I am what I am; I will be what I will be.

Monday, August 1, 2016

කුලය, පන්තිය සහ ලංකාවේ සමාජ ගැටුම්

කාලිංග ටියුඩර් සිල්වා. කුලය, පන්තිය සහ ලංකාවේ සමාජ ගැටුම්, 2016. පිටු: 221. බොරලැස්ගමුව: විසිදුනු ප්‍රකාශකයෝ. ISBN 955-9170-76-7. මිල: රුපියල් 390.00  


මහාචාර්ය කාලිංග ටියුඩර් සිල්වා විසින් රචිත ‘කුලය, පන්තිය සහ ලංකාවේ සමාජ ගැටුම්’ නම් කෘතිය මා ඉතා උනන්දුවෙන් කියවූයේ ශ්‍රී ලංකාවේ කුලය පිළිබඳව 1950 ගණන්වල මහාචාර්ය බ්‍රයිස් රයන් ලියූ ප්‍රසිද්ධ කෘතියේ සිංහල පරිවර්තනය කියවා මාස කිහිපයකට පසුවය. ඒ පරිවර්තනය කියවීමේදී මාගේ සිතට නැගුනු ගැටලුවක් වූයේ කුලය වැනි සමාජ සංසිද්ධි පිළිබඳව පෙරටුගාමී ශ්‍රී ලාංකේය සමාජවිද්‍යාව 1950 දශකය පමණ වන තෙක් අපට දායක කළ දැනුම පුළුල් ලෙස යාවත්කාලීන කිරීමට තත්කාලීන සමාජවිද්‍යාව උනන්දු නොවන්නේ මන්ද කියාය. මහාචාර්ය සිල්වාගේ කෘතිය යම් දුරකට මාගේ සාංකාවට සහනයක් ලබාදෙයි. එනම්, කුලය හා සමාජ පන්තිය යන පුළුල් සමාජ ප්‍රවර්ග ද්විත්වයේ ලාංකේය අතීතය පිළිබඳවත්, ඒවායේ ඇතැම් තත්කාලීන ප්‍රකාශන හා ගතික පිළිබඳවත්, මේවා මගින් ජනනය කරන සමාජ ගැටුම්වල ස්වභාවය පිළිබඳවත් මහාචාර්යවරයා අපගේ අවධානයට ලක් කරයි. 

මෙය හුදු සාහිත්‍ය විමර්ශණයක් නොවේ. මෙකී කෘතිය මා දකින්නේ කුලය හා සමාජ පන්තිය යන කරුණු පිළිබඳව වසර තිහක පමණ කාලයක් මුලූල්ලේ ලංකාවේ ශාස්ත්‍රීය කතිකාවට නිරන්තර දායකත්වයක් ලබාදුන් විශ්වවිද්‍යාල ගුරුවරයෙකුගේ බුද්ධිමය මැදිහත්මක් වශයෙනි. 

කෘතිය මූලික වශයෙන් පරිඡ්චේද අටකින් සමන්විතය. ඉන් මුල් පරිඡ්චේදය වෙන්වී ඇත්තේ කුලය හා සමාජ පන්තිය අනිවාර්යයෙන් තේරුම් ගත යුතු සමාජ ස්ථරායණය පිලිබඳ සමාජ විද්‍යාත්මක සංකල්ප හා න්‍යායික ප්‍රවේශ පිලිබඳව කෙටි විවරණයක් ඉදිරිපත් කිරීමට සහ ශ්‍රී ලංකාවේ සමාජ ස්ථරායණයේ පදනම් පැහැදිලිකිරීමත් සඳහාය. කෘතියේ අන් පරිඡ්චේද පදනම්ව ඇත්තේ මේ මූලික අර්ථගැන්වීම මතය. ‘සිංහල කුල ක්‍රමය’ ලෙස නම්කර ඇති දෙවන පරිඡ්චේදය මූලික වශයෙන් වෙන්වී ඇත්තේ අත්‍යාවශ්‍ය ද්විතීයික මූලාශ්‍ර මත පදනම්ව සිංහල කුල ක්‍රමයේ  ඉතිහාස පසුබිම, එම පද්ධතියේ ස්ථරායණීය ලක්‍ෂණ, එහි සේවා පදනම හා කුල පද්ධතිය විසින් නිරන්තරවම ක්‍රියාත්මක කරන සමාජ ආන්තීකරණ (කොන් කිරීම) ගතිකත්ව විස්තර කිරීම සඳහාය. මේ විස්තරාත්මක තොරතුරු හා සැසදීමේදී කුලයේ වර්තමාන තත්ත්වය පිළිබඳව දියත්කර ඇති කතිකාව මීට වඩා පුළුල් හා විස්තරාත්මක වූයේ නම් කෘතියේ සම්භාශණීය බලපෑම වඩාත් තීව්‍ර වනු ඇතැයි යන්න මාගේ වැටහීමය.

