Saturday, July 7, 2012
Wednesday, July 4, 2012
ගන්ධබ්බ පාලිය
ගිනිගෙන දැවෙන
ගිම්හාන උමතුවෙන්,
සැම දින නියුතු
ජීවන හරඹයෙන්,
අවැසි යැයි හැගුනෙන්
නිවනක්
සිතටත් ගතටත්,
සිතුවෙමි හඹා යන්නට
උතුරු දඹදිව
ගිරි ශිඛර - හරිත දනව් වෙත,
සෞම්‍යයෙන් හිරු හිනැහෙන
මිහිදුම් සළුවෙන්
නිති වැසී ගත්.
හිරු බැස ගිය සැන්දෑවේ
සිපගනිද්දී ගිරි ශිඛර තුරු මුදුන්
සුමුදු වලාවෝ,
සිහිනයක් මෙන්
ඈත ගිරි දුර්ග අතරින්
නැගී ආ මිහිදුම් සළුව
වෙලා ගනිද්දී තුරුලතා සෙනෙහසින්
ඈත මෑත ඉසව්ව්ල,
කිමිදෙන්නට වරම් ලැබුවෙමි මා
සීත නිසසල
සිහින ලොවක.
ඇසුනේය සැණෙකින්,
හූ හඬක් දෙකක් නොව,
සිය ගණනාවක්
දෙවනත් කරමින් මිහිතලය
නසමින් ද්වේෂයෙන් මෙන්
මසිත අරා සිටි සිහින දැහැන්.
ලොවක නිසසල
සරමින් සිටි මසිත
අරක් ගත්තෝය සැණෙකින්
කෙළ කෝටියක්
සැම තැන දුව පැන ඇවිදින
රංචු ගැසුණු ගන්ධබ්බ යක් පැටව්
අවීචි කොලනියකින්
සපැමිණි.
දුටුවේ එවිටයි
පවුල් හත අටක් අවුත් සිටි බැව්
නිවාඩුවකට,
දිල්ලියෙන්, චන්දිගාවෙන්,
මධ්‍යම පාන්තික
නාගරික-මානසික කැළිකසළ ද
දරාගෙන ඇති තරම්
සිත් සතන් තුළ.
බෙරිහන් දුනි එකිනෙකා උන්
බොලිවුඞ් නළඟනන් ගැන,
තපුල්ලැව්වෝය එසැම
අනේක ජංගම දුරකථන
සමීපකරගෙන මුඛකුහර වෙත
පඩික්කම් යැයි සිතමින් ඒවා
හිස් වචන පතිත කළ හැකි.
නැගුණි මතකයට සැණෙකින්
මෙවන් ගන්ධබ්බ ඝෝෂාකාරයන්
සරණා බැව්
ලක්බිමේ ද සැම අහුමුලූවලම.
දුරුවීය මොහොතකින්
සියොත් ගැයූ ගීතිකා,
මද නල සමඟින්
තුරුලතා යැදූ යාතිකා,
තිබුණ ද තවමත් ඈත කඳු වලල්ල
පොරවාගෙන මිහිදුම් සළු
නෂ්ටාවශේෂයක් මෙන්
ඉපැරණි සිහින සිත්තමක.
අයැද සිටියෙමි එසඳ
දන්නා නොදන්නා
දෙවි දේවතාවුන්ගෙන්,
සාන්තුවරයන්ගෙන් - අන්‍යාගමික
රුක් දෙවිදුන්ගෙන්
අවට සපිරි රුක් අරා සිටිනා,
දක්නාගෙන යන මෙන්
මේ ගන්ධබ්බ පැලෙන්තිය
සපැමිණි ඉසව්වලටම
උන්.
ඉල්ලා සිටියෙමි මා
ගෞරව පූර්වකව,
ලබා දෙන මෙන්
තත් විරාමයක්්,
අතරමංවී සිටින්නට
මේ දිසි අදිසි සිහින ලොවේ
සෞම්‍යව
නිසංසලව.
ඩැල්හව්සි, හිමාචල් ප‍්‍රදේශ්, 03 ජූලි 2012.
Monday, June 25, 2012
අදිසි පින් බිම
ඇරැුයුම් කර සන්නාලියෙකුට
මසා දමනු මැන මා දෙනයන
නොපෙනෙන සේ මුලූ දියතම.
ගෙනැවිත් තුන් ලොවින්ම මී ඉටි
අසුරාලනු මැන මා දෙසවන
නෑසෙන සේ වදනක්වත්.
ගෙනැවිත් මුඛවාඩමක් කිසි දින නොකැඩෙන
වෙලාදමනු මැන මා මුවදොර
නොතෙපුලන්නට වැකියක්වත්.
පෙනේද එවිටවත්
සැමට පෙනෙන
මට නොපෙනෙන
කයිවාරු ලොවේ නිති වැජඹෙන
පින්සුන් ඔය පින් බිම?
වසන්ත් කුන්ජ්, නව දිල්ලිය, 25 ජූනි 2012
Sunday, June 17, 2012
හුදෙකලා වූ දෙවිඳුනි
හරිද්වාරය අභිමුඛව
සිටගෙන හුදෙකලාව
නෙත් අරා
තුන් ලොව සිසාරා
බැලූම් හෙළන ශිව දෙවිඳුනි,
සහස් දනා
සිරස නමා නමදින
ඔබ ශී‍්‍රපතුල් යුග්මය පහස ලබමින්
විඩාවෙන් බැස යන
පින් රිසි දනා
බැතියෙන්
ආනන්දයෙන්
කෙලෙසන
ගංගා තොමෝගේ යශෝරාවය
නොවැටෙන්නේ මන්ද
දෙසවනට ඔබේ?
(හරිද්වාර් යනු උත්තර්කන්ද් ප‍්‍රාන්තයේ මධ්‍යම කඳු පාමුළ පිහිටි අනේක දේවාලවලින් සපිරි හින්දු පූජ්‍ය භූමියක් ආශි‍්‍රත නගරයකි. සංස්කෘත හා හින්දි භෂාවන්ගෙන් ‘හරි’ යන පදයෙන් දේව යන අර්ථය ද ‘ද්වාර්’ යන පදයෙන් දොරටුව යන අර්ථය ද ගෙන දේ. මේ අනුව, මේ පදයේ පරිසමාප්ත අර්ථය ‘දේව අඩවියට අවතීර්ණ වන දොරටුව’ යන්න වේ. මේ සමස්ථ ප‍්‍රදේශයම නීති විරෝධී ලෙස ගංගා නදී අසබඩ ගොඩනැගිලි මහාපරිමාණයෙන් ඉදිකිරීම, අපද්‍රව්‍ය බැහැර කිරීමේ ගැටලූ හා අධික ලෙස වන්දනාකරැුවන්ගේ ආමනය නිසා දැඩි පරිසර¥ෂණයකට නතුව තිබුන ද අද වන තුරු ද ‘දේවභූමි’ ලෙස ද හැඳින්වේ.)
බියාසි, උත්තර්කන්ද්, 26 මැයි 2012
Friday, June 15, 2012
ගංගා

දෙව් මිනිසුන්,
බවුන් වැඩූ ඍෂිවරුන්
සම්භාෂණයේ
දිගු කතිකාවේ
නිමග්න වූ නිරතුරු
විස්මෘතියේ මිහිදුමින්
බොඳවී ගිය,
මිථ්‍යාමත්ක දුරාතීතයේ
සුපුෂ්පිත නෙලූමක් වන්
විෂ්ණු දෙව් දෙපා යුග්මයෙන්
අවුත් මිහිපිටට,
ශිව දෙව් අසිරියෙන්,
හිමාල දෙව් දුවණිය සේ
හංස රුවින් විරාජමානව
සුගෝෂිතව
මවමින් නෙක් ලතා
සොයමින් අනන්තය
බැස ගිය ගංගා:
තත්කාල දනව්වේ
කැලිකසළ අති-පරිභෝජනයේ
දරාගෙන ඔබ ලැමින්
දේවභූමිය සිසාරා
ගලා බසින විට විඩාවෙන්,
කොඳුරනුයේ ඔය
සුඝෝශාවද සුමිහිරි
එදා ඇසුණු,
නැතිනම්
විරහ ගීතයක්ද
නිරතුරු දෙවිඳුන් නමදින
පින්වත් දණ ගණ
සවන් නොවැටෙනා?
(ගංගාස්තෝත්තර-සත-නාමාවලි යන සංස්කෘත පඨිතයේ ගංගා නදිය හැඳින්වීම සඳහා විස්තරාංග 108ක් සඳහන් වේ. මේ කවියේ සඳහන් විශේෂණ පද ඉන් උපුටාගත් ඒවාය).
බියාසි, උත්තර්කන්ද්, 26 මැයි 2012
සවිඥානයෙන් අවිඥානයට
අසුරු සැණෙක විරාමයකින්,
සමුගත්තෙමි නොදැනුවත්වම
පියවී ලොවින්.
වල්මත් වූයෙමි
අඳුරු වලාවක
සවිඥානයෙන් තොර,
සිහින නොපෙනෙන
නන්නාදුනනා ජීවකයන්
පිරිවරාගත්
සුප‍්‍රදීප්ත ගැබක
යාමයක් මුළුල්ලේ
නිම්හිම් සමුද්දේශ
අස්ථාවර වූ.
පුද කළෙමි ස්වදිවිය
නන්නාදුනනා ජීවකයන්ට
පතමින් වරම්
ලැබේවා යයි යළි සපැමිණෙන්නට
අවිඥානයෙන්
සවිඥානයට.
වසන්ත් කුන්ජ්, නව දිල්ලිය, 03 ජූනි 2012
Subscribe to:
Posts (Atom)





