනලා, සාමාන්‍ය දෙයක් වගේ ඇඳුම් ආයෙත් හරි පැත්තට මාරු කරල ඇඳගෙන, උඩට ගියා. එච්චර තමයි ඉතිං.
සකුබේයි යමමොටෝගේ සිතුවමක්. |
‘‘ඒයි, උඹ බක්කි පදිනවද?’’
‘‘අපොයි නැහැ. මං එහෙම එකක් දැකලවත් නැහැ.’’
‘‘උඹේ පිටේ හුණු වතුර ගෑවිලා නැද්ද?’’
‘‘ඒවා කොහෙන් ආවද?’’
‘‘මං දන්නවා උඹ කරන දේ. උඹේ සෙල්ලම මොකක්ද කියලා මං දන්නවා.’’
‘‘තොට මං යස පාඩමක් උගන්නන්නම්’’ කිය කියා යමශිටා යන්න ගියා. මගේ පරණම යාළුවෙක් මේ ඔක්කොම අහගෙනයි හිටියේ. යමශිටා ගියාට පස්සේ එයා මට කීවා, ‘‘ටොන්චන්...’’ ඒ කියන්නේ ඉතින් මමනේ. ‘‘ටොන්චන්.... අපි අර ගොං පණ්ඩිත යමශිටාට පාඩමක් උගන්වමු. මොට්ට වාචාලයා.’’ ‘‘ෂෝක් අදහස.’’
ඔයාට තේරෙනවද, කංකානම්කාරයෝ තානාන්තරෙන් ඉන්නේ පතල් නායකයිනුයි රස්සා නායකයිනුයි අතරයි. ඒ යක්කු තමයි පතල්කාරයින්ව ආම්බාන් කරන්නේ. උන් හැමදාම පතල්කාරයින්ට අරියාදු කරනවා. ඒ ගැන පරණ සිංදුවකුත් තියෙනවා:
වැරදුනොත් වචනයක්,
පටාස්!
වැදෙන්නේ පතල් රිට
ඔළුවටයි.
රතු ලේ තැවරෙයි
සාළුව පුරා.
ඕ, රස්සා ලොක්කාගේ ජීවිතේ සරුයි බොහෝ,
මුළු දවසම නිදි උන් ඔපීසියේ හොඳින්.
පතල් කන්තෝරුව තියෙන්නේ පතල ඇතුළෙමයි. ඒක ඇතුලේ ලැගගෙන තමයි කංකානම්කාරයෝ එකට එකතු වෙලා මහ උජාරුවට දුම් බොන්නේ කයිවාරු ගහන්නේ එහෙම.
බක්කි උන්නැහේගේ රස්සාව තමයි මිනිරන් පුරවාපු බක්කි දෝනාව දිගේ ඉහළට එවන එකයි, හිස් බක්කි ආපහු පහල ඉන්න අපිට එවන එකයි. එයා ඒ වැඬේ කරන්නේ එයාට හිතෙන හිතෙන විදිහටයි. එයාට හිත ගිය කෙල්ලෙක්ට ඒකිගෙ බක්කිය ඉස්සෙල්ලා ලැබෙන්න ඌට සලස්සන්න පුළුවන්. ඔන්න ඔය වගේ තමයි ඉතින් වැඩ. බක්කි උන්නැහේලා හැසිරුණේ මහ අහංකාර විදියට. ඒත් උන්ගේ උද්දච්ච ගතිවලට බැරිවුණා අපේ කෙල්ලො ටික රවට්ටන්න. අපි හැමදාම උත්සාහ කළේ බක්කි උන්නැහේව රවට්ටන්න, නැත්නම් කංකානම් කාරයාගේ කනෙන් රිංගන්න.
ඊළඟ දවසේ යමශිටා වැඩට එන වෙලාව ලං කරලා, මම මගේ වැඩ ඉවර කරලා මගේ යාළුවෝ පස් හය දෙනෙක් විතර එක්ක එළියට එන්න පටන් ගත්තා. ඒ වෙනකොට වෙලාව උදේ දහයට විතර ඇති. අපි මහ හයියෙන් සින්දු කිය කියා ඇවිදගෙන උඩට එනකොට, ඔන්න මඟදී යමශිටා එතෙන්ට පාත් වුණා:
‘‘ඒයි, ගොං නැම්බියෝ, ගෙදර යන්න වෙලාව නෙවෙයිනේ මේක.’’
‘‘වෙලාව නෙමෙයි කියන්නේ මොකක්ද? අපි ඊයේ හවස හතරේ ඉඳලාම මෙතන. අනිත් එක, ඇතිවෙන්න බක්කි තිබුණෙත් නැහැ. දැන් තමුසෙට ඕනෑ අපිට වහලූන්ට වගේ සලකන්න ද? මොට්ටපාල."
‘‘මොකක්ද තෝ කිව්වෙ ටොශී? කියපිය බලන්න ඒක තව එක පාරක්’’
‘‘මං ඒක එක පාරක් නෙමයි බෝල, දෙවතාවක්ම කියන්නම්. අපිත් මිනිස්සු බව අමතක කරන්නෙපා තෝ ...’’
අපි ඔක්කොම ඌට ළං වුණා. අපි හැමෝටම ඕන වුණේ ඌව මට්ටු කරන්නයි. ටිකක් වයසින් වැඩි කෙල්ලක් යමශීටා අත තිබුණ ලන්තෑරුමට ගහල බිමට දැම්මා. ඒක තමයි අපිට ලැබුණු සංඥාව පතල් මුගුරුත් අරන් ඌත් එක්ක පොර අල්ලලා ඌව බිමට දාන්න. ඒක සටස් ගාද්දි කෙරුණා. අපි උගේ අත් දෙක පිටිපස්සට තියලා තද කරල ගැට ගැහුවා. ඊට පස්සේ උගේ කකුල් දෙකත් තද වෙන්න ගැට ගහල රේල් පීල්ලට තියලා බැඳලා තරු විසිවෙනකං හොඳට තඩි බෑවා. රේල් පාරේ යකඩයි සිල්බර කොටනුයි ගල් අඟුරු කැලියි උඩ මිනිහෙක්ව බාවගෙන පයින් ගහන කොට යස්ස වේදනාවයි. මහා උජාරු යමශිටා කාරයා සමාව ඉල්ලලා බෙරිහන් දුන්නා:
‘‘අනේ, කරුණාකරලා මට යන්න දීපං.’’
‘‘අපිට බක්කිවල නැඟල යන්න පුළුවන් ද?’’
‘‘අපොයි ඔව්.. ඔව්...’’
‘‘තෝ අපිට ආයෙත් ගහනව ද?’’
‘‘ආයෙත් නම් ගහන් නෑ. මට සමාවෙලා යන්න දීපල්ලාකෝ...’’
‘‘යකෝ, තෝ හැම වෙලාවෙම අපිට තඩි බෑවේ බාගෙට මැරෙන්න තරම්. දැන් තොට තේරෙනවා ද ඒකෙං කොච්චර රිදෙනවා ද කියලා?’’
එක කෙල්ලක් දැන් යමශිටාට සැලකුවා ඇති කියලා කිව්වාම අනෙක් අය කිව්වා, ‘‘අයියෝ මේක මොකක්ද? නිකං අත ගෑව විතරනේ...,’’ කියලා. ඊට පස්සේ අපි ඌට තව ටිකක් තඩි බෑවා.
අපේ යාළුවන්ට මම ‘‘කෙල්ලො’’ කියලා කිව්වට, අපේ ඕනෑම කෙනෙක්ට වැඩිහිටියෙකුගේ බර උස්සගෙන යන්න පුළුවන් කිසි කරදරයක් නැතුව. ඇත්තටම අපිට තිබුණේ පුදුම ශක්තියක්. පතලේ ඕනෑ වැඩක් අපිට කරන්න පුළුවන්. පිරිමියි ගෑනුයි කියලා වෙනසක් තිබුණේ නැහැ. ඇත්තටම කෙල්ලෝ ගමන් කළේ හරි උජාරුවට. ඒකෙන් අපි කියන්න හැදුවේ, ‘‘ඕයි, අපි ඕන දේකට ඔට්ටුයි,’’ කියලයි. ඒවගේ හයියක් තමයි අපිට තිබුණේ. දැන් කාලේ කෙල්ලො ඒවගේ නෙමෙයි නේද? අපි කරපු හැම දෙයක්ම කළේ අපේ මුළු හිතින්මයි. අපි පොඩි පොඩි දඟකාරකම් නොකළා නෙමේ. ඒත් ඒවත් අපේ හයියේ කොටසක්. ‘‘මොන එකෙක්ටවත් අපිව කවදාවත් තම්බන්න නම් පුළුවන් වුනේ නෑ.’’
දැං කාලෙ කෙල්ලො නම් හරියට බැලූම් බෝල වගෙයි. එවුන්ට කිසි දෙයක් හරියට කරගන්නවත් මොකක්වත් දරා ගන්නවත් බැහැ. අපේ කාලේ තිබිච්ච හිතේ හයිය දැන් කොහේවත් දැකගන්න බෑ. දැන් කාලේ අපිට ළංවෙන්න ටිකක් හරි පුළුවන් වෙන්නේ ගොඩනැගිලි කොන්ත‍්‍රාත්කාරයින් ළඟ වැඩ කරන කම්කරු ගෑනුන්ට විතරයි. ඒගොල්ලත් අපි වගේම නෙමෙයි. නමුත් උන් ගාව අපේ ගතියෙන් ටිකක් විතර තියෙනවා. මට දැන් ඒ ශක්තිය නැතිව හරිම පාළුයි. යුද්ධෙන් පස්සෙ ගෑනු හරිම කම්මැලි වෙලා. උන්ට පුළුවන් තමන්ව ලස්සන කරගන්න අරවා මේවා මූනෙයි ඇගෙයි උල උලා ඉන්න එක විතරයි.
යමශිටාට තඩි බාපු දවසට පස්සේ දවසක ඉවනෝ කියන පතල් නායක මහත්තය අපිට එන්න කිව්වා:
‘‘ ඕගොල්ලො යමශිටාට තඩි බෑව ද?’’
‘‘ඒ මිනිහට තඩි බාලා මරල දැම්මත් පව් නෑ. මිනිහ මිනිස්සුන්ට සලකන්නේ අස්සයෝ දක්කනවා වගේ.’’
‘‘ඔයගොල්ලො ඔය වගේ කථා කියන්න නරකයි. ළමිස්සියෝ හැසිරෙන්න ඕනෑ ළමිස්සියෝ වගේ.’’
‘‘අපි ළමිස්සියෝ නෙමෙයි, අපි ගෑනු.’’
‘‘කෙල්ලන්ට මිනිස්සුන්ට තඩි බබා මෙතන ඉන්න බෑනේ. මේ අහනවා. මං දන්නවා ඔයගොල්ලන්ගේ ප්‍රශ්නේ. නමුත් මින් පස්සේ මගේ මිනිස්සුන්ට ගහනවා හෙම නෙවෙයි.’’
‘‘එහෙනම්, යමශීටා තාමත් මැරිලා නැද්ද?’’
‘‘මේ ඇහුනද? තමුසෙලා ඒ මිනිහාට මොනවත් කරනවා හෙම නෙවෙයි ආයෙත්.’’
ඉවනෝ මහත්තයා වයසක කෙනෙක්. පනහක් විතර ඇති. හරිම හොඳ කෙනෙක්. එයා අපිට මහා විශාල දේශනයක් එහෙම කළා නම්, අපිට හිතෙන්න තිබුණා, ‘‘මූටත් හෙන ගහන්න ඕන’’ කියලා. නමුත් මේ විදිහට කථා කළාම අපිටත් රණ්ඩු කරන්න අමාරුයි. අපි පතල් කන්තෝරුවෙන් එළියට යනකොටම අපේ කෙනෙක් ඇහුවා, ‘‘අපි මෙහෙම කේලමක් කියපු යමශිටාට යහතින් ඉන්න දෙනවද?’’ කියලා.
‘‘ඉවානො මහත්තයා නිසා අපි ඌට ඔන්න ඔහේ නිකන් ඉන්න දෙමු,’’ කියලා මං කිව්වා.
‘‘ඔය යමශිටාට යස්සයාට නම් මොකක් හරි කරන්නම ඕනෑ. කේලංකාර මල පෙරේතයා. අපිට ආයෙත් කවදාවත් හදි කරන්නෑ කියලා ඉවරවෙලා ඌ කෙළින්ම අඬාගෙන ගියා ඉවනෝ මහත්තයා ගාවට. කොන්ද පණ නැති පෙන්ද.’’
‘‘ඔන්න ඔහේ ඒ කාලකන්ණියාට ඉන්න දෙන්න. අපි ළමිස්සියෝ වගේ හැසිරෙන්න ඕනැයි කිව්වනේ.’’
‘‘ඇයි මොකද ටොන්චන් බයේ ද?’’
‘‘කවුද? මම ද? ඔන්න බලන්න, යමශිටා ආයෙත් කිසි දෙයක් කරන්නෑ. ඌ මොකක් හරි කළොත්, ඒ වෙලාවට අපි ඌට තව පාඩමක් උගන්වමු.’’
ඔය කතාව ඉවරවෙනවත් එක්කම අපි අපේ වැඩ පටන් ගත්තා.
වැඩ නම් ඇත්තටම හුඟාක් අමාරුයි. ඒත් මේ වෙනකොට අපි ලේසියෙන් කිසි දෙයක් නොකර හිටියේ නැහැ. මෙහේ ජීවත් වෙන්න නම් ඔළුගෙඩිය හොඳින් දැනං ඉන්න ඕනෑ. මේක පිරිමින්ටත් ගෑනුන්ටත් එකමයි. කවදාවත් ඇති වෙන්න ගල් අඟුරු බක්කි තිබුණේ නැහැ. ඉතින් අපිට ඒවා ගන්න පොරකන්න සිද්ධ වුණා. මතුපිට ඉඳන් හිස් බක්කි පහතට එනකල් ඉන්න වෙනවා. ඊට පස්සේ ඒවා අපිට ළංවෙන්නත් ඉස්සෙල්ලා අපේ තුවාය හරි ලන්තෑරුම හරි ඒක ඇතුළට වීසි කරනවා. තමන් වැඩ කරන තැන අවටින් බක්කියක් ලබාගන්න තිබුණේ හරිම තරගයක්. ඒ එක්කම අපි වැඩට ආව ගමන්, පතලේ භාගයක් දුර ගියහම අපි බක්කි ඇතුළට පැනල ඉතිරි දුර බක්කියේම පැද්දි පැද්දි යනවා. අපි අපේ වැඩ කළේ මුළු හිතින්ම. ඇගෙන් විතරක් නෙමේ.
මට වයස 17 දී අම්මත් එක්ක ගල් අඟුරු කඩ කඩා ඉන්නකොට තමයි 48 මට්ටම පිපිරුවේ. මම උමඟ මුළට ගියා විතරයි බක්කියක් අරන් එන්න. මහා විශාල හුළං පාරක් ඇවිත්, තව පොඞ්ඩෙන් මාව බිම දානවා.
‘‘ගෑස්, උමඟ පුපුරයි, දුවපිය දුවපිය ...’’ කියලා කව්දෝ කෑ ගැහුවා. හැමෝම ඉතින් පේළියට එළියට දිව්වා. අපි යාර 300 ක් 400 ක් විතර යනකම් නැවතුණේ නැහැ. නමුත් ඒක එච්චර ලොකු විනාශයක් නෙවේ. 48 මට්ටමේ කාටවත් තුවාල වුණේ නැහැ. උමඟ පුපුරනකොට ඔක්කොම උමං කටට ඇවිත් හිටියේ. ඒත් ලාම්පු ඔක්කොම නිවුණා විතරක් නෙමෙයි ආයෙත් ඒවා පත්තු කරන්නත් බැරි වුණා. ගෑස් පොඞ්ඩක් හරි තිබ්බොත් මහා පිපිරුමක් ඇති වෙනවා.
ඒ කාලෙම වගේ තවත් අනතුරක් සිද්ධ වුණා. ගල් කඩා වැටිලා අවුරුදු 37 ක, 38 ක විතර ගෑනියෙක් මළා. එයාගේ ඔළුව පොඩි පට්ටම් වුණා. මට හෙන ගහනවා වගේ මහා සද්දයක් ඇහිච්ච නිසා දුවගෙන ගියා බලන්න. ඒ ගෑනි බිම වැතිරිලා හිටියා. බඩ ඇරිලා. උන්දැ ඊට ටික වෙලාවකට ඉස්සර කාලා තිබුණු බත් හැමතැනම විසිරිලා. හාල් ඇට තාමත් දිරවලා නැතිව හොඳට තිබුණා. හැබැයි ලේ නැවතිලා. ඒක නම් මහා නරකම නරක දෙයක්. ඒත් ඉතින් අපි මොනා කරන්න ද? ඒ වගේ මරණ ගොඩක් සිද්ධ වුණා. උඩින් අමුතු සද්දයක් ඇහුණු ගමන්, මොකක් හරි කැඩෙන සද්දයකුයි කඩා වැටෙන සද්දයකුයි ඇහිච්ච ගමන්, හැමෝම කෑ ගහනවා: ‘‘එළියට යමං, එළියට යමං.’’ ඒ කෑගැහිලිත් එක්ක අපි ඉතින් පණ බේරගන්න ආත බූත කාඩාගෙන දුවනවා.
පතල්කාරයෙක් ඒ වගේ මැරුණහම ඉතින් සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ පතල අවටම වළදාන එකයි. මේකනේ කියන්නේ, පතල් වැඩට ආපු එවුන් උන්ගේ ගම් පළාත්වල හද්ද දුප්පත් එවුන්. තමන්ටම කියල ගෙයක්වත් ඉඩං කෑල්ලක්වත් වෙන මොන කෙහෙම්මලක්වත් උන්ට තමංගේ ගමේ තිබ්බේ නැහැ. උන් ගම් පළාත්වලින් පිටවුනේ එහේ උන්ට අබ ඇටයක්වත් තිබුනේ නැති නිසයි. ඇත්තම කතාව තමයි, ඒ වෙනකොටත් උන් ජීවත් වුණේ බාගෙට මැරිලා වගේ. ඒ නිසා ඉඳලා හිටලා තමයි පතල්කාරයෙකුගේ අළු තමන්ගේ ගම් පළාත්වලට අරං ගියේ. මං පස්සේ කාලෙකදී පොඩි පතලකත් වැඩ කළා. ඒ මගේ මනුස්සයා මුණ ගැහුණාට පස්සේ. කඳු අස්සේ තිබ්ච්ච ඒ පතල්වල මරණයක් වුණාම වාර්තා කරන්නේවත් නැහැ. ඒකට හේතුව තමයි පතල්කාරයා තමාගේ ගමේවත් වෙන තැනකවත් ලියාපදිංචි නොවී හිටින්ට තිබිච්ච ඉඩකඩ හුඟාක් වැඩි නිසා. ඒ වගේ අයට පූජකයෙක්වත්, මොකවත්ම ලැබෙන්නේ නැහැ.
මගේ මනුස්සයා පතල් ලී වැඩකාරයෙක්. මම වැඩ කළේ එයාගේ අත් උදව්කාරයා හැටියට. ඔයා දන්නවද, මම මෙච්චර විතර ගණකම, අඩි දොළහක් දිග පොලූ මගේ කරේ තියං අරන් ගිහින් තියෙන විත්තිය. පතල්වල හුඟක් ගබ්සා වෙනවා. ඔය වගේ මහ බරක් උස්සාගෙන නරකාදිය වගේ බෑවුම් දිගේ උඩට බඩගාලා මට ගබ්සා දෙකක්ම සිද්ධ වුණා. ඒත්, එහෙම වෙලත් අපි විවේකයක් ගත්තේ නැහැ. ඇත්තටම ඉතින් අපි කාටවත් හොඳට කැඳ දාලා හෝදපු ඇඳුම් තිබුණේ නැහැ. ළමයා ඉපදුණාම ඉතින් කරන්නේ තියෙන පරණ කඩමාලූවල ඔතන එක තමයි. පොඩි එකා නැති වුණොත් ඉතින් පත්තර, පිදුරු හරි තියෙන වෙන එකකින් වහල දානවා. ඒක තමයි සාමාන්‍යයෙන් සිද්ධ වුණේ. ඊට පස්සේ ඉතින් ආයෙත් වැඩට යනවා.
සමහර පවුල් සල්ලිවලට අපේ ළමයි බලාගත්තා. සමහර දෙමාපියන් උන්ගේ ළමයි උසමහත් වෙන්න ඉස්සර පතලෙන් හොරෙන්ම පැනල යන්න වතාවක් දෙකක් උත්සාහ ගන්නවා. ඒගොල්ලන්ව අහු වුණොත් එහෙම හොඳටම ගුටි කන්න වෙනවා. පොඩි එකත් ඉතින් පතල් කන්තෝරුවේ ජරා පොළොවේ ඒකගේ අම්මයි තාත්තයි ළඟ බෙරිහන් දිදී ඉන්නවා. පොඩි එවුන් අම්මගේ අතේ එල්ලූණොත් එහෙම ඒ තක්කඩි උන්ට පයින් ගහල පන්නලා දානවා. උන් අම්මටයි තාත්තටයි සිහි නැතිවෙන කල්ම පොලූවලින් තඩි බානවා. ඊට පස්සේ උන් මහ විසාල අකුරෙන් ‘‘පැනල යන්න හදන එවුන්ට වෙන දේ’’ කියලා දැන්වීම් ලියලා දෙමාපියන්ගේ බෙල්ලේ එල්ලලා තමන්ගේ ළමයින් එක්ක කන්තෝරුව ළඟ එළියේ ඉන්න අරිනවා. ළමයිත් ඉතින් මේව දැකලා බෙරිහන් දෙනවා. සමහර වෙලාවට කලන්තෙ දාලා බිමත් වැටෙනවා. මට නම් ඒවා බලා ඉන්නම බැහැ. පැනල යන්න ගිහං අහුවෙච්ච හැම එකාම ආපහු වැඩට ගියා. වැඬේ මේකනේ, ජීවත් වෙන්න වෙන විදියක් නැත්නං ඉතින් කරන්න වෙන කෙහෙම්මලකුත් නෑනේ. නමුත් මැරෙන්නම වගේ ගුටි කාපු එවුන් ආයෙත් අවස්ථාවක් ලැබුණම ආයෙමත් පැනල යන්න හදනවා. හැබැයි ඊළඟ පාර අහු නොවී ඉන්න උං වග බලා ගන්නවා.
ඔය කාලෙම (1918) වගේ තමයි ස්පාඤ්ඤ උණ පැතිරෙන්න පටන් ගත්තේ. මගේ අම්මෝ, හැම තැනම ළමයි මැරුණේ දුසිම් ගණන්වලින්. ඉස්සෙල්ලම ආවේ ස්පාඤ්ඤ උණ. ඊළඟට කොලරාව. ඒක නම් මහා කාලකණ්ණි කාලයක්. ඒ කාලේ තරුණ පිරිමියෙක් හරි ගෑනියෙක් හරි පතල් ළඟ පාරක් දිගේ නිකං ඇවිදගෙන ගියොත් එහෙම, රස්සා බ්‍රෝකර්ලා ඒ ගොල්ලන්ට කථා කරනවා: ‘‘මේ යාළුවා රස්සාවක් එහෙම ඕනෑද?’’ ඒ දවස්වල පතල්වල රස්සා බ්‍රෝකර්ලාට හරියට වැඩ. නිකමටවත් ‘‘ඔව්’’ කිව්වොත් එහෙම, ඒ ගොල්ලන්ව ළඟම තිබුණ තැබෑරුමකට අරන් ගිහිං සකේ වීදුරුවකුයි, කෑම වේලකුයි අරන් දෙනවා. කෑම කන ගමං බ්‍රෝකර්ලා ඉතින් ඒ අයත් එක්කම ඉන්නවා. ඊට පස්සේ, අලූත් එවුන්ව පතළට එක්කං යනවා. පතලට ආවහම පදිංචි වෙන්න උදව්වට කියලා සල්ලි පොඞ්ඩක් අතට දෙනවා. ඉඳලා හිටලා පතල්කාරයෙක් විතර ඒ සල්ලි ටිකත් අරං පැනලා යනවා. නමුත් සාමාන්‍යයෙන් බ්‍රෝකර්ලා අලූතින් ගෙනාපු උන්ට කෑම අරන් දෙන්නයි සකේවලටයි වියදම් වෙච්ච සල්ලි උන්ගේ පඩියෙන්ම කපා ගන්නවා. හපෝ, උන් හරි කෛරාටික හැත්තක්.
ටොගවා ප්‍රදේශයේ ව්‍යාප්තවී තිබූ පතල්වල නශ්ටාවශේෂ; ටොගවා පතල් කෞතුකාගාර භූමිය. චායාරූපය: සසංක පෙරේරා - ඔක්තෝබර් 2010. |
06 ජූලි 2011, කුනිටචි, තෝක්යෝ