‘කුලය, නමගම සහ උඩරට ගැමිසමාජය’ ලෙස නම්කර ඇති තෙවන පරිඡ්චේදය මහනුවර අවට ප්‍රදේශයක සිදුකරන ලද ක්‍ෂේත‍්‍ර පර්යේෂණ හා ද්විතීයික තොරතුරු මතද පදනම්ව ඉදිරිපත් කරන කුලය පිළිබඳ සප්‍රමාණික විස්තරයකි. එය මූලික වශයෙන් සාම්ප්‍රදායිකව නම්ගම් ආශ්‍රයෙන් කුල අනන්‍යතාව සමාජීයව ප්‍රකාශ වූ ආකාරයත්, කාලීනව සිදු වූ සමාජ වෙනස්වීම් ද සමග ඇතිවූ පුද්ගලික නම්වල නව්‍යකරණය හා කුල හා සබැඳි පාරම්පරික නම්ගම් ඇතැමුන් විසින් අතෑරීමත් සමග ඇතිවූ ව්‍යුහාත්මක වෙනස්කම් පිළිබඳ විවරණයකි. මේ වෙනසට පාදක වූ හේතු ලෙස මහාචාර්යවරයා දක්වන්නේ නිදහස් අධ්‍යාපනයේ හා සන්නිවේදන මාධ්‍යයවල ව්‍යාප්තිය හා ග්‍රාමීය බල ව්‍යුහයේ ඇතිවූ නොයෙකුුත් විපර්යාස යනාදිය වේ. මේ පරිඡ්චේදය ඔස්සේ කුලයේ එක් තත්කාලීන ප්‍රවණතාවක් පිළිබඳ සවිස්කරාත්මක විග්‍රහයක්  පාඨකයාට ලැබේ.

කෘතියේ සිව්වන, පස්වන, හයවන හා හත්වන පරිඡ්චේද වෙන්වී ඇත්තේ ප්‍රධාන වශයෙන් සමාජ පන්තිය යන යථාව හා ඊට අනුබද්ධ ප්‍රපංච පිලිබඳ අදහස් ඉදිරිපත් කිරීමටය. ‘පන්ති ස්ථරායණය, සමාජ ගැටුම් සහ වෙනස්වන ලංකා සමාජය’ යන සිව්වන පරිඡ්චේදය සමාජ පන්තිය යන අදහස සහ පන්ති විග්‍රහය පිළිබඳ සංකල්පීය විවරණයක් ඔස්සේ ශ්‍රී ලංකාවේ පන්ති සවිඥනකත්වය හා ඒ මත පදනම් වූ ලාංකේය සමාජ-දේශපාලනික අරගල පිළිබඳ විග්‍රයහකි. බෙහෙවින් උනන්දුසහගත කියවීමක් ඉදිරිපත් කරන ‘ඉංගිරිසිය, නුවණ හා පන්ති භේදය’ වශයෙන් නම්කර ඇති පස්වන පරිඡ්චේදය හරහා උත්සාහ ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි බාසා භාවිතය පිළිබඳව පවත්නා දේශපාලනය පංතිමය විග්‍රහයකට පාත‍්‍ර කිරීමය. 

මහාචාර්යවරයාගේ මූලික තර්කය නම්, ඉංගිරිසිය ප්‍රභූ පන්තියේ හඬ, උරුමය හා සංකේතය බවයි. ඉතිහාසිකව මෙය යථාවකි. එනමුත් තත්කාලීන තත්ත්ව විග්‍රහ කිරීමේදී මේ පන්ති-කේන්ද්‍රීය විශ්ලේෂණීය රාමුව රුචිකත්ව විශ්ලේශණයක් දක්වා ව්‍යාප්ත කළහැකි බවත් ‘ප්‍රභූ’ යන පදයේ තත්ත්කාලීන භාවිතය පිළිබඳ ගැඹුරින් සිතාබැලිය යුතු බවත් මගේ විශ්වාසයයි. මන්ද යත්, මෑතකාලීන සමාජ විපර්යාස ඔස්සේ අද දින ප්‍රභූ යන සංකල්පය ඔස්සේ විග්‍රහ කරන කොටස් ඒ ප්‍රභූ අනන්‍යතාව අයත්කරගෙන සිටින්නේ ඉංගිරිසිය හැසිරවීමේ හැකියාව මත නොවන නිසාත් ප්‍රභූ ලෙස පාරම්පරිකව නොසැලකූ කණ්ඩායම් අද වනවිට ඉංගිරිසිය තම සමාජ රුචිකත්වය දැනවීමේ සංකේතයක් ලෙස භාවිතකරමින් සිටින නිසාත්ය.

මහාචාර්ය සිල්වාගේ කෘතිය සමාජගතවන අද වැනි යුගයක අප රටේ සමාජවිද්‍යාව මූලික වශයෙන් වල්මත් වී ඇති විෂයක් බව අප පිළිගත යුතුය. ඒ තත්ත්වය වඩාත් පැහැදිලි වන්නේ සමාජවිද්‍යාත්මක කෘති වශයෙන් අව්‍යක්තව ලියා පළකර සමාජගත කරන අති සරල හා ගැටළුකාරී කෘති දෙස බලන විටය. එවන් සන්දර්භයක් තුළ මහාචාර්ය සිල්වාගේ මේ කෘතිය මා සලකන්නේ කුලය, පන්තිය හා සමාජ ගැටුම් පිලිබඳ වඩාත් පුළුල් අනාගත සමාජ පර්යේශණ සඳහා අත්‍යාවශ්‍ය හා අනේක ඉගි සපයන මැනැවින් ලියා ඇති ප්‍රවේශාත්මක කෘතියක් වශයෙනි. ඔහු සිදුකර ඇත්තේ සරසවි ගුරුවරයෙකුගේ අත්‍යවශ්‍ය භූමිකාවන්ගෙන් එකකි. ශාස්ත්‍රීය ප්‍රකාශන පද්දතියක් මුල්බැසගෙන නොමැති අප රටේ එවැනි ශාස්ත්‍රීය  කටයුත්තකට සම්මාදම්වීම සම්බන්ධයෙන් විසිදුනු ප්‍රකාශකයන්ට ද පාඨකක ස්තූතිය හිමිවිය යුතුය.

සසංක පෙරේරා
දකුණු ආසියානු විශ්වවිද්‍යාලය
නව දිල්ලිය
21 ජූලි 2